“දෙමළ ජනයාගේ සැබෑ පීඩනය කියාපෑමට දීපචෙල්වන්ගෙ කවි වැදගත්”

Share post:

‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ නම් මේ පරිවර්තන කෘතිය අද කවිපොත් සල්පිලෙන් ගත්තෙ. මෙවැනි පොත්වල වටිනාකම තියෙන්නෙ ‘සල්පිල’කියන වචනයට වඩා ගොඩක් ඈතින්. අනූෂා ශිවලිංගම් සිංහල සාහිත්‍ය සහ දෙමළ සාහිත්‍ය අතර පාලමක් හදන්න මහත් කැපවීමකින් වැඩකරන කථිකාචාර්යවරියක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. පසුගිය වසර කීපය තුළ සජීවී මුණගැසීම් සහ සූම් සංවාද ඔස්සේ ඇය සිංහල සහ දෙමළ ජාතීන් දෙක අතර පාලමක් තැනීමට වෙහෙස වන බව පෙනුණා .

හෙට අනිද්දා බලයට එන අලුත් දේශපාලන පක්ෂයකින් මේ රට සෞභාග්‍ යෙන් සපිරි සාමකාමී දේශයක් බවට පත් කරනු ඇතැයි බලාපොරොත්තු තැබීමට වඩා ගැඹුරු දේශපාලන කතාබහක් අපට අවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි . ශිවලිංගම්, දීපචෙල්වන්ගෙ කවි සිංහල භාෂාවට නගමින් කරනු ලබන්නෙ අර්ථවත් දේශපාලන කාර්‍යක් . මැතිවරණ ඉලක්ක කරගත් පක්ෂ දේශපාලනය පමණක් දේශපාලනය ලෙස සිතන මහජනතාව සිටින රටක ශිවලිංගම්ගේ පරිවර්තනයේ ඇති වැදගත්කම සංවාදයට ගැනීම වැදගත් . කවිය පිළිබඳ ෆේස්බුක් සංවාද බොහෝ විට හිතමිතුරුකම් නඩත්තු කරගැනීමේ සීමාවෙන් ඈතට යන්නෙ ඉතා කලාතුරකින් .

ශිවලිංගම්ගෙ මේ පරිවර්තන ව්‍යායාමය හුදෙක් දීපචෙල්වන්ට පමණක් දක්වන ගෞරවයක් නෙවෙයි .දෙමළ කවියේ පීතෘවරයකු ලෙස සැලකෙන සුබ්‍රමනියා භාරතීට මෙන්ම අපේ ජෙයපාලන්ටත් ගෞරවයක් ලෙස මේ ව්‍යායාමය සලකන්න පුළුවන් . ඒ වගේම යුධ ජයග්‍රහණයෙන් උමතු සතුටක් ලද දකුණට දෙමළ ජනයාගේ සැබෑ පීඩනය කියාපෑමට දීපචෙල්වන්ගෙ කවි වැදගත් වෙනවා.

දෙමළ කවි සිංහල බසට නැගීම විවිධ අය අතින් සිදුවී තිබෙනවා. සීතා රංජනී, නිලාර් .එන් කාසිම්,පරාක්‍රම කොඩිතුවක්කු වැනි අය මතකයට නගා ගත හැකි නම් කීපයක්. ඒ අර්ථයෙන් අනූෂා ශිවලිංගම් කරන්නෙ පෙරකී කවි කිවිඳියන්ගෙ ව්‍යායාමය තවදුරටත් අර්ථවත් කිරීමක් .

මේ පොත ගැන දීපචෙල්වන් සහ ශිවලිංගම් කියන කරුණු කවියක් දෙකක් සන්නිදර්ශනාත්මකව උපුටමින් කළ යුතු දෙයක් .
අද මා බස් එකේ කොළඹ සිට නාරම්මල දක්වා එන අතරෙ යාපනේ මිදි ටිකක් කමින් මේ පොත් කියෙව්වේ. යාපනේ මිදි ටිකක් ඇඹුල වුණත් බොහෝ විට මං ඒ මිදි මිලට ගන්නවා. මට හිතෙන්නෙ යාපනයේ දෙමළ ජනතාවගෙ ශ්‍රමයට ගෞරව කිරීම පිළිබඳ සංකේතයක් ඒක . ජෝන් ඩුවී නම් අධ්‍යාපනඥයා විවිධ නිෂ්පාදන පංතිකාමරයට රැගෙන විත් ඒ නිෂ්පාදනවල ශ්‍රමය විවිධ ජනකණ්ඩායම් අතර බෙදී යන අයුරු පෙන්වාදුන් ආකාරය ලියනගේ අමරකීර්තිගෙ ‘කලාව කුමකට ද?’ නම් පරිවර්තන කෘතියෙදි සාකච්ඡ වෙනවා. ගුරුවරයකු ලෙසත් ,පුරවැසියකු ලෙසත් මේ සංවාදය කිරීම යුතුකමක් ලෙස මට වැටහෙනවා. ආයෙත් බෝම්බ පිපිරෙන කාලයක් ආවොත් මේ ඕනම සල්පිලක් ළඟ ඒක වෙන්න පුළුවන් බව අපි අමතක කරන්න හොඳ නෑ. වෙනත් ජන කොටසක් අනාරක්ෂිත රටක අපි ආරක්ෂිත නොවන බව වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය ඥානයක් අපිට සාහිත්‍ය සම්පාදනය කරන බවයි මගේ හැඟීම. මේ අගනා උත්සහයට අනූෂා ශිවලිංගම්ට අපේ ආචාරය හිමි විය යුතුයි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...