කෙටි කවිය පිළිබඳව ආශ්වාද ජනක හැඟීමක් ‘නොනිමි මිණි’

Share post:

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ ‘නොනිමි මිණි’ පරිවර්තන කියවීම, කෙටි කවිය පිළිබඳව ආශ්වාද ජනක හැඟීමක් මෙන්ම, ඔහුගේ කාව්‍ය කැපවීම පිළිබඳවත් ගෞරවණීය හැඟීමක් දනවන නිමේෂයක්.

ජනප්‍රියම කවීන්, විශිෂ්ටතම කවීන් වැනි ෆේස්බුක් බාල්දි සංවාද දිහා සමීපව බලද්දි කාව්‍ය සමාජයේ හැසිරීම සහ චලනයන් සිදු වෙන දිශානතිය මොන වගේද යන්න අපට යම් දුරකට විග්‍රහ කරගන්නට, කියවගන්න පුළුවන්. එවැනි ධාරාවකට මෙවැනි කෙටි කවි පරිවර්තන කෘතියකින් කළ හැකි යමක් වේද යන්නත් වෙනම විමසිය යුතු කරුණක්.

කෙටි කවිය පිළිබඳ යම් වැඩි උනන්දුවක් සමාජ මාධ්‍ය තුළ තුල පෙනෙන්නට තිබුණත් කෙටි කවි පොත් මුද්‍රණය වන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. ඒ නිසා දුෂ්කර සමයක මෙවැනි කවි පොතක් භාරගත් සිලිකා ප්‍රකාශන ආයතනයටත් අපගේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමි විය යුතුයි.

ජපානය, ඇමරිකාව, කැනඩාව යන රටවල හයිකු කවි අතරින් තෝරාගත් කවි සියයකට අධික ප්‍රමාණයක් මෙම කෘතියට ඇතුළත්. ඉසා, බෂෝ වැනි ජපන් හයිකු කවීන්ගේ කවි දිගින් දිගටම කියවීම මගින්, යම් ඒකාකාරී කෙටි කවි විශේෂයකට පමණක් හුරු වෙමින් තිබුණු නිසාම, මා පෞද්ගලිකව මෙහි වඩා ප්‍රිය කරන්නේ උතුරු ඇමරිකානු කෙටි කවි වලටයි.
පහත දක්වා ඇත්තේ ඊට උදාහරණ කීපයක්.

එක් සරත් රැහැයියෙක්
උයන
සෙවණැලිවලින් පුරවයි

සැදෑවේ තනියම
බොහෝ දේ මතකයට කැඳවන
ගිම්හාන සමනල්ලු

සරත් වැස්සෙන් අඳුරු වන
වියට්නාම ස්මාරකය
මා මියගිය සොයුරාගේ නම

දුඹුරු පතක් පාවෙයි
ඊයේ මිතුරෙකු සමග
මා පිහිනූ තැන

පව්වෙහි
මැඩියා සිටි තැන
තෙත සළකුණක්

මෙවැනි කවි තව ඕනෑතරම් උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. කෙටි කවියට පමණක් නොවෙයි සමස්තයක් ලෙස කවියට ඇලුම් කරන සියල්ලන් ලග අත්පොතක් ලෙස තබා ගත යුතු කවි පොතක්. දීර්ඝව මේ පොත ගැන පසුව අදහසක් ලියන තෙක් මේ කෙටි සටහන තැබුවේ ඔහුගේ නිර්මාණ ශ්‍රමයට ගරු කිරීමක් ලෙස.

“හැම ලයිලැක් මලක්ම
මට පෙන්වයි
ලයිලැක් ගැන මා
නොදන්නා දේ”

චින්තක සමන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...