චින්තක සමන් හේරත්ගේ “මා තුළම වැඩුණේද අන් යමෙකු”

Share post:

චින්තක සමන් හේරත් කවියාගේ තෙවන කාව්‍ය ග්‍රන්ථය යි.
පසුගිය ඉරිදා රැයෙහි 11.21ට අත පත් එය මෙ දවස් කිහිපයෙහි කියවා විඳි රසය තරමක් දුරට බෙදාගැනීමේ අරමුණයි මේ.

(1) ලී පොරොව සහ රන් පොරොව (15 පිටුව)

තනන්නට නව කැදැල්ලක්
ගං දිය සිඹින අතු අග
වෙළී සියොළඟ අප දෙදෙන
පිඹුරුපත් හැදූ සමයක
හදිසියේ අප ලී පොරොව
වැටුණා එ ගං පත්ලට
සැඳෑ ඇඳිරිය ඇවිදින්
ඥාති කඳුවලට එපිටින්
නික්ම යන්නට කීවත්
අප දෙදෙන ගං දිය වෙත
එබී සිටියා තැවෙමින්
දැන් ඉතින් මොන කූඩුද
ඇසුණ සිහින් ස්වරයෙන්

එන දේට මුහුණ දීගෙන
හිත් හදාගෙන ඉමු යැයි
හැරෙද්දී අප එතැනින්
රන් පොරොවක්ද අතැතිව
පතපොතක්වත් දැක නැති
දෙවියෙක් නැඟුණි ගං පත්ලෙන්

අප ලී පොරොව නොව මෙය
මා කියූවත් පුදුමෙන්
නැතිවූ පොරොව මෙයමැයි
නුඹ කියූවා එසැණින්
එතැන් සිට අප මාවත
දිලුණි එම රන් පොරොවෙන්
අප කැදැල්ල ද ඉඳිවිය
ගං තෙරට මඳක් නුදුරින්

ඔබ තුටින් ඉපිළෙන විට
අප දුවා දරුවන් සමඟින්
තාමත් ඇතැම් දිනවල
පැරණි ඉවුරට ඇවිදින්
එදා නැතිවූ ලී පොරොව
සොයනවා ම⁣ම තනියෙන්

මේ කවි ගතෙහි ප්‍රථමයෙන් සිත්ගත් කවියයි

මෙ කවෙහි සමස්ථය සමීපව විමසන විට, ලී පොරොව ඇසුරෙහි කුමක්දෝ හෘදයාංගම බවක් ඇතිවීම විටෙක යම් රසිකයෙකු පවසන්නේ නම් සැබෑවකි. රන් පොරොව ඇති තැනම තබා ලී පොරොව විමසා බැලීම කළ යුත්තයි.

(2) ජිනදාසගෙන කවියක්(58 පිටුව)
( පරගොඩ විහාරයේදී වන්දනාකරුවන් බුදුන්
වඳිමින් සිටින අතරතුර නන්දා පිරිසෙන් වෙන්වී
බුදුගෙයි සිතුවම් නරඹමින් ගොස් සිදුහත්
කුමරුන් ගේ අභිනිෂ්ක්‍රමණය දැක්වෙන
සිතුවම දෙස බලා ජිනදාස ගැන මතකයන්
ආවර්ජනය කරමින් සිටියි- ගම්පෙරළිය)

අරුණලු කැරලි වැටුණම සිංහල රටට
කවුළුව තුළින් හිනැහෙයි තුරුලිය හැඩට
කෝකිල හැඬුම වස්සානය නිම බවට
මම මෙි ලියන අවසන් කවියද නුඹට

මහගෙයි උළු යටින් අරුණලු ගලනවද
නිදි ගැට කඩ කඩා තේ උණුකරනවද
ඉපැරණි මතක එකිනෙක පටැලෙවෙනවද
තාමත් පියල් මට ඉඳ හිට බනිනවද

මඳනල සුසුම් වැද තැවිතැවි දිවා රැයේ
තුරුපත් සැලී නද දෙන වන සිතාරයේ
මිහිදුම් මතක සළු හිරිකඩ දුමාරයේ
සිතුවම් බැලූවෙද පරගොඩ විහාරයේ

තැන තැන අකීකරු සිතුවිලි තරු රන්දා
ඒ මැද නිහඬ මුනිවත පිරුවෙකි චන්ද්‍ර
කහටක් හිතේ කවදත් නොතිබුණ හින්දා
ගම්රෙළියේ මං සුළු චරිතෙකි නන්දා

ගම්පෙරළිය වයසය.එබැවින් එ වත පුරාණෝක්තියක හිමිකම ඉල්ලා සිටින්නකි.

ගම්පෙරළිය ඇසුරින් චින්තක ලියා ඇති කව එය ඇසුරින් තව අය ලියා ඇති කවිවලට වඩා ලස්සනය.ගම්පෙරළිය කියවූවෝ බොහෝ අය ජිනදාස කෙරෙහි අනුකම්පා සහගතය.

මෙම කව් පෙ⁣ළෙහි අවසන් කවියෙහි අවසන් පදයට අනුකම්පාව⁣ නොමසුරුව ඇති රසිකයින් වහා ගොදුරුවීම වළක්වනු බැරිවෙනු ඇත.

(3) වෙරළට ආ චිත්‍රශිල්පිනිය(37 පිටුව)

කුඩා බලු පැටවෙකු සමඟ
වෙරළබඩ සැන්දෑවෙහි
සිතුවම් අදින්නට පැමිණෙන
මැදිවියේ කාන්තාවක පිළිබඳ
ආරංචියකි තැන තැන

වැහි පොදක් සේ හැඟුණා
ඒ නුඹම වියහැකි බව

සුබ ප්‍රාර්ථනා තුඩුවට
සුබ ප්‍රාර්ථනා අතහැර
හිම කඳු සසල සමයේ
සංචාරක කුරුල්ලන් හා
ආවාද මව්බිම වෙත

දුව ඇවිල්ලා නැද්ද එතකොට?
නැවතුණේ ළඟපාත තැනකද?

කැලැන්ඩර තුරු හිසින්
හැලෙන තෙක් දිවි පත්‍ර
වසන්තය අවුළුවාගෙන
අපි නිහඬ වූ යන්ත්‍ර

වෙරළ කඳුවැටි එක්ක
ඔය හැටිම ඇයි මිත්‍ර
ගේ කුරුල්ලන්ගේ චිත්‍ර
දැන් ඔයා අඳින්නෙම නැද්ද?

භාව සයුරෙහි බට කල පිහින පිහිනා සිටිය යුතු බව කවියෙක්, එ ගැන දැන ගතයුතුය කවියෙක්

“වැසි පොදක් සේ හැඟුණා
ඒ නුඹම විය හැකි බව”

සිතේ එක්වරම ඉපැදෙන ප්‍රමුදිත බව
කවරක් නම් හෙළිදරව් කරන්නේද?
කවියෙකුට පමණක් නොව කවරෙකුට වුව
අතීතයට සිත යවන කාරණා කොතරම් ඇත්ද?

” කැලැන්ඩර් තුරු හිසින්
හැලෙන තෙක් දිවි පත්‍ර
වසන්තය අවුළුවාගෙන
අපි නිහඬ වූ යන්ත්‍ර “

අප කාට කාටත් කොයිතරම් අසමත් තැන් ඇද්ද?
විටෙක සංතාපය දොඩමළු නොවන්නේද?

“වෙරළ කඳු වැටි එක්ක
ඔය හැටිම ඇයි මිත්‍ර
ගේ කුරුල්ලන් ගේ චිත්‍ර
ඔයා දැන් අඳින්නෙම නැද්ද “

පෙර දවසක අසා සිටි පැනයක් නැවත අසා සිටින බවක් පෙන්වන මුල් දෙපදය,

“ගේ කුරුල්ලන් ගේ චිත්‍ර
දැන් ඔයා අඳින්නෙම නැද්ද ?

සැබැවින්ම මේ කවිය පුරාම දැක්වෙන ලක්ෂණය වන්නේ සුහද බවයි.

කවි තිස්හතකින් යුතු චින්තක සමන් හේරත් කවියාගේ මෙ කවි ත්‍රිත්වය මතු නොව එහි මා සිත්ගත් කවි බොහොමයකි. ඉන් මොනවට පැහැදිලි කරුණ නම් කවිය නමැති සාහිත්‍ය ශානරයේ ඔහු පළල් ගමකන යෙදීමට ගන්නා උත්සාහයයි.

ජගත් සී. ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...