‘ඇත්තට ලියූ පැදි’- ස.බ. වෙල්ගම
ඒ නම් කවි එකතුවකට අපූරු නමකි. ඇත්තට ලියූ කවි. මේ නමට පදනම සපයන්නේ කවි පලවූ පුවත්පත එනම් ඇත්ත හේතුවෙනි. බී ඒ සිරිවර්ධන කතුකම දැරූ අවධියේ ලියන්නට පටන්ගෙන් ඇත්තට ලියූ හෙයිනි. එහෙත් මේ කවි වලට ඒ නම් ගැලපෙන තවත් හේතුවක් ද තිබේ. ඒ කවි සැබැවින්ම කවියාගේ අව්‍යාජ ආත්ම ප්‍රකාශනයන්ද වන හෙයිනි. එහෙයින් ඇත්තට ලියූ කවි සැබෑ ලෙසම ඇත්තටම ලියූ කවිද වෙයි. එහි ව්‍යාජයක් හෝ මවාගත් කවිකාරකමක් නැති. ඔහු ලියනුයේ තමන් හට අව්‍යාජ ලෙසම දැනෙන දෙයයි. ඒ දැනීම පසුබිමෙහි ඇත්තේ ඔහුගේ දේශපාලන දිවියෙහි දිග පලලයි. එහෙයින්ම ඔහු ලියනුයේද තම පංතියේ මිනිසුන්ගේ ජීවිතයේ විවිධ පැතිකඩ ගැනය. ඔහු ලියනුයේද තමන්ගේ කවි පොතක් පල කරගෙන නමක් හදාගැනීමේ අටියෙන්ද නොවේ. කවි පලකරනුයේද ලියා බොහෝ කලකට පසුවය. ඔහු ඉන්නේද ආත්මාභිමානයක් නඩත්තු කරනා මනසකින්ද නොවේ. එහෙයින් ඔහුට තමන් මාකට් කිරීමට ඇවැසිද නැත.
ඔහුගේ කවි එකතුවෙහි පළමු කවියම පංති සමාජයෙහි ස්වභාවය මේ යයි පවසන්නකි. ඔහු ඒ සඳහා විෂය කරගන්නේ තරුණියන් කණ්ඩායම් දෙකක පැවැත්මේ විෂමතාව ය. පළමු කන්ඩායම අයත් වනුයේ වැඩ කරන නැතිනම් කම්කරු පංතියට වන අතර දෙවන කණ්ඩායම අයත් වනුයේ එහි පල භුක්ති විඳින පංතියටය. පළමු වැන්නන් හට තම නිපැයුම් වල ප්‍රයෝජන ලබන්නට ඉඩක් සමාජ ක්‍රමය විසින් ඉතිරි කර නැත. ඔවුන්ගේ ජීවිතය යනු වැඩ කිරීම සහ දුක්විඳීම මතම පදනම් වන්නකි.
ඔප දමා පළිඟු කැට
කාන්තිය දෙනෙතේ උගස් කොට
දේශයේ දියනිවරු
සපැමිණ දෙතිස් විය අසලට
නොහෙළා වරුවකට
ඇදගත් හුස්ම ඉහලට
නිදති ලණු ඇඳ මත
වහලෙන් එබෙන තරු යට
මේ එහි ප්‍රතිවිරුද්ධ පක්ෂයයි.
ඇමිණූ පළිඟු කැට
පොට රඳවමින් ගෙල වට
නැති එළිය දෙනෙතට
මවමින් දෙතුන් ගුණ කොට
සක්වලැ දියණිවරු
නොයන සියුමැළි වියෙන් ඔබ්බට
කෙළි සිනා නංවති
සඳළු තල මත තරු යට
මෙහි මේ දෙපිරිස වෙත තරු පායන ආකාරයම විෂමතාවෙහි තරම අපට පෙන්වා දෙයි. මෙවන් දැක්මකට ඔහුට පදනම සපයනුයේ තම දේශපාලන ආස්ථානය බව පැහැදිලිය. ඔහුගේ දෙවන කවියද පංතිය මත පදනම් වන සමාජයෙක ඉහල පංතිය තමන්ගේ පැවැත්ම උදෙසා පහල පංතිය ක්ෂය කර හරින්නට යුහුසුලු වන ආකාරය කියා පායි. මේ එවන් පංතික මිනිසුන් සිතන ආකාරය අප කවියා වදන් සිත්තමක් කරන ආකාරයයි.
තිබිය යුතුය ඉඩ කඩ
ඇවිදින මං තීරු වල
හවස් වරුවේ නිස්කලංකව
බලු සුරතලා හා දරු පවුල් කැටිව
එකට සක්මන් කරන්නට
අප යුද්ධයක ගින්නෙන් පුරා තිස් වසකට වැඩි කාලයක් දැවුණු මිනිසුන් වෙමු. ඒ මුළු කාලය පුරාම අපට උරුම වූවේ අනෙකා සැක කරමින් ඔහු සතුරා ලෙස සලකමින් වෛරය වැඩීමේ කාර්යයි. අපි ඒ වෛරයෙන් බිම තෙත් කළෙමු. ශුද්ධ වූ ජාතියක සිහිනයෙන් මරණය සහ භීෂණයට උඩගෙඩි දුන්නෙමු. අප එසේ පිල් බෙදී කා ගනිද්දී මනුෂ්‍යත්වයට එරෙහි පංතිය ජාති භේද අවුලා තුමූ එක මේසයෙහි කාබී සතුටු වෙමින් සිටිති. එහෙත් පොදු සමාජය ඒ සත්යතය පිලිගන්නට සූදානම් නැත. ඒ නිසාවෙන් ඔවුන්ට සදා උරුමව ඇත්තේ කා කොටා ගනිමින් වැනසී යාම පමණි. මේ කවියා ඒ තත්වය දකින ආකාරයයි. ඔහු ඒ සඳහා උතුරෙන් සිවරාසන් සහ දකුණෙන් කෝප්‍රල් වීරසිරි කැඳවයි. දෙදෙනාම තමන් විරුවන් වෙමින් තම ළබැඳියනට කඳුල උරුම කොට මැරී යති. ඒ අතර සුජාතාවන් සහ එදිරිසිංහම්ලා සඳළුතලවල මධු සාදයකය.
යුද්ධයේ දුමාරය මැද
තරු පහේ හෝටලයක
මතු මහල් කුටියක
නැළවුණා ය සුජාතාවක්
එදිරිසිංහම් හා තොලගාමින් මධු විතක්
සංගීත රාවය හා මුසුවුණු
සිනා හඩ පතුරවමින්
වර්තමාන වාණිජවාදී සමාජය තුළ ආගම යනු තවත් එක් වෙළඳ භාණ්ඩයක් පමණි. පැවිද්දෝ යනු එහි වෙළඳ නියෝජිතයෝය. එහෙයින් ශාස්තෘන්ගේ වදන් සොයන්නවුන්ට ඉතිරිවන්නේ අපේකෂා භංගත්වය පමණි. නමුදු ඔවුහු යහපත් යතිවර සිහිනයක් දකිති. කවියා සිහිනයක් නොවේ යනුවෙන් නිර්මාණය කරනුයේ එවන් අවස්ථාවකි. ඔහු දකිනුයේ බසයට ගොඩවන සාමණේර භික්ෂුවක තමන් උදෙසා වූ අසුනෙහි කුඩා දරුවකුද සමග සිටිනා මවක දැක තෙලපන වදන්ය. භික්ෂුව කියනුයේ තමන්ට මවට ඉඩදී පසු අසුනට යා හැකි බවයි. සැමියා බිරිඳට තේ කෝප්පයක් සාදා දුන්නේ නම් බිරිඳ අපාගත වන්නේ යයි මජර බණ කියනා පැවිද්දන් සුලබ රටක මේ නම් අසිරියකි. කවියා කියන්නේ එයයි.
කවියා රටෙහි ජනතාව බෙදී කොටා ගන්නා කාළකණ්නිකම ගැන බෙහෙවින් සංවේදීය. රට පුරාම එකිනෙකා බෙදී ඇණ කොටා ගන්නා මිනිසුන්ගේ ඉරණම ඔහු දකිනුයේ මෙලෙසිනි. ඔහු ඒ සඳහා භාවිතා කරනුයේ කවි කතන්දර ශෛලියයි. ඔහු සිය කවිය හමාර කරනුයේ මේ ආකාරයටය. එය බෙදී වෙන්වන්නට තතනන සමාජයක අඳුර මේ යයි දක්වා සිටියි.
කිරි ගෙදර මඩුවෙ උන් දෙනුන් දෙන්නෙක්ම නෑ
සරෝජගෙ ලොකු දුවගෙ රත්තරං මාලෙ නෑ
බුලත්විට සයිමන්ගෙ ඉදිරි දත් දෙකක් නෑ
මුත්තුලගෙ බත් කඩේ තඹ මුට්ටි තුනම නෑ
වෙල්ගම කවියා යනු හුදෙක් සමාජයේ දුකම කවියට විෂය කරමින් නොනවතින්නෙකි. ඔහු අප වෙලාගත් කාලකණ්නිකමට හේතුව දකියි. එය දේශපාලන ගනුදෙනුවක් බවද හේ දනියි. එහෙයින් ඔහුගේ අරමුණ සාමූහික අරගලයක් උදෙසා ජන මනස දැල්වීමය. විමුක්තිය යනු සාමූහික උත්සාහයක පලයක් මිස කේවල ජයක් නොවන බව ඔහු විශ්වාස කරයි. ඔහුගේ කවි පුරා අපට දකින්නට ලැබෙන පැහැදිලි ලකුණ එයයි. මේ ඔහු පීඩිතයාගේ උරුමය ලෙස සහතික කර ඇති පැවැත්ම අහෝසි කරන්නට ගත යුතු මග දකින ආකාරයයි.
බේරා ගත යුතුය ගනු දෙනු
තලනවුන් අප හා නිසි කල
මෙතුවක් අපට නොලැබුණු
අවුරුද්ද නිසි ලෙස ලබන්නට
සැබැවි, අවුරුද්ද යනු ණයට ගෙන රතිඤ්ඤා දල්වා ණය බරම කොට්ටයට ගෙන හූල්ලන දවස් කිහිපයක් නොව ජනතා අරගලයක් මගින් දිනාගත යුත්තකි. සැබෑ අවුරුද්ද යනු වැඩ කරන මිනිසුන්ට ජීවිතයෙහි අයිතිය ලැබෙනා අවස්ථාවයි. කවියා පෙනී සිටිනුයේ ඒ වෙනුවෙනි. ඔහුගේ කවි එකතුව පුරාම දක්නට ලැබෙනා ලක්ෂණයද එයයි. ඔහු තුළ දෙගිඩියාවක් නැති. ජනතාවගේ විමුක්තිය, ඔහු ඒ උදෙසා වන අරගලයක් වෙනුවෙන් ලියයි. දේශනාවෙන් පසු යැදුමක් නමින් වන කවිය පවත්නා විශ්වාසයන් ඇදහිලි සියල්ල පසෙක ලා බුද්ධිවාදී එළඹුමක අවශ්‍යතාව තදින් මතු කරන කවියකි.