වින්‍යා මැණිකේ ජයසේකර කිවිඳිය, සිංහල කවි සමාජයට අලුතින් හඳුන්වා දිය යුතු නැත. නාඳුනන මන්දාකිනි ඇයගේ තෙවන කාව්‍ය සංග්‍රහය යි. එය කවි නිර්මාණ හතළිහකින් පිරී ඇත. ඉන්ද්‍රීය රූප බහුල ගීතවත් කාව්‍ය බස හා කාව්‍ය ප්‍රස්තූතයන්ගේ විවිධත්වයත් කුළුදුලේ උපදින මනරම් කාව්‍යෝක්තීන්ගේ බුහුටිත්වයත් එම කවි එකතුවට කෙනෙකු ආශක්ත කරන්නට සමත් කාරණා කිහිපයකි.
අහඹු ලෙස තෝරා ගත් කවි නිර්මාණ දෙකක් පමණක් සමීපව කියවා ගැනීමට ගත් කුඩා උත්සහයක් ඔබ සමඟ බෙදා ගනිමි.
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ මොහොතක ස්නේහයේ සත් පියුමන් නැවත පිපෙන තුරු ජීවිතාශාව දල්වා සිටින වයස්ගත රෝගී අත පය අවසඟ මිනිසෙකු, ඔහුට උවටැන් කරන ගැහැනියක් කෙරෙහි යම්කිසි ආශාවක් දල්වා ගන්නා මොහොතක් කවියට එකතු කරන වින්‍යා ජයසේකර කිවිඳිය, එම මිනිසාගේ මනෝභාවයන් හෙළි කරමින් වියළි පත් පවා හාදුවක් පතයි තෙතැති දෙතොලක (පි. 13) නම් කවිය ඉදිරිපත් කරන්නීය.
ඇසිනැස නොගැටෙනා ඒ කඩිමුඩියෙහි
දිවා වෙහෙසින් පොහොසත් ව
මඳහසින් හැඩ නොගැන්වූ
නිකරුණේ මඳක් විවර වී ඇති ඇගේ මුව
ඈතින් සිප බිඳ ගනිමි ශාන්තිය.
“ඈතින් සිප බිඳ ගනිමි ශාන්තිය” ඈතින් සිට කෙරෙන සිප ගැනීම අපට වටහා ගැනීම අපහසු නැත. නමුත් සිය මනසේ ශාන්තිය බිඳින ඒ සිප ගැනීමට කථකයා මෙතරම් ලොබ කරන්නේ, ඒකාකාරි හද ගැස්ම බිඳගෙන මතුවන වචනයෙන් විස්තර කළ නොහැකි ඉහළ යන හදෘස්පන්දිත තිගැස්මට එතරම් ම කැමති නිසා ද? කවදා කොතැනක කොහොම ආලය කළත් ආලය ආලයම මිස වෙන යමක් නොවන බව ඔහු දන්න නිසා ද? නමුත් පොරෝනය යට සඟවා ඇති “අවසඟ දෙපා” මතින් ඇවිද ගොස් කෙසේ නම් බිඳ ගන්නද ඒ ශාන්තිය. ඇය කවිය අවසන් කරන්නේ කථකයා කෙරෙහි අනුකම්පාව උපදවමිනි.
දල්වා ජීව්තාශාවේ පහන්
අඳුරු ලෙන තුළ තවත් දිනකට
බැල්මෙන් මිදී පිටව යන මොහොතේ ඈ
ඉර කිරා වැටී ගිලෙයි මා හා
රාස්සිගේ උකුළතින් මුහුදට
ඉර කිරා වැටී ගිලෙයි මා හා – රාස්සිගේ උකුළතින් මුහුදට – හවස් කාලය එළඹීමත් සමඟ නැවත කුඩා කාමරයකට වැදී රැය ගෙවා දමන්නට සිදුවන, අත පය අවසඟ රෝගී මිනිසෙකුගේ මනෝ භාවයන් විස්තර කිරීමට කිවිඳිය කැඳවන “ඉර කිරා වැටී ගිලෙයි මා හා – රාස්සිගේ උකුළතින් මුහුදට” යන නැවුම් කාව්‍යෝක්තියේ බුහුටි කම කිවිඳියගේ භාෂාව හැසිරවීමේ නිසඟ හැකියාවට නිදසුනක් සේ ගැනීමේ වරදක් නැත.
පෙර කී ජීවිතාශාව විසින් දල්වනු ලැබූ කාන්තාවක්, සිය කුටුම්භය තුළ, සිය සමීපතමයාගේ නො තකා හැරීම් සහ මග හැරීම් සිය කාව්‍ය අත්දැකීම කරගත් කවියකි “නාඳුනන මන්දාකිනි පවා ඇවිස්සිණ” නම් කවිය. (පි.17)
මා නුදුටු අන්තයක
පණිවිඩ රැගෙන
බෙලි කටු සිප්පි කටු ඇවිත් රැස්වෙන
මඩිමින් රළින් රළ උස්සන නුරුස්සන
කලබල ම වෙරළකි හිත තිගැස්සෙන
ප්‍රස්තූත කාන්තාව ගැටෙන සමාජයේ ඇය ලබන ආකර්ශනය මෙන්ම ඇය තුළ නැගෙන අශාවන් හා අවශ්‍යතාවන් ගෙන් උත්තේජනය ලබන්නීය. එහෙත් ඇය ඒ සියල්ල තමා තුළම මැඩ ගන්නීය. ඒ ඇය සංතෘප්තිය අනෙකුගෙන් නො පතන බැවිනි. ඒ වෙනුවට ඇය කුමක් නම් පෙරලා ලබන්නීද?
පුර අටවක තෙළෙස්වක තුදුස්සවක
රැකගත් සොළොස් කලාවක පරෙස්සම
දුර ඉඳන් බලා රැසින් රැස දිස් දෙන
නාඳුනන මන්දාකිනි පවා ඇවිස්සිණ
ඔබ
අමාවක අන්ධයකු සේ දවස තිස්සේම
ළඟ තියාගෙනත් හඳ
ඈත තරු ගණින ලස්සන.
ගිනිය නොහැකි තරම් වූ ප්‍රමාණයක් වූ ආකාශ වස්තුන්ගෙන් සැදූන, ඈත දුර ආකාශයේ ඇති මන්දාකිනියක පවා හද ගස්සවා හැඟීම් අවුස්සන්න තරම් ප්‍රිය උපදවන රූ ශ්‍රියකින් යුතුව, එහෙත් පරිස්සමින් සිටින සියල් කලාවෙන් පිරිපුන් සඳක් වන් කතක් සමීපව හිඳින නමුත් සඳ නොදැක – ඈත තාරකා ගැන හිතන, පතන මිනිසෙකු කෙරෙහි එකී ස්ත්‍රී සන්තානය තුළ දිනෙන් දින මෝරා වැඩෙන කලකිරීම හෝ ඉවසීම යන මනෝ භාවයන් ප්‍රස්තූත කරගත් එම කවිය අප සිත් ගනී.
එම කවියේ අපට හමුවන ස්ත්‍රීය හා මිනිසා කෙරෙහි යොමු වීමට පෙර රසිකයා තමා වෙතට යොමු වූ විට අප කවුරුන් තුළත් අඩු වැඩි වශයෙන් ඈත තරු පතන අදිසි මිනිසෙකු ජීවත්වන බව දකින්නට හැකිවනු ඇත.
මෙම කවියේදි කිවිදිය යොදා ගන්නා “පුර අටවක තෙළෙස්වක තුදුස්සවක රැකගත් සොළොස් කලාවක පරෙස්සම” යන ගීතවත් බස කවියේ ප්‍රස්තුතය හා මනා කොට මුසු වෙමින් කාව්‍යාත්මය පෝෂනය කරයි.
කිවිඳිය යොදා ගන්නා “පරිස්සම” යන වචනයේ ඇත්තේ ඇය කොටු වී සිටින පුරුෂ මුලික සමාජයේ සංස්කෘතික සීමාවන් ය. ඇයට ඒ සීමාවන් අතික්‍රමණය කිරීමේ අවැසිතාවක් නැත. ඇය ඉල්ලන්නේ හෝ විරුද්ධ වන්නේ ඈ රැකගත් පරිස්සම වෙනුවෙන් ඔහු ගෙවන මිල වෙතය. එම කවියේ සමස්තය පිළිබඳව දීර්ඝ සංවාදයක් බිහි කිරීමට පවා “පරිස්සම”යන වදන පමණක් වුවත් සෑහේ.
කාව්‍ය ප්‍රිය රසික විචාරක බොහෝ ටෙලස්කෝප් නාඳුනන මන්දාකිනියේ කවි වස්තු වෙත වැඩි වැඩියෙන් යොමු වේවා !