වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ව තිබූ වන රක්ෂිත භූමි හෙක්ටයාර 134,362. 15ක් (අක්කර 331,874. 51ක්) පසුගිය වසර 02 තුළ විවිධ පෞද්ගලික ව්‍යාපෘති සඳහා ලබාදී තිබේ.
කොටස් 03ක් යටතේ මෙම දැවැන්ත රක්ෂිත භූමි නිදහස් කර ඇති බව පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට ඉදිරිපත් වූ වාර්තාවක් මගින් මේ බව හෙළිදරව් විය.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික ආයතන විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව සාමාන්‍ය ක්‍රියාවලියෙන් නිදහස් කරන ලද ඉඩම් යන වර්ගීකරණය යටතේ 2021 වසරේදී හෙක්ටයාර 240. 44ක් නිදහස් කර තිබේ. එය 2022 වසරේදී හෙක්ටයාර 21. 39කි. මේ අනුව එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 261. 83කි.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ MWFC/01/2020 ට අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිදහස් කරන ලද ඉඩම් වර්ගීකරණය යටතේ 2021 වසරේදී හෙක්ටයාර 131,624. 40ක් රක්ෂිතභාවයෙන් ඉවත් කර ඇත. 2022 වසරේදී එසේ නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 957. 74කි. මේ අනුව එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 132,582. 15කි.
වාර්ෂික බලපත්‍ර යටතේ විවිධ ක්‍රියාකාරකම් සඳහා නිදහස් කරන ලද ඉඩම් නම් වර්ගීකරණය යටතේ 2021 වසරේදී රක්ෂිත භූමි හෙක්ටයාර 18. 17ක් නිදහස් කර ඇති අතර, එය 2022 වසරේදී හෙක්ටයාර 1,500කි. එම වර්ගීකරණය යටතේ ආසන්න වසර දෙකේදී මෙසේ නිදහස් කර ඇති රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 1,518. 17කි.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ සඳහන් ආකාරයට 2021 වසරේදී මෙසේ නිදහස් කර ඇති සමස්ත රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 131,883. 01ක් වන අතර, 2022 වසරේදී එම සමස්ත ප්‍රමාණය හෙක්ටයාර 2,479. 13කි. එහි එකතුව හෙක්ටයාර 134,362. 15කි. එනම් අක්කර 331,874. 51කි.
වන සංරක්ෂණ පිළිතුර !
මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ සඳහන් කළේ එවැනි වාර්තාවක් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නැති බවයි. එම නිසා මෙහි සත්‍ය-අසත්‍යතාව සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බව ද දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා පත්කර ඇති නිල බලධාරියා වන ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2022 නොවැම්බර් තීන්දුව !
අක්කර ලක්ෂ 12ක හෙවත් හෙක්ටයාර ලක්ෂ 5ක මෙම රක්ෂිත භූමි බේරන තීරණාත්මක අධිකරණ තීන්දුවක් පසුගිය 2022 නොවැම්බර් මාසයේදී අභියාචනාධිකරණය ලබාදුන්නේය.
ඒ, ඉහතින් සඳහන් කරන ලද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ MWFC/01/2020 ට අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් නිදහස් කිරීම සඳහා නිකුත් කරන ලද 1/2020 අත්තනෝමතික චක්‍රලේඛය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක තීන්දුව ලබාදෙමිනි.
මාධ්‍ය වාර්තා
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එය අර්ධ සත්‍යයකි.
පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ අදාළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් අදාළ චක්‍රලේඛය සංශෝධනය කරමින් වනාන්තර භූමි අක්කර ලක්ෂ 12ක් සුරක්ෂිත වන ආකාරයේ තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කර තිබිණි.
සිදු වූයේ කුමක්ද?
දැනට අවශේෂ වනාන්තර යනුවෙන් හඳුන්වනු ලබන රජයේ වෙනත් වනාන්තර ලෙස නම්කර ඇති භූමි පමණක් නොව, වනාන්තරමය වටිනාකමක් සහිත භූමි, ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමි සහ ජලාධාර භූමි ද සුරක්ෂිත වන ආකාරයට නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද වනජීවී සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝග කරන ලදි.
ඒ අනුව අදාළ නියෝගය උල්ලංඝනය කරමින් ඉහත පරිදි රක්ෂිත භූමි පැවරීම සිදු කර ඇත. මෙම නඩුවේ තීන්දුව ලබාදීමට පෙර සිට ම අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ද ක්‍රියාත්මක විය. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අවධාරණය කරන්නේ එමගින් අධිකරණයට අපහාස කිරීමට වන සංරක්ෂක ජනරාල්වරයා ඇතුළු වගකිවයුත්තන් කටයුතු කර ඇතැයි සැක මතුවන බවයි.
ගෝඨාගේ පරාජය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය හරහා බරපතළ අවදානමක තිබූ වනාන්තර භූමි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ වෙනත් රජයේ ඉඩම් කළමනාකරණය කරනු ලබන ආයතනවලට අවශ්‍ය පරිදි ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ හරහා තරමක් නතර විය. එහෙත් ඒ වනවිටත් අදාළ රක්ෂිත භූමිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කර අවසන් ය.
CA/Writ/502/2021 අංක යටතේ මෙය විභාග කෙරිණි. විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පෙත්සම්කරුවන් 06 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
පෙත්සම්කරුවන්
- පරිසර යුක්ති කේන්ද්‍රය
- එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ
- එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ
- සමස්ත ලංකා බීට්ටු වන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එඩ්වින් එඩ්වඩ් රාගල්
- සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර
- මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් රණවක
විත්තිකරුවන්
- ඉඩම් කොමසාරිස් ජනරාල්
- ඉඩම් ඇමති
- එම අමාත්‍යංශයේ ලේකම්
- වනජීවී සහ වන සංරක්ෂණ ඇමති
- එම අමාත්‍යංශයේ ලේකම්
- වන සංරක්ෂක
- පරිසර අමාත්‍යංශයේ ලේකම්
- ජනාධිපති ලේකම්
- පොලිස්පති
- නීතිපති
අධිකරණ අපහාස
අදාළ ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉඩම් කොමසාරිස්වරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබූ 1/2020 චක්‍රලේඛයේ තුන් වන වගන්තියට මීට පෙර අභියාචනාධිකරණයෙන් තහනමක් පනවා තිබිණි.
එසේ තිබියදී ස්ථාන ගණනාවක එවැනි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් thetime.lk මීට පෙර ද අනාවරණය කරන ලදි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
105(3)
‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ බලය ….’
නීතිපති කියපු දේ
වෙනත් රජයේ වනාන්තර (Other State Forests) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට ලබානොදෙන බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මීට පෙර අභියාචනාධිකරණයට තහවුරු කරන ලදි.
ඒ, පෙත්සම් විභාගයේදී ය.
තහනම් නියෝගයක්
01/2020 චක්‍රලේඛය මගින් සිදුකිරීමට අපේක්ෂිත දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරන ලද මෙම නඩුවේදී අදාළ චක්‍රලේඛයේ 03 වගන්තියට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද තීන්දුවට පෙර අභියාචනාධිකරණය තීන්දු කර තිබිණි.
01/2020
2020 නොවැම්බර් 04 දින වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ එවකට ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර විසින් MWFC/01/2020 අංක දරන මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි.
එහි 03 වගන්තියේ මෙසේ සඳහන් වේ.
03 වගන්තිය
‘මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමත් සමග ම මෙම අවශේෂ කැලෑ ඉඩම් වෙනුවෙන් වඩාත් සුදුසු ප්‍රයෝගික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට / පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට / ඉඩම් කොමසාරිස්වරුන් සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.’
05/2001
රජයට අයත් සියලුම කැලෑ කළමනාකරණය සහ පාලනය සඳහා 2001 වසරේදී නිකුත් කරන ලද 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මෙමගින් සිදු විය. 2001 වසරේ චක්‍රලේඛයට අනුව රජයේ කැලෑ ඉඩමක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පවරන්නේ නම්, ඒ සඳහා වන සංරක්ෂණ, පරිසර, වන ජීවි, ඉඩම් ඇතුළු ආයතන ගණනාවකින් විධිමත් අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය විය.
බලය කාටද?
එහෙත් 2020 ජූලි 01 දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද උපදෙස් මත නිකුත් කෙරුණු 01/2020 චක්‍රලේඛයට අනුව එසේ අදාළ ඉඩම් පැවරීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තනි ව කළ හැකි කරුණක් ලෙස දක්වා තිබේ.
‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා ……. අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් …….. හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙමගින් ඉඩ ලැබේ.’
මෙම චක්‍රලේඛය ඉදිරිපත් කිරීමත් සමග අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක හෙක්ටයාර ලක්ෂ ගණනක වන සංරක්ෂණ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම ඇරඹිණි.
වාණිජ බෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බව පවසමින් ජනතාවට අක්කර 4-5 කොටස් ද, සමාගම්වලට අක්කර 3,000 සිට 5,000 දක්වා කොටස් ද බදු පදනම මත ලබාදෙන ලදි. මේවා අදාළ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට පෙර කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීමක් සිදු නොවූ අතර, එහි භූමියේ වැදගත්කම හෝ ජෛවවිවිධත්වය වැනි සාධක අදාළ වූයේ නැත.
වනාන්තරයක වටිනාකම
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.
‘මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය.
හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් මෑතකදී ගත්තා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් තමයි දකින්න පුළුවන්.
භයානක අවදානමක්
ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.
25 වෙනුවට 17යි
ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.
ගෝඨාගේ අලුත් නම
වෙනත් රජයේ වනාන්තරවලට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අලුතින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. 2020 තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.
වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. ඕඑස්එෆ් කියලා තමයි මේවා හඳුන්වන්නෙ. (OSF – Other State Forests) එක තමයි පරිපාලනයේ, නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණේ නෑ.
අධීක්ෂණ කාරක සභාව
මේ සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේ අදාළ වාර්තාවට අනුව පරිසරයට සිදු කර ඇති විනාශයේ තරම පැහැදිලි වන බවයි. සියයට 29ක වනගහනයක් මෙරට ඇති බවත්, එය සියයට 32ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බවත් පැවසුවද, පරිසරවේදීන් සහ පර්යේෂකයන සඳහන් කරන්නේ මෙරට වනගහනය සියයට 15 තරම් අවම අගයකට පැමිණ ඇති බව යනුවෙන් ද සභාපතිවරයා අවධාරණය කළේය.එවැනි තත්ත්වයක් යටතේ ඉතිරි ව ඇති වනාන්තර ප්‍රමාණය සුරක්ෂිත කරගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සියල්ලන්ගේ වගකීමක් බව ද ඔහු සඳහන් කළේය.
නීතියේ ආධිපත්‍යය !
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් 2023 ජනවාරි 23දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ද මෙරට රක්ෂිත වනාන්තරවල පැවැත්ම බරපතළ අවදානමකට හෙළන ලද පියවරකි.
‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය’ යනුවෙන් සඳහන් මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ වන රක්ෂිතවල පිහිටි පෞද්ගලික හෝ භුක්ති විඳින ඉඩම් හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් ය. ඒ පිළිබඳ දින වකවානු සහිත වැඩසටහනක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර, මුල් වටයේදී යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රීකුණාමලය, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල යන දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙම වැඩසටහන සකස් කිරීමට අදාළ උපදෙස් දැනටමත් ලැබී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ කැබිනට් පත්‍රිකාව මගින් ඉලක්ක කරන ඉඩම් මොනවාද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් දැනගැනීමට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සම්බන්ධ කර ගැනීමට thetime.lk උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
එස්. ජායිශන්කර්
මෙම කැබිනට් රැස්වීමට දිනකට පෙර පළකෙරුණු 2023 ජනවාරි 22දා Sunday Times පුවත්පත වාර්තා කර තිබුණේ ඊට පෙර සිකුරාදා (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කැබිනට් පත්‍රිකාව වහාම සකස් කොට ඉදිරිපත් කරන ලෙස පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියට උපදෙස් දී ඇති බවයි. ඩග්ලස් දේවානන්දා ඇතුළු ඇමතිවරුන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගි වී ඇති බවත්, උතුරු පළාත්වල මෙම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලිකත්වය දිය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකෙරුණු බව ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී පවසා තිබේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් රක්ෂිත ප්‍රදේශවලට ඇතුළත් කර නැති අතර, පසුගිය කාලයේ සිදු කළ සමීක්ෂණයක් මගින් අනාවරණය වූයේ එම ඉඩම් සියල්ල යුද හමුදාව සහ ගුවන් හමුදාව භාවිත කරමින් සිටින බවයි. එම ඉඩම් ජනතාවට නිදහස් නොකර, මෙවැනි උපක්‍රම මගින් රක්ෂිත වනාන්තර ඉඩම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පැවරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීහු චෝදනා කරති.
ජනතාවගේ ඇස් බොඳ කරයි !
1977න් පසු බලයට පත්වූ සියලු ආණ්ඩු අඩු-වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියකි, රටේ සමස්ත ජීවීන්ගේ සියලු පොදු ස්වභාවික සම්පත් ඔවුන්ට අහිමි කිරීමේ ප්‍රතිපත්තිය. සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති, අණ-පනත් මෙහිදී අදාළ නොවේ. ස්වභාවික සම්පත් වෙළෙඳ භාණ්ඩ කිරීම පමණක් ඔවුහු සිදුකරති. ඔවුන්ටත් කොටසක් සහිතව ලාබය යන්නේ වෙනත් තැනකට ය. ඒ ලාබය යනු කෙටිකාලීන මුදල්ම නොවේ. දීර්ඝකාලීන සැලසුම් ය.
ජනතාවගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කරන ගොවීන්, ධීවරයන්, කිරි නිෂ්පාදකයන් ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්ගේ භූමිය හා ඔවුන්ගේ පොදු ස්වභාවික සම්පත් වන ජලය, බීජ ඇතුළු සියල්ල අහිමි කිරීමට සංවර්ධන ව්‍යාපෘති, වාණිජ වගා, සංචාරක ව්‍යාපෘති, ආයෝජන ව්‍යාපෘති, කර්මාන්තපුර මහා පරිමාණයෙන් බිහිවෙමින් තිබේ. එමගින් ස්වභාවික පරිසර පද්ධති බොහොමයක් මේ වනවිටත් විනාශ මුඛයේ ය.
වනාන්තර වනසන පරපුර !
දීර්ඝ කාලයක් ආරක්ෂා කළ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදාගැනීම ගෝඨාභය වේගවත් කළේය. ඒ, මහින්ද රාජපක්ෂ ආරම්භ කළ විනාශයේ දිගුව සඳහා ය. මේ නිසා අද වන විට ලංකාවේ ස්වභාවික වනාන්තර ආවරණය සියයට 17කටත් වඩා අඩු වී තිබේ.
යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වනාන්තර අක්කර 15,000ක්, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක් මෙසේ විනාශ කළ ස්වභාවික සම්පත් තවත් කොතෙක් ද… යුද්ධයේ අවසානයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක ව්‍යාපෘති සහ අධිආරක්ෂක කලාප පවත්වාගෙන යෑම සඳහා භාවිත කිරීම නිසා අලුතින් ජනාවාස ගොඩනැගීමට වනාන්තර අක්කර කොපමණක් විනාශ කළේද…
මේ විනාශයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සැලසුම් සකස්කරන්නන් වනාන්තරවල වැදගත්කම තේරුම් නොගැනීමයි. ජල මූලාශ්‍ර, ජල පෝෂක, වනාන්තර භූමි ප්‍රදේශ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති මේ පාර්ශ්ව ජාතික භෞතික සැලැස්මේ සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සමස්ත ජල සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවයි. නමුත් මධ්‍යම කඳුකරයෙන් පමණක් නොව වියළි හා අතරමැදි කලාප දෙකෙන් ආරම්භ වන ගංගා රාශියක් වියළි කලාපය පෝෂණය කරන බව ඔවුන් නොදනී.
බොන්න වතුර නැති හෙටක්
ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කි. වර්ග කිලෝමීටර් 59,217ක් පුරා ගංගා ද්‍රෝණි 103කි. වර්ග කිලෝමීටර් 6,393ක මතුපිට ජල ද්‍රෝණි කිසිවක් නැත. වර්ග කිලෝමීටර් 100ක පමණ වර්ෂා කාලයේදී පමණක් සක්‍රීය වන ජල ද්‍රෝණිය. ඒවායේ ජලය පවතින්නේ වර්ෂා කාලයේදී පමණි. මේ සියල්ලේම පැවැත්ම වනාන්තර ය.
ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් 55%කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත්වේ. 15%ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජලප්‍රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි. ලංකාවේ මිරිදිය පවතින මතුපිට භූමි පැතිරුම හෙක්ටයාර් 2,60,000කි. වසරේ කිසිදු දිනක නොසිඳෙන ජලාශ හා වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,55,000කි. සෘතුමය වශයෙන් පිරී යන වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,00,000කි. ජලගැලුම් නිම්නය වැනි විල්ලු පරිසර පද්ධතිවල ජල පැතිරුම හෙක්ටයාර් 5,000කි. මේ ආකාරයෙන් පවතින මතුපිට ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය හා ජල විදුලිබල උත්පාදනය සඳහා භාවිත වේ. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.
වැඩියෙන් වටින්නේ කවුද ?
අලි – ඇතුන් ඇතුළුව බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කෙරිණි. අලි – මිනිස් හා වන සතුන් සමඟ මිනිසුන් අතර ගැටුම් වර්ධනය විය. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගාබිම්වලින් ඉවත්වෙමින් සිටී. ඒ වගාබිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම්වලට ලබාදෙමින් සිටී. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළදී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අලින් 150ක් හා මිනිසුන් 40ක් පමණ මරණයට පත්විය. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80කි. අලි- ඇතුන්ගේ ප්‍රමාණය 275කි. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත්කරමින් 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුම වැඩිම වර්ෂය විය. එම වසරේදී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406කි. අලින්ගේ පහරදීම් නිසා 122ක් මියගොස් ඇත. 2020 වසරේදී අලි මරණ 317කි. අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112කි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස්වලට බෙදෙන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රක්ෂිත වනාන්තර තුළ හානිකර මිනිස් ක්‍රියාකාරකම් සිදු කිරීම හා රක්ෂිත වනාන්තර තුළ ආක්‍රමණික ශාක පැතිරීම වැනි හේතු නිසා රක්ෂිත තුළ ගුණාත්මක තත්ත්වය පිරිහී යෑම ය.
විනාශයේ විපාකය
වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 84%කි. වර්ෂ 1900දී එය 70% දක්වා පහළ වැටී ඇත. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීමට තෙත් කලාපයේ වනාන්තර එළි කිරීමයි. ඉන්පසු වනාන්තර පිළිබඳව පුළුල් සමීක්ෂණයක් සිදුකෙරුණේ 1956 – 1961 දී ය. ඒ වනවිට රටේ වනආවරණය 44.2%ක් නැතහොත් හෙක්ටයාර් 28,98,842ක් විය. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසරවල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකරන ලද දෙවැනි වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය 37.5%ක් නැතහොත් හෙක්ටයාර් 24,58,250ක් විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය 31.2%ක් නැතහොත් හෙක්ටයාර් 20,46,599ක් විය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තාවලට අනුව වන ආවරණය 29.6%කි. 2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය 29.7%කි. මෙම එක්-එක් අධ්‍යයනවලදී වනාන්තර හා වනාන්තර දර්ශක පිළිබඳව එක් නිර්ණායකයක් මත පදනම්ව අධ්‍යයන සිදු කර නොමැත. ඒ නිසා ප්‍රතිශතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකිය.
2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ජල පෝෂක වනාන්තර ලෙස වැදගත් වන පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ 1.9%කි. එනම් හෙක්ටයාර් 1,23,302 කි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.7%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 44,758කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.4%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 28,513කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර් 11,21,392ක් නැතහොත් 17.1%කි. 2010න් පසු වනාන්තර විනාශය තව-තවත් වේගවත් විය.
70%ක් අර්බුදයට !
2011 – 2030 ජාතික භෞතික සැලැස්ම සහ 2018 – 2050 ජාතික භෞතික සැලැස්මේ දිගුව ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම වාණිජ වගා ලෙස කටුපොල්, බඩඉරිඟු හා උක් වැනි වගාබිම් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් මෙරට ඉතිරිවීමට නියමිත ජල පෝෂක බිම් ප්‍රමාණය ඉතාම සුළුය. එය 10%කටත් වඩා අඩු වනු ඇත. එම තත්ත්වයට පත්වුවහොත් ලංකාවේ සමස්ත ජනගහනයෙන් 70%කට වැඩි ප්‍රතිශතයක් ජලය සම්බන්ධයෙන් වන අර්බුදවලට ගොදුරුවේ. ජල අර්බුද පමණක් නොව ජෛව විවිධත්වය විනාශ වීම, පාංශු ඛාදනය උග්‍රවීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වර්ධනය වීම, නාය යෑම් හා ගංවතුර වැනි ආපදා වර්ධනය වීම, කෘෂි කාර්මික අර්බුද උග්‍රවීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි තත්ත්වයන් ද මේ නිසා පාලනය කරගත නොහැකි මට්ටමකට පරිවර්තනය වේ.
ලෝක බැංකුවේ ආදරය දිනූ කැබිනට්
ලෝක බැංකුව විසින් 1996 වසරේදී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සකස් කළ Sri Lanka Nonplantation Crop Sector Policy Alternatives නම් වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විසින් සිදුකරන කුඩා පරිමාණ කෘෂි කර්මාන්තය අවාසිසහගත බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස මහා පරිමාණ වාණිජ වගා සඳහා පිවිසීම වැදගත් වන බව ය. ලෝක බැංකුව විසින් 2015 වසරේදී ප්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity (A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේදී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳව අවධාරණය කර ඇත.
වාර්තාවෙන් පෙන්වන්නේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණයට ලක් කළ යුතු බව කියයි. ඊට පළමු පියවර තබමින් පසුගිය ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ආයතනවලට ඉඩම් ලබාගැනීමේදී පනවා තිබූ සීමා හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ – සංශෝධන) පනතේ 5(අ) වගන්තිය සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණි.
ලෝක බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2018 අයවැයේ මූලික ඉලක්කයකි. අයවැය ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම් වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා පනතේ වගන්ති සංශෝධනය සිදුකරන බව ය. මීට අමතරව 2017 නොවැම්බර් 14 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර, ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කරගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීමට ය. මේ ඉතා අතළොස්සකි.
අයවැයත් අපේ නෙමෙයි !
2015 ලෝක බැංකු වාර්තාවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 ජුනි 03 වැනි දින වසර තුනක් සඳහා ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කිරීමේදී ප්‍රධාන කරුණු 6ක් යටතේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, ආදායම් බලමුළුගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, මූල්‍ය ප්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.
2015 ලෝක බැංකු වාර්තාවට අනුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප්‍රකාශනය හා පසුගිය ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘2025 දැක්ම හා පොහොසත් රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙන්කර තිබිණි. 2018 අයවැය ප්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ-පනත් සංශෝධනය කර ඉඩම් නිදහස් වෙළෙඳපොළ යන්ත්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සිංහරාජයේ උදාහරණය
මෙරට වන රක්ෂිත වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වේ. එනිසා රක්ෂිත ප්‍රදේශ භාවිත කර, ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින්-දිගට අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ මෙරට රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ලබාදිය යුතු බව ය. පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේදී සකස් කළ Ecosystem Conservetion and Management Project – ESCAMP නම් වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාව පදනම් කරගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප්‍රධානව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. හෝර්ටන් තැන්නේ යෝජිත නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද ඊට හොඳ උදාහරණයකි.
එම්සීසී අත්සන් කරන්නම ඕනෙ ද?
Millennium Challenge Corporation (MCC) මගින් 2017 වසරේදී සකස් කළ Sri Lanka Constraints Analysis Report නම් වාර්තාවට අනුව ලංකාවේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය සංශෝධනයට ලක්කර පහසුවෙන් ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට හැකි වන පරිදි නීති පද්ධතිය සංශෝධනයට පියවර ගත යුතු ආකාරය පෙන්වා දී ඇත. මෙහිදී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ පහසුවෙන් පැවරිය හැකි ඔප්පු ජනතාව වෙත ලබාදී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා සමාගම්වලට පහසුවෙන් ඉඩම් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස්කිරීමයි. ඒ සඳහා විවිධ අණ-පනත් හා චක්‍රලේඛ මෙන්ම ගැසට් නිවේදන ද සංශෝධනය කිරීමට යෝජනා කෙරිණි. MCC ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීමක් සිදුනොකළද, එහි අරමුණු ක්‍රියාත්මක කිරීම අනෙක් හැමෝම වගේම ගෝඨාභය ද සාර්ථකව සිදු කළේය.
අවශේෂ වනාන්තර චක්‍රලේඛය අහෝසි කිරීම එහි එක් පියවරකි. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2001 අගෝස්තු 10 වැනි දින අංක 05/2001 දරන චක්‍රලේඛය මගින් රජයේ අවශේෂ කැලෑ ලෙස හැඳින්වූ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කළ චක්‍රලේඛය සංශෝධනය කළේය. එම භූමිය දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් යටතට පවරා හේන් ගොවිතැන් සඳහා ලබාදීමට වර්තමාන කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින තීරණය කළේය.
2020 නොවැම්බර් මස 4 වැනි දින අංක MWFC/1/2020 නව චක්‍රලේඛය මගින්, අංක 05/2001 දරන චක්‍රලේඛය සංශෝධනය කර රජයට අයත් වනාන්තර ඉඩම්, බොහෝ ඇමතිවරුන්ගේ බලපෑම් මත මේ වන විට මහා පරිමාණයෙන් එළි කරයි. වාණිජ වගාවන් සඳහා අත්පත් කරගනියි.
මීට අමතරව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වැනි දින අංක 2192/36 දරන ගැසට් නිවේදනයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම යටතේ රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විඳින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛන ලබාදීමට ආණ්ඩුව සූදානම් වේ.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි
මෙරට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ජනතාවට අහිමි කර සමාගම්වලට ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණව සිදුවිය යුතුය යන්න ද උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කරගත් වගන්ති 30කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 වැනි වගන්තියට අනුව සියල්ලෝම නීතිය ඉදිරියේ සමානය යන්න ද උල්ලංඝනය කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කර ඇත්තේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳ දැමීමට වනාන්තර හා තෘණ භූමි සමාගම්වලට ලබාදීම ය. මේ නිසා ආණ්ඩුවේ වුවමනාව මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුව හා පෞද්ගලික සමාගම් විසින් සිදු කරන මෙම ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත.
භූමිය විකිණු ගෝඨා
මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කරගෙන සිටින පෞද්ගලික සමාගමකට කන්තලේ ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට අක්කර 2,000ක්, අම්පාර, පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ඉඩම් අක්කර 5,426ක් සමාගම් 15කට බඩඉරිඟු වගාවට, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000ක් බඩඉරිඟු වගාවට, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමළිය හා වන්දම ප්‍රදේශයෙන් වනාන්තර අක්කර 7,000ක් උක් වගාවට, මාගම්පුර වරාය ආශ්‍රිත වනාන්තර අක්කර 15,000ක් චීන කර්මාන්ත ශාලාවක් තැනීමට, අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා ගැසල් වෙන්චර්ස් පෞද්ගලික සමාගමේ උක් වගා ව්‍යාපෘතියක් සඳහා බිබිල ප්‍රදේශයේ අක්කර 62,500ක්, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම හා අනුබද්ධ ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමේ අක්කර 40,000ක බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර 5,000ක්, ඇමෙරිකානු සමාගමක් හා අනුබද්ධ මෙරට පෞද්ගලික සමාගමකට කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් ලබාදීමට සැලසුම් කිරීම හා එහි නියමු ව්‍යාපෘතියක් සඳහා අක්කර 150ක් සහ පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 8,500ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීම වැනි ව්‍යාපෘති රැසකට ආණ්ඩුව මැදිහත් වී ඇත. මේ ඉතාම අතළොස්සකි.
මේ අතර 2021 අයවැය ප්‍රකාශනය මගින් මෙරට ජනතාවගේ බදු මුදල්වලින් රුපියල් ලක්ෂ 35,000ක්, අක්කර 15,000ක භූමියක ගස් සිටුවීමට වෙන්කෙරුණේ ද ගෝඨාභයගේ උපදෙස් මත ය.
- ශාලික විමලසේන