නඳුන් යසිත දසනායකගේ ” කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු “
ඒ කවි බොහොමයක් ඇතුළෙ ජීවත් වෙන්නෙ සාමාන්‍ය හැසිරීම්වලින් මඳක් එහාවට ගිහින් තනිකම හුදකලාව වේදනාව මායාව වගේ දේවල් වැළඳගන්න කථකයෙක්. පොතේ නමට ම ඒ කවි ගැළපෙනවා. එදිනෙදා තත්ත්වය ඉක්මවන සංවේදී තලයක ජීවත් වන මනුෂ්‍ය සන්තානයක බොහෝ තැන් කවියා මේ කවි පොත ඇතුළෙන් ස්පර්ශ කරනවා කියලා මට හිතුණා.
නඳුන් කවිත් එක්ක කරන්නේ ඉතා සරල ගනුදෙනුවක් නෙවෙයි.පාඨකයාට එක කවියක් කියවලා කිප වතාවක් ඒ තුළ ජීවත් වෙමින් කවියේ විවිධ මානයක් හොයා යන්න සිද්ධ වෙනවා. ජනප්‍රිය ධාරාවෙ ඇතැම් කවිත් එක්ක ගත්ත ම මේ ව්‍යයායාමය පාඨකයාට ඉතා වටිනවා. හිතන්නවත් නතරවෙන්නවත් වෙලාවක් නැති කාර්‍යබහුල මනුෂ්‍යයාට කවි පොතේ මඳක් නතර වෙන්න ලැබීම සතුටක්.
බොහෝ වෙලාවට කවියා භාවිතා කරන ඇතැම් රූපකාර්ථ සංකේතාර්ථ එක්ක ගැටෙන්න ගැටෙන්න පාඨකයා රසයේ විවිධ ඉසව් විඳගන්නවා. ඒ වගේ ම කතුවරයාගේ අරමුණෙන් දුරස් වෙලා ඕනෑ ම අර්ථයක් ,හැඟීමක් කවියකට ලබා ගන්න පාඨකයාට හැකියාව ලැබෙනවා.
නඳුන්ගේ කවිය සමීපව කියවීම ඉතා ප්‍රියජනක දෙයක්. ඒකට හොඳ ම නිදසුන් කීපයක් තිබ්බත් මගෙ හිත සසල කළ එක කවක් ගන්නම්..
” විදිලි එළි විහිදෙනා රෑ රිඳී සිතුවම් අදී ගගනත “
විදිලි එළි විහිදෙන රෑ
රිදී සිතුවම් අඳී ගගනත
වැසි වැටෙයි සිතුවිලි වහල මත
ආලෝකයෙන් මොහොතක් තෙත්ව
බිඳී විසිරේ ඈත වලාකුළු
කාලයේ ගන මීදුම් අතර
සිරවී සැඟවී තිබුණු
දෙකඳු යාය මොහොතක්
ආලෝකයෙන් එළිය වී නොපෙනී යයි
රැයේ දැලි බැඳි ගමනක වේදනාවක්
ඉටි මෙන් වැගිරී ගලා යයි
ඔබේ සුදු අතක සීතල
මා අතේ වැදී අකුණක්ව කෙටුණි
බස් රියේ මීදුම් මැද ගමනකය එදා අප
මැජික්කරුවෙකුය සෙනඟ මැද
ඉරුණු කබායක මැදින්
රෝස මලක් සහ
කුඩා බෝනික්කෙක් මවා
ඔබ වෙතට දිගු කළ..
ඈත කඳු දෙස බලා නිහඬවන උන්නා පමණි ඔබ
ඒ නෙත් අකුණු පුපුරයි තවම මා සිත තුළ
රෝහලේ කනත්තේ තනිව නිදිකර එන අතර
එදා නූපන් මලක රහස් ශෝකාකූල පෙම් අකුණු සිළක්
කෙසේ නම් වෙන් වී ගියෙද
දෙකඳු යායක් පෙම් දෑසක්
අසු වී මෙන් අනෝරා වැස්සක
නායකට
තවම එවන් වැසි මැදින් පාළු රෝහලක
තනිවම තෙමෙනවා ඇති ද නාඳුනන කැකුළක සීත හද
කෙටෙයි අකුණක සීතල අතක් මැජික්කාර ගමනක් මැද
නැති වූ රෝස මලක් සහ බෝනික්කෙකු සොයයි මා සිත
රැයේ දැලි බැඳි ගමනක වේදනාවක්
ඉටි මෙන් වැගිර ගලා ගල් වී යයි අද..
ස්වභාවික පරිසරයේ ඇති සෞන්දර්යාත්මක හා ගුප්තමය ඉසව් බොහොමයක් ම කථකයාගේ හදවතෙහි ස්වභාවය පෙන්නුම් කිරීමට යොදාගනිමින් අතීතයේ සිදු වූ වේදනාත්මක මතකයක් අවදි කරන්නෙක් මෙම කවියෙන් නිරූපණය කරලා තියෙන්නෙ මම මේ කියනා තරම් පහසුවෙන් නොව සීරුවට.
ඒ කව සමීපව කියවීමේ දී රෝස මලක් හා බෝනික්කෙක් ඇය අතට දෙන්නේ මැජික්කාරයෙකි. ඒ ගමන රැයේ දැලි බැදි වේදනාත්මක ගමනකි. රෝහල් කනත්තේ තනිව නිදිකර එයි. ඒ නූපන් මලෙකි. ඇය නිහඬව කදු දෙස බලන් හිටියා පමණකි. ඒ දෙකඳු, නාදුනන කැකුළකි.
තවමත් කථකයාගේ සිත නැති වූ රෝස මලක් හා බෝනික්කා සොයා යයි..
තමාගේ ම හෘද සාක්ෂියෙන් පලා යාමට අපහසුව ජීවිතය පුරා වේදනාවක් ඉතිරි කරගත් නූපන් දරුවෙකුගේ පියෙක් ලෙස මෙහිදී කථකයා අපව සසල
කරනවා . දරුවා අහිමි කරගත් ගැහැණිය පිළිබඳ කවියෙහි එන්නේ ඇය නිහඬව කදු දෙස බලා සිටියා යන්න පමණයි. ඒ බැල්ම පාඨකයාට මැවී පෙනෙනවා .
ඊටත් පස්සෙ ඒ බැල්ම පිළිබඳ නොයෙක් සිතුවිලි පහල වෙනවා. සමස්ත කවියම නගන ඉතා සියුම් බව එක්ක බොහෝ කාලයක් පාඨකයා නතර වෙනවා.
ඒ වගේ ම කවියකින් මතු කරන සෞන්දර්යාත්මක මිහිර නඳුන්ගෙ මේ කවිවලින් දැනෙනවා. කවියේ සරල අලංකාර භාෂාව ආදිය වෙන්ව අරගෙන විදිනවාට වඩා සමස්ත කවිය සෞන්දර්ය වස්තුවක් ලෙස විඳිමට හැකිවීම අපුරුයි.
ඔහුගේ ඇතැම් යෙදුම් මවන මිහිර එක් සීමාවකට කොටු කරන්න බැරි වගේ ම පාඨකයාට තමන්ට රුචි ලෙස විඳින්න හැකි ඒවා
” අන්ධකාරිත දිවි කොයිතරම් ඇති ද
මගේ පරිකල්පන මානයෙන් සැඟවුණ ” 59
“සිතේ ගැඹුරු සිත්තමක් පින්තාරු කරන
කන්ද හරි මිත්‍රයෙක් ” 8
රූපකාර්ථ බහුලව යොදාගනිමින් මනුෂ්‍ය චිත්තයේ සංකීර්ණ හැඟිම් ගොන්නක් ප්‍රතිනිර්මාණය කරන කාව්‍ය ග්‍රන්ථයක් විදියට කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු හඳුන ගන්න පුලුවන් .
සමහර වෙලාවට මීට වඩා අඩු වචන ගණනකින් කියන්න පුලුවන්කම තියාගෙන ඇතැම් කවි දුර දිගට ගිය අවස්ථා මට අනුව හමුවෙනවා. තවත් සමහර වෙලාවට අර්ථමය තලයෙන් ගොඩ දා ගන්න බැරි කවි සමහර පාඨකයන්ට හමුවෙන්න පුලුවන් කියලත් හිතුණා. ඒ තැන්වල දි පාඨකයාට දැඩි වෙහෙසක් නොවෙන්න සීරුවට සෞන්දර්යාත්මක ගුණය වැඩිකරගන පාඨකයා රඳවා ගන්න එක කතුවරයා කරන්න ඕනෙ කියන මගෙ යෝජනාවක්..
කියවලා හිතන්න ඉඩක් නැති ඔහේ ගලාගෙන යන කවි බහුල කාලෙක නඳුන්ගේ අලුත් කවි පොත අපට මැණිකක්..සුබ පැතුම්…