“මායා කවුළුවක, සියුම් මීදුමක සැඟවුණු, අදිසි සුවඳැති මලක,පැහැය සොයනා අයුරින්, නෙක කවි විඳ විඳ නිවී නොනිවී ගිය දවසක, අළු පෑ සඳක් මෙන් සෙමෙන් අහසේ , නිවී යන මොහොතක , හමුවීම් වෙන්වීම් අතරය අප…
නඳුන් යසිත දසනායක තම අලුත් කවි පොත වන “කල්පිත කවියෙකුගෙ කල්පනා කවුළු” කෘතියෙහි පෙරවදන ලියා ඇත්තේ එසේ ය.
“හමුවීම් සහ වෙන්වීම් අතර ය අප” මේ වගන්තිය වෙසෙස් කොට දක්වන්නට සිතෙන්නේ ඔහු තම කවිය ස්ථානගත කරන අඩවිය එයින් කියැවෙන හෙයිනි.
ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සියුම් අත්තටු නාද කෘතියෙහි පෙරවදනේ අවසානය ද දක්වනු කැමැත්තෙමි.
“මේ ගිම්හානයේ වුව ද හෙට වසිනා පොද වැස්සක,මගෙ සිහින ඔබෙ සිහින හා මුසු ව ගලා යන්නට ඉඩ හළ යුතුයි.ඒ අපේ සිහිනය කොහේ හෝ හෝ බිම්කඩක කවදාක දී හෝ අප නැත ද පිපී හිඳ කාට හෝ සුවඳ දී මේ මහා දෙරණ තුළට වැද අප මෙන් කිඳී යනු ඇත.එතෙක් අප සිහිනය ඔබ සමඟ ගලනු ඇත…
කවියා තම පෙරවදන් ඔස්සේ සුපුරුදු විස්තර නොලියා තම කවියෙහි දිශානතිය ගැන දැනෙන්නට හරී.
2010 දී බිම් ගෙයට සඳ ඇවිත් කෘතියෙන් පටන්ගෙන මේ වන විට ඔහු කාව්‍ය ග්‍රන්ථ හතක් පළ කර ඇත.මා දන්නා පරිදි ඔහු තම පළමු කෘතිය පළ කරන විට අවුරුදු විස්සක තරමේ භද්‍ර යෞවනයෙකි.ඔහුගේ පළමු කෘතිය කියවූ කල හැඟෙන්නේ ප්‍රකම්පිත හදවතක ඇතුළාන්තයයි. විප්‍රයෝගයෙන් ඉරිතැළුණු ජීවිතයක ඛේදය බොහෝ කවිවලින් දිසෙයි. එයින් බැහැරවූ වස්තු විෂයන් සහිත කවිවලද පෙනෙනුයේ විවිධ හේතු මත ඛේදයන්ට මුහුණ දුන් මිනිස් අත්දැකීම් ය. හැබැයි ඔහුගේ විශේෂත්වයක් වනුයේ මුල පටන් ම ඔහු තම කවිය භාව විළාප ශෛලියෙන් මුදවා ගැනීමට යත්න දැරීම ය. කවියකින් සහෘද සිත්හි ඇති වන කම්පනය දුක යැයි වටහා ගැනීම සාහිත්‍ය රසය අපගේ එදිනෙදා ජීවිතය තුළම තබා ගැනීමය.එහෙත් කවිය යනු ජීවිතයෙහි සුඛදුක්ඛ දෝමනස්සයන්ගෙන් ඉහළට හදමනස ඔසවා තබන අඩවියකි. සෝකයත් රසයක් බවට පත් වන තැනකි.
නඳුන්ගේ පළමු කවි පොතෙහි ඇතුළත් “වයරින් බාස්ගේ නික්ම යෑම,දෙවැනි කවි පොතෙහි ඇතුළත් සිනමා පෙමක් , කුණු ඇළ ළඟ සුවඳ විලවුන් විජිතය “යනාදී කවිවල හමුවන අවවරප්‍රසාදිත චරිතවල ඇතුළාන්තය දුරස්ත සහ සමීප රූප අතර මධ්‍යස්ථ රූපයක් ව කාව්‍ය අත්දැකීම් බවට පත් කර ඇතැයි මොහොතකට සිතුව හොත් ඔහුගේ පසුකාලීන කවි පොත් වන සුළඟෙහි ම සුළඟක්ව,මගේ ආලයේ ග්‍රෑම් පෝන් යනාදී කෘතිවල කවි එවැනි චරිත හා සුදුවීම්හි සමීප රූප ලෙස අපට පෙනෙනු ඇත.
ඔහු චරිතවල දුරස්ත රූප හා මධ්‍යස්ථ රූප සමීප රූප බවට පත් කිරීමේ කාව්‍ය මාර්ගයකට පිවිස ඇතැයි කීම යුක්ති යුක්ත ය.මේ හැඳින්වීම් දෘශ්‍ය කලා මාධ්‍යයට උචිත යැයි කීමට ඉක්මන් නොවනු මැනවි.
තොට ළඟ සුවඳ පැන් විකුණන සිරිපාල
හැටේවත්ත ගම ඔහුගේ උපන් බිම
බේස්ලයින් කෙල්ලන් රෑ හදි ගැහෙන
සුවඳ හිලව්වට දී මල් රොන් උරන
සියුම් අත්තටු නාද කෘතියෙහි ඇතුළත් කුණු ඇළ ළඟ විලවුන් විජිතය කව්පෙළෙහි පළමු කව එසේය.
කවියා කෙමෙන් ආත්ම ගවේශනය ඔස්සේ ජීවිතයෙහි සමීප රූප කවියට ගෙනෙන කාව්‍ය මාර්ගයකට අවතීර්ණ වෙයි.
ඔහුගේ අලුත් කවි පොතෙහි “මට මෙතැන තනිකමේ රාජ්‍යයක් “කවිය ඇරඹෙන්නේ මෙසේය.
මං මමගේ ගින්දරේ තනිකමේ කවි එක්ක තනිවෙමී
දූපගේ දූපතේ මීවිතක් එක්කලා තනිකමේ
මෙහෙට ආ බෝට්ටුව රැහැනෙන්ම මුදා හැර මූදේ
දැන් තක් කියන්නෙත් රටකට මට මෙතැන තනිකමේ රාජ්‍යයක්
හුදෙකලා සර්පයින් එතෙනවා පපුවේ සීතලේ
බොන්න බැරි තරම් ලුණු රහයි අතීතේ සෝකේ
කවි විතක විතරයි මත් වීම තියේනේ ආලේ
බදාගෙ ඉඹින්නම් රැල්ලකට උරුම පෙණ තීරේ
නඳුන් මෙතෙක් ලියා ඇති කවි සියල්ල කියවන විට හැඟී යන්නේ ආරම්භයෙහි පටන් ඔහු ක්‍රමයෙන් නිශ්චිත ව එකම හුයකින් ඈඳිය හැකි තේමාත්මක සමීපකම් ඇති අනුභූතින් කිහිපයක් අතර සැරිසරන කවියකු වෙමින් සිටින බවය. එසේ වුව ද ඔහුගේ කවි ඒකාකාරී නොවන්නේ කරුණු කිහිපයක් නිසා ය. ඉන් පළමු වැන්න අල්පෝක්තිය,රූපකය සහ රූපකාර්ථවත් බස ගම්භිර අයුරින් කවියෙහි සන්දර්භය ගොඩ නැගීමට භාවිත කිරීම ය. මෙහි විශිෂ්ටත්වය නිසා අත්දැකීම්වල පොදු බව මැකී ඒ කවි වෙන වෙනම සුන්දර වස්තූන් බවට පත් වෙයි.
“බකුසු නද අස්සෙන්” කවිය දක්වමි.
බස්සෙක්ගෙ නාදයක්
අඳුරස්සෙන් එබෙනකොටයි ලස්සන
ඔයා කියන්නෙම එහෙමයි
ඉන්ද්‍රජාලික ඇස් අස්සෙන්
කියව කියවා හිඳින පොත බිම තියා
අඳුරට කන්දෙන්න පටන් ගන්නවා මමත්
බස්සෙක්ගෙ නාදය අසන්නට
ඉස්සරම දවසක මූසල යැයි අම්මා කියූ
ඒත් ඔබ ආස ඒ නාදෙ අසන්නට
බස්සෙක් මහ කැත කුරුල්ලෙක් නේද
අහන්නට හිතේ පැටලුණත් හ්ම් කියවුණා විතරයි මට
මගේ හීනෙට ඇවිත් වාඩිවෙන බස්සෙක් මිසක්
කොහෙද කැත කුරුල්ලෙක් දැන්?
පසුවදා සිට සොයාගෙන කියවමි බකුසු කවි
අඳුරස්සෙන් ඇසෙන නාදයක් වගේ මිහිරි කවි
අම්මා උන්නා නම් කියන්න තිබුණා මෙහෙම කවි
එහෙම මූසල නෑ කියා මං කියන හැටි මතක් වෙයි මැවී මට
කුඩා කළු පැහැ පියාපතක් තිබුණා ගසක් යට දවසක්
ඇත්තටම ඒ ඉතින් බස්සෙක්ගෙද?හරි ඉන්ද්‍රජාලිකයි ජීවිතේ
ඇගේ ඇස් අස්සට එබී අහන්නෙම රකුසු බකුසන්ට
ඈ කැමති වුණේම කොහොමද?
මෙහෙම කළු පියාපතක් උහුලාගෙන
බස්සෙකුට ඉන්න පුලුවන්ද හීනෙක?
එහෙම බස්සෙක්ගෙ නාදයක් නොඇසුණත් තාමත්
අඳුරස්සෙන් ඉතිරිකරගෙන ගිය කවියක්
ඉඳහිටක කියවනවා මං අදත්
බස්සෙකුට තියෙන්නෙත් ඉන්ද්‍රජාලික ඇස් දෙකක්
හරිම කළු පිහාට්ටක්
දරාගන්නට බැරි තරම්
අඳුර අස්සෙන් ගැයෙන
හ්ම් කියා කියවෙන නෑසූ ගීතයක්.
බකුසු නාදය, බකුසු තටුව, අඳුර ප්‍රියමනාප නොවේ. ජීවිතය ද හැමවිට ම ප්‍රියමනාප නොවේ. අප්‍රිය,අඳුරු සහගත දේවල් ද ප්‍රියමනාප කරගනිමින් ජීවත් වන්නට සිදු වේ.
සංකේත හෙවත් රූපක භාවිතය ද සූක්ෂ්මාත්මතා ගුණය ද කාව්‍යොචිත බව ද අනුව ප්‍රබල කාව්‍යමය අත්දැකීමක් ගොඩ නැගෙයි.
කවියා වෙනස් අත්දැකීමක් කවියට ප්‍රස්තුත කරගන්නා විට ද නිරායාසයෙන් ම කවියාගේ ආත්ම ගවේශනය,විප්‍රයෝගය ආශ්‍රිත චින්තාව කවියට එයි.
සබන් පෙණ නම් සිහින කවිය මෙසේ ඇරඹෙයි.
මපුතුට අරන් දුන්
සබන් පෙණ විදිනයෙන්
නැගෙයි සබන් බුබුළු
ඉහළ යන විට ඒ බුබුළු
පහළ හිඳ බලමි
බිඳී විසිරෙන අයුරු
ඒ උස් පෙණ සිහින
කවිය අවසන් වන්නේ මෙසේය.
අහා සබන් නම් පෙණ සිහින
බිඳී යන අයුරු යළි නැඟෙන අයුරු
අප නොදන්නා මොහොතක!
මෙහිදීද කවියා පෙණ නැගීම සහ බිඳීම සිහිපත් කරන්නේ පූර්වයෙන් කී පරිදි ම හමුවීම සහ වෙන්වීම අතර ජීවිතය ගැන කියන්නටය.
“එක හැඩයකින් නෙක හැඩ මවා පෙන්වන මේ ප්‍රිස්ම” කවිය මෙසේය.
කුඩා මල් පෙති කඩා
දමා එක ප්‍රිස්මෙකට
නෙක රටා බලමින්
එදා පන්තියේ සිනාසුණු
බොහෝ අය අතහැර
පරෙස්සම් කරගත්
මලක් මා වෙත දුන්නු
ප්‍රිස්මයක් මෙන් දිස්නෙ දුන්
එක කුඩා ඇස් දෙකක්
මා වෙතට තාමත්
පාසලේ දැල් කවුළුවෙන්
දැල් බිඳ එබෙයි.
උරා ඉර එළිය හදවත
සත්කඩකට ඉරා එළිය විසිකර
ඈ ගිය පසු නොදන්නා දේශයක
මා ප්‍රිස්මෙකින් දුටුවේම
සිරවුණු සමනල තටුවක් වන්
ගිලිහුණු මල් කැබලි කීපයකි
අදද පොඩි දරුවන්ට පාසලේ
ප්‍රිස්මයේ පාඩම කියා දෙන මොහොතට
කැඩුණු මල් කැබැල්ලක් ගිලිහෙයි මා සිතින්
බොහෝ වර වෙර දමා ප්‍රිස්මෙකට මලක් දමා
බලන විට හදවතට උල් වූ පෙති අනියි
දැල් කවුළුවක් විසුණු කර
ඉර එළිය ඉර ඉරා පතුරු කර
මලක පෙති කැබැල්ලක් සැඟ වෙයි
එක හැඩයකින්
මවා නෙක හැඩ ද
උරා ඉර එළිය හදවත
සත්කඩකට ඉරා
එළිය විසි කරන
මේ ප්‍රිස්ම හදවත්
භයානකද කෙතරම්
සුන්දරද එතරම්
එක කුඩා ඇස් දෙකක් තරම්.
කවියා මීට පෙර ලියා ඇති වෙරළු අහුරක මතක කවියෙහි අත්දැකීමට යම් සමානකමක් මෙහි ඇතත් මේ කවිය ඊට වඩා ප්‍රබල ව ගොඩ නගා ඇත.කවියා මෙහිදී ප්‍රිස්මයකින් පෙනෙන රූපාවලියක් ඔස්සේ කථකයාගේ දිවියෙහි අතීත මතකාවලිය කැබලි කර පෙන්වයි. කාව්‍ය ශරීරය ගොඩනැගෙන්නේ ප්‍රිස්මය වටා ය. රූපකාර්ථවත් බසට වඩා සමස්ත රූපකය ගොඩ නැගීම කෙරෙහි කවියා උනන්දු වෙයි.
මෙවැනි විශිෂ්ට කවියක් රසිකයන් අතරට එන්නේ දශකයක පමණ කාලයක පටන් එම කාලය ඉක්මවූ අභ්‍යාස සමයක් මෙම කවියා ගත කිරීමේ ප්‍රතිපලයක් ලෙස යැයි සිතමි.
නූතන කවිය පිළිබඳ කවර මානයන්ගෙන් විමසුවද උස්ස් යැයි කිව හැකි කාව්‍ය රචනා කිහිපයක් ම මේ කෘතියෙහි ඇතුළත් වෙයි.එමෙන් ම මෙහි ඇතැම් කවිවල සාරත්වය ඉක්මවන කවි ඔහු අතින් ම මතු ලියැවෙනු නිසැක ය.
මේ ඇතැම් කවිවල මෙන් ම නඳුන්ගේ බොහෝ කවිවල හිමි අහිමි ප්‍රෙමයෙහි මිහිරක් ඇත.හැම කවියක ම “ඇය” සරයි.සරානුරා නෙතින්ම නොව සුළඟෙහි ම සුළඟක් ලෙස ය. නඳුන් තම අත්දැකීම් සමුදායෙහි සාරවත් ම කොටස් මත පිහිටා විප්‍රයෝගී මනස්තලයක කවිය නොරඳවා විශාල ආත්මීය අරගලයකින් “ඈ සහ ඔහු” මුදවා තබා කවියට කවිය හැටියටම විසිය හැකි කාව්‍යොචිත පරිසරයක් නිර්මාණය කරයි.
මේ කාව්‍යාවලියෙහි පුෂ්කින් මහා කවියාගේ ඇතැම් කවිවල දැවටෙන ශෝකයේ පරමානන්දය ද සේකරගේ නොමියෙමි ඈ කාව්‍යන්හි දිදුලන මරණයේ කටුකත්වය පරදවා නැගෙන රමණීයත්වය ද නිරායාසයෙන් ම දැවටෙයි.
අප කවියා ගැන උදාර හැඟීමක් හදවතෙහි උතුරයි. නඳුන් යසිත දසනායක කවියාගේ නව කවි සමුච්චය රසික පර්ෂද අතර ගැඹුරු කියවීමකට ලක්වනු ඇතැයි සිතමි. එසේ වේවායි සෙනෙහසින් පතමි.