“දෙමළ ජනයාගේ සැබෑ පීඩනය කියාපෑමට දීපචෙල්වන්ගෙ කවි වැදගත්”

Share post:

‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ නම් මේ පරිවර්තන කෘතිය අද කවිපොත් සල්පිලෙන් ගත්තෙ. මෙවැනි පොත්වල වටිනාකම තියෙන්නෙ ‘සල්පිල’කියන වචනයට වඩා ගොඩක් ඈතින්. අනූෂා ශිවලිංගම් සිංහල සාහිත්‍ය සහ දෙමළ සාහිත්‍ය අතර පාලමක් හදන්න මහත් කැපවීමකින් වැඩකරන කථිකාචාර්යවරියක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. පසුගිය වසර කීපය තුළ සජීවී මුණගැසීම් සහ සූම් සංවාද ඔස්සේ ඇය සිංහල සහ දෙමළ ජාතීන් දෙක අතර පාලමක් තැනීමට වෙහෙස වන බව පෙනුණා .

හෙට අනිද්දා බලයට එන අලුත් දේශපාලන පක්ෂයකින් මේ රට සෞභාග්‍ යෙන් සපිරි සාමකාමී දේශයක් බවට පත් කරනු ඇතැයි බලාපොරොත්තු තැබීමට වඩා ගැඹුරු දේශපාලන කතාබහක් අපට අවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි . ශිවලිංගම්, දීපචෙල්වන්ගෙ කවි සිංහල භාෂාවට නගමින් කරනු ලබන්නෙ අර්ථවත් දේශපාලන කාර්‍යක් . මැතිවරණ ඉලක්ක කරගත් පක්ෂ දේශපාලනය පමණක් දේශපාලනය ලෙස සිතන මහජනතාව සිටින රටක ශිවලිංගම්ගේ පරිවර්තනයේ ඇති වැදගත්කම සංවාදයට ගැනීම වැදගත් . කවිය පිළිබඳ ෆේස්බුක් සංවාද බොහෝ විට හිතමිතුරුකම් නඩත්තු කරගැනීමේ සීමාවෙන් ඈතට යන්නෙ ඉතා කලාතුරකින් .

ශිවලිංගම්ගෙ මේ පරිවර්තන ව්‍යායාමය හුදෙක් දීපචෙල්වන්ට පමණක් දක්වන ගෞරවයක් නෙවෙයි .දෙමළ කවියේ පීතෘවරයකු ලෙස සැලකෙන සුබ්‍රමනියා භාරතීට මෙන්ම අපේ ජෙයපාලන්ටත් ගෞරවයක් ලෙස මේ ව්‍යායාමය සලකන්න පුළුවන් . ඒ වගේම යුධ ජයග්‍රහණයෙන් උමතු සතුටක් ලද දකුණට දෙමළ ජනයාගේ සැබෑ පීඩනය කියාපෑමට දීපචෙල්වන්ගෙ කවි වැදගත් වෙනවා.

දෙමළ කවි සිංහල බසට නැගීම විවිධ අය අතින් සිදුවී තිබෙනවා. සීතා රංජනී, නිලාර් .එන් කාසිම්,පරාක්‍රම කොඩිතුවක්කු වැනි අය මතකයට නගා ගත හැකි නම් කීපයක්. ඒ අර්ථයෙන් අනූෂා ශිවලිංගම් කරන්නෙ පෙරකී කවි කිවිඳියන්ගෙ ව්‍යායාමය තවදුරටත් අර්ථවත් කිරීමක් .

මේ පොත ගැන දීපචෙල්වන් සහ ශිවලිංගම් කියන කරුණු කවියක් දෙකක් සන්නිදර්ශනාත්මකව උපුටමින් කළ යුතු දෙයක් .
අද මා බස් එකේ කොළඹ සිට නාරම්මල දක්වා එන අතරෙ යාපනේ මිදි ටිකක් කමින් මේ පොත් කියෙව්වේ. යාපනේ මිදි ටිකක් ඇඹුල වුණත් බොහෝ විට මං ඒ මිදි මිලට ගන්නවා. මට හිතෙන්නෙ යාපනයේ දෙමළ ජනතාවගෙ ශ්‍රමයට ගෞරව කිරීම පිළිබඳ සංකේතයක් ඒක . ජෝන් ඩුවී නම් අධ්‍යාපනඥයා විවිධ නිෂ්පාදන පංතිකාමරයට රැගෙන විත් ඒ නිෂ්පාදනවල ශ්‍රමය විවිධ ජනකණ්ඩායම් අතර බෙදී යන අයුරු පෙන්වාදුන් ආකාරය ලියනගේ අමරකීර්තිගෙ ‘කලාව කුමකට ද?’ නම් පරිවර්තන කෘතියෙදි සාකච්ඡ වෙනවා. ගුරුවරයකු ලෙසත් ,පුරවැසියකු ලෙසත් මේ සංවාදය කිරීම යුතුකමක් ලෙස මට වැටහෙනවා. ආයෙත් බෝම්බ පිපිරෙන කාලයක් ආවොත් මේ ඕනම සල්පිලක් ළඟ ඒක වෙන්න පුළුවන් බව අපි අමතක කරන්න හොඳ නෑ. වෙනත් ජන කොටසක් අනාරක්ෂිත රටක අපි ආරක්ෂිත නොවන බව වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය ඥානයක් අපිට සාහිත්‍ය සම්පාදනය කරන බවයි මගේ හැඟීම. මේ අගනා උත්සහයට අනූෂා ශිවලිංගම්ට අපේ ආචාරය හිමි විය යුතුයි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...