විසිරි මිණි, මිණි පැමිණි , නොනිමි මිණි සහ අනත මිණි

Share post:

අප අපේක්ෂා කළ නිවුන්හැල්ල සොයුරාගේ හයිකු කාව්‍ය පරිවර්තනය පැමිණ ඇත. එය අපට වටිනා සම්ප්‍රදානයකි. සැප්තැම්බර් පොත් වසන්තය බලන්නට නොගියේ මුදල් හිඟයට ගොදුරු වීම නිසා බව සැඟවිය යුතු ද නැත. ඒත් තැපෑලෙන් මිහිරිතම පොත් තෑගි බොහෝ ලැබිණ. ඊයේ අමරකීර්ති සර් කියූ සේ මේ ලැබෙන පොත් ගැන යමක් ලිවීම පහසු නැත. කාලය සමග අරගලයේ යෙදෙන්නට සිදු ව ඇති බැවිනි . එහෙත් කෙසේ හෝ මේ අගනා පරිකල්පන ගැන මගේ දේශන , සාකච්ඡා , කමිටු රැස්වීම් , වැඩමුළු ආදී නැතක් තැන්වල අදහස් පළ කරමි. එහෙත් මේ නොනිමි මිණි ආර ගැන වදනක් ලිවිය යුතු ම ය. ඒ නිවුන්හැල්ල කවියා කවිය වෙනුවෙන් දරන අනත් වෙහෙසට උපහාරයක් ද ලෙස ය.

ඒ ඔහුගේ පළමු කාව්‍ය පරිවර්තනය යි. අන්තර්ගතය සේ ම පෙරවදන ද එක සේ වැදගත් ය. නිවුන්හැල්ල යනු දිගු කලක් හයිකු කවිය ගැන ම දැඩි අවධානය රැඳවූ කාව්‍ය පර්‍යේෂකයෙකි. එහි දී කාව්‍ය භක්තිය, කැපවීම , පිපාසිත ශාස්ත්‍රීය එළඹුම අනවරත ව අපට දැකිය හැකි ය. පෙරවදන තුළ ලාංකේය හයිකු පූර්ව පරිවර්තන ගැන හා අපට අනන්‍ය කෙටි කවි නිර්මාණ අස්වැන්න ගැන විවරණයක් සපයා ඇත.

එසේම හයිකු පිළිබඳ ශාස්ත්‍රීය සමුද්දේශ රැසක් ගෙනහැර පා ඇත. ඒ ඇතැම් චින්තකයෙකු අපට අලුත් ය. එය ඉතා වටිනා සොයා ගැනීම් ය. මගේ පුද්ගලික අදහස නම් මේ මුල් චින්තාවල හිමිකාරිත්වය විමර්ශන සටහන් සේ යොදා තිබුණේ නම් මනරම් බව යි. නිවුන්හැල්ල පොත් ගෙන්වා ගනිමින් , වැර වෑයමින් හදාරන වෙහෙසෙන මිනිසෙකි . මෙතැන දී reference හරි ම වැදගත් ය. රසිකයන් ඒ පොත් සොයා යාමට පොළඹවන හා තම ලේඛනයේ විදුහුරු බව රැකෙන ප්‍රයත්නයක් බැවිනි.

හයිකු කවියේ ප්‍රධාන ලක්ෂණ , යන්ත්‍රණය හා ශානරයක් ලෙස එහි රස මිහිර , ශක්තිය අදාළ සාකච්ඡාව තුළ ඔහු ගෙන එයි.
මෙවර අප අත පත් කාව්‍ය පරිවර්තන සමූහය ද වෙසෙසි වැදගත් බවක් තිළිණ කර ඇත. එසේ වන්නේ කැනඩා, බ්‍රිතාන්‍ය ආදී හයිකු මේ අතර තිබීම යි. රණවීර , නන්දන , රාජකරුණා ආදී පුරෝගාමීන්ගේ අවධානය ජපන් හෝ ඇමෙරිකා හයිකු වෙත බෙහෙවින් නැඹුරු ව තිබිණ . නිවුන්හැල්ල කවියාගේ තෝරා ගැනීම් අපට අලුත් දේශවල අස්වැන්නේ ස්වරූපය හඳුනා ගැනීමට උදව් සපය යි.

මුල්‍යමය අර්බුද නිසා පොතක ශරීර ස්වභාවය හා වර්ණ, කඩදාසි වර්ගය ආදී කොන්දේසි කෙසේ රකින්න ද? වසන්ත ගිම්හානාදී කාලය, මරණය හෝ වියපත් වීමාදී තේමාත්මක ප්‍රවේශය නිසි වර්ණ සහිත ව මේ පොත වෙත පැමිණ නැත. එක පිටුවක කවි මෙතරම් ප්‍රමාණයක් සිර නොකළේ නම්….ඒත් මේ සියල්ල ඔහු නොදන්නා දේ නොව දුකෙන් සංවේගයෙන් දරාගත් යථාර්ථයක් විය යුතු ය.

නොනිමි මිණි යනු නිවුන්හැල්ල කවියාගේ ජයග්‍රහණයකි . ඉටු වූ පැතුමකි. තවත් දිගු ව හයිකු ගැන ලිවීමට ඔහු පොරොන්දු වී ඇත. සිඟිති හයිකුවක් බඳු
පිටකවර නිමැවුමක් ලැබීම භාග්‍යයක් නොවේ ද?

මෙය සුබ පැතුමක් පමණි . කවිවල රස ගුණ ලිවීමට කාලය සොයා ගන්නම්.
ගිම්හාන වැස්ස
නික්ම ගොසිනි
පැහැසර සඳ තබා
තෘණ මත
ඔබ අප ඉදිරියේ සඳ තබා ඇති නිසා ඔබේ ජීවන කාර්‍ය සපුරා ඇත. අප සඳ පතා සිටි නිසා හා දැන් එය ලද නිසා අප ද සතුටෙනි.

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...