“මොනවා වුණත් චෙකොෆ් ගැන මං ආසම කතාවක් තියනවා”

Share post:

මේ පොතට Elisaveta Fen ලියන රමණීය හැඳින්වීම පටන්ගන්නෙම තවත් රමණීය පොතක් වෙන, Stanislavisky ගෙ ‘My Life in Art’ පොතේ උද්ධෘතයකින්. එතනදී මතුකෙරෙන ප්‍රධාන දෙයක් තමයි චෙකොෆ්ගේ කලාවේ සාමාන්‍යත්වයේ අසාමාන්‍යත්වය. චෙකොෆ් ගේ නාට්‍ය පෙළක් පළවෙනි පාර කියෙව්වම දැනෙන්නේ පුස්සයිකලේකින් කඩේට ඇවිත් සිගරට් එකක් ඉල්ලන, සමකාලීන සූර්යා ගිනිකූරක් වගේ දුර්වල, කෙට්ටු සහ ඉක්මනින් ඇවිළී අවසන්වෙනසුලු මිනිහෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. ඒක අපට හැමදාමත්, මාළු කඩයක් පල්ලේ පූස් ගැන්සියක් දකින තරමට සුලබව පාරෙදී දකින ලැබෙන සිද්ධියක්. ඒත් ටික වෙලාවකින් අපිත් දන්නෙම නැතුව අපි කල්පනා කරන්න ගන්නවා, ලංකාවේ ඉන්ධන හිඟය, ඉන්ධන හිඟය විතරක් කියල නිකං ඉන්න බැරි බලශක්ති අර්බුදය, ඒ නිසා මිනිස්සුන්ට මෝටර් බයික් වෙනුවට බයිසිකල් පදින්න සිද්ධ වීම, සමහර විට මෝටර් සයිකල් නෙමෙයි මොන්ටේරෝ පවා ගෙදර තියලා බයිසිකල් පදින්න සිද්ධ වීම, ලයිට් කැපිල්ල, සමස්තයක් ලෙස රටේ ආර්ථික අර්බුදය, උද්ධමනය, උද්ධමනය මැද්දේ පවා මිනිස්සු තමන්ගේ ජීවන රටාවල් පවත්වාගෙන යන්න දරන මහන්සිය, අරක්කු සිගරට් වල මිලගණන්, සෞඛ්‍ය ගැටලු, සෞඛ්‍ය සේවයේ අර්බුදය, ඔහොම ඔහොම ගිහිං අන්තිමට රට බංකොලොත් වීමේ ප්‍රතිවිපාක සහ රට බංකොලොත් කරපු දේශපාලනයේම සරණ පත්තන්න සිද්ධ වෙලා තිබීම වගේ දේවල්.

චෙරිවත්ත නිෂ්පාදනය කරපු ආකාරය ගැන අර මං කියපු පොතේ Stanislavisky විස්තර කරන්නේ චෙකොෆ් ගේ ජීවිතයට සම්බන්ධ රස කතා පවා මතක් කරමින්. ඒක වෙනම ලිවිය යුතු දෙයක්.

ටික කාලෙකට කලින් චෙකොෆ් ගැන උනන්දුව ලාවට ආයේ මතුවුණේ ලියනගේ අමරකීර්තිගේ ‘කෙටිකතා කලාව’ පොතේ ‘චෙකොෆ් සහ බොර්හේස්: නූතන කෙටිකතාවේ මාවත් දෙකක් ගැන විමර්ශන’ කියන පරිච්ඡේදය නිසා. ඒත් මම වැඩිය උනන්දු බොර්හේස් ගැන මිසක් චෙකොෆ් ගැන නොවන නිසා මම ඒ ගැන ඒ හැටිම දුර හිතුවේ නෑ. ඒත් මෑතකදී ඩිල්ස් එක්ක කරපු සංවාද කිහිපයකදී ඩිල්ස් චෙරි වත්ත ගැන ඇඟවුම් දෙකතුනක් මිලි ග්‍රෑම් කිහිපය බැගින් සංවාද වලට මිශ්‍ර කරපු නිසා අද උදේ මේක අතට ගත්තේ.

මොනවා වුණත් චෙකොෆ් ගැන මං ආසම කතාවක් තියනවා, Italo Calvino ගේ ‘Why Read the Classics’ කියන මහාර්ඝ පොතේ එක තැනක. ඔහු ඒක කියන්නේ හෙමිංවේට සාපේක්ෂව (ඔහුම කියන විදිහට, චෙකොෆ් සහ හෙමිංවේ අතර තියනවා ලෝක යුද්ධයක්. පළවෙනි එක!).

“Chekhov’s pretty bourgeois characters, defeated in everything except their concousness of human dignity, stand their ground as the storm approaches and retain their hope for a better future.”
චෙකොෆ්ගේ චරිත බොහෝ දේවල් දරාගෙන, පුළුවන් උපරිමයෙන් බලාගෙන ඉන්නවා, වඩාත් යහපත් හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් අඩු ගානේ අප තුළ හෝ දල්වමින්.

දැන් ඔබට අවශ්‍ය නම් පුළුවන්, ආයෙත් අර බයිසිකලේ ඇවිත් සිගරට් එකක් ගත්තු, කෙසඟ වයසක මනුස්සයා ගැන හිතන්න.

  • තරිඳු ශ්‍රී ලොකුගමගේ

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන...