‘පෙමාතුර චෙරි කුසුම’- ඩිල්ශානි චතුරිකා දාබරේ
කන්තොරුව යන වදන දැන් නම් අසන්නට පවා නැති තරම්ය. ඒ වෙනුවට දැන් ඇත්තේ නූතන ඔෆිස් කියා ජාතියකි. ඉස්සර විජේසෝම නම් කාටූන් ශිල්පියා මේ කන්තෝරුකාරයා සිත්තමට නැගුවා මතකය. කන්තෝරුව සහ කන්තොරුකාරයා කියූ සැණින් සිතෙහි මැවෙන සිතුවම වනුයේ ඩී අයි හම් බෑගයක් ගෙන එල්ලා වැටෙන කමිසයක් කලිසමක් හෝ ජාතික ඇඳුම ඇන්ද පුඟුලෙකි. නූතන ඔෆීසිය ඊට දුරය. එහෙත් ඒ ඔෆීසිය සහ කන්තෝරව සම කරනා තැනක් ගැන චතුරිකා ලියයි. ඒ කන්තෝරු තේ මේසයයි. ඇය ලියනුයේ නාටකීය බසකිනි. ඔබට ඇවැසි නම් එය වන්නමක් සේ ගත හැකිය. නැතිනම් එය ගජමන් නෝනා සිහිකරමින් කියවාගෙන යා හැකිය. ඇගේ බොහෝ කවි වල මේ ලක්ෂණය ගැබ්ව තිබෙයි.
කොලුත් කෙලිත් පා තිර කර
ගලුත් මුලුත් මල් සම කර
අඬු කෝප්ප සලා අවුත්
සිටිත් පෝලිමේ
ඩෙඟ ඩෙඟ සිටිත් පෝලිමේ
ඇය කන්තෝරු ධූරාවලිය සටහන් කරනාකාරය මනරම්ය. ඔවුන්ගේ මිණි නද මතු කරනා උත්ප්‍රාසය නම් අපූරුය.
මැදිපෙල කෙස් නැති තනතුරු
ඉස්කෝප්ප නෝනාවරු
සැවොම කොකොක් කෝක් කියා
සලත් මිණි නදේ
ගිජි ගිජි සලත් මිණි නදේ
චතුරිකාගේ කවියෙහි ගැබ්වන දේශපාලනය සියුම්ව අල්ලාගත යුතුය. එමෙන්ම පරිස්සමින් කියවාගත යුතුය. ඇය තම ප්‍රකාශනය උදෙසා කැඳවන බල සෙනග විවිධය. ඉතිහාසය සහ වර්තමානය අතර සරමින් ඇය තම කැණීම් බිම පිරික්සයි. හිටි ගමන් එක් පස් පිඩක් ගෙන මේ කියා දක්වයි. එවිට පාඨකයාහට ඉන් අහුලාගත හැකි හැඟුම් පරාසය පුළුල්ය. මේ ඇගේ චීන සිහිනයෙන් ඇහැරුණු ඇත් පැටියෙක් නම් කවෙනි. මෙහි චීන සිහිනය යනුම බරපතල යෙදුමකි.
දෙමල දන මන රුහිරු බිම හල තාත්තාවරු සිටිනු දැක්කම
මහාවංසේ වඩම්මවලා කඩොල් ආතට කොන්දෙ කැක්කුම
මාළිගාවේ දෑලෙ ඇත්තුත් ඉන්දිරාජට දීපු සත්තම
තිත්ත පලවැල බිමට හැරලා විදුලි වැටටම දුවමු ඔක්කොම
චතුරිකා දාබරේ යනු මනා පරිකල්පන හැකියාවකින් යුත් නිර්මාණකාරියකි. ඇය ඒ අතර විචාරයටද යොමු වන්නීය. එහෙත් ඇය ඒ අතරම බෙහෙවින් අලසයයි කිව යුතු යයි සිතමි. ඒ ඇය තම ධාරිතාවේ තරමට වැඩ නොකරන බැවිනි. අප ඉන්නා ස්වර්ග රාජ්‍ය යේ සුන්දරකම හේතුවෙන් අප කිසිවකුට හෝ කාලය අපතේ හරින්නට අවසර නැත. ඒ අප අපතේ හරින කාලය පිහිටට ගෙන විවිධ දෙවිවරු විමන් සාදන බැවිනි. එහෙයින් පන්හිඳ දරන්නෝද බෙහෙවින් කාර්යක්ෂම විය යුතුව තිබේ.
නූතන සමාජ අර්බුද හමුවේ පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය වියවුලක්ව ගොසිනි. අප දිනපතා අසනුයේ අලි මිනිස් ගැටුම් සහ විවිධාකාරයේ අර්බුදයන් ගැනය. මේ වන විට කිඹුල් ගහනය පැතිරෙමින් පවතින අතර රටේ වගාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන සතුන්ගෙන් හානියට පත්වෙයි. චතුරිකා මේ සියල්ල මැද ගම් වදින කිඹුළියක වන ජීවී නිලධාරින් විසින් අල්ලා ගන්නා ලද පුවත වෙනස් මානයකින් දකින්නට උත්සාහ දරයි. ඇය කම්පිතව අපට සිත්තම් කරනුයේ දියෙහි රැජිණක වන එහෙත් ගොඩබිම අන්ත අසරණ වන සත්වයෙකුගේ ඉරණම ය.
සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා
අන්දර වැවේ තාවුල්ලේ දිවූ සතා
ඇල්දිය තලේ කිරි කඳුලක සුවය පතා
තල්ල සුදුද නො අසා බහ දුනිය සතා
වැවෙන් උදුරවා අඩවිය පිට ඉන්දා
වනජීවී පුතුන ඈ අත් පා බැන්දා
බුදුතුල් පෙම්බරාණෙනි කිරිමැටි හින්දා
ඈ හදමඩල ඇහිරී මව් බැමි බින්දා
චතුරිකා විටෙක ඉතා කදිමට ජනකවියේ ආකෘතිය සහ රිද්මය තම අදහස් ප්‍රකාශනයට යොදා ගන්නීය. එවිට අපට හමුවනුයේ නූතන ජනකවිකාරියකි. ඇය සිය පරිකල්පනය නිදහසේ වැඩෙන්නට සලස්වා පාඨකයා හට නතර වෙමින් කියවන්නට වැඩ පවරන්නීය.
අප අද දවස හරිනුයේ ඉතා සුලු වදනකින් පවා දරුණු ගිනිදැල් ඇවිලවිය හැකි ගිනි කන්දක මුව විටෙහිය. ඉතිහාසය පුරා ලේ හැලුවද අප තවමත් ඉන් පාඩම් ඉගෙන නැති අතරම ඉගෙන ගන්නට සූදානම් බවක්ද පෙනෙන්නට නැත. වර්තමාන නිර්මාණකරුවන් හට මේ බිඳවැටීම මගහැර යා නොහැකිය. අප ලියනා දෙය අන් අය නෙත ගැටුනද නැතද ඒ අවධානයට ලක් වුවද නැතද අප අපේ අදහස් ප්‍රකාශනය අත් නොහැරිය යුතුය. චතුරිකා අපේ වියවුල නිර්මාණශීලී එමෙන්ම ව්‍යාංගාර්ථවත් බසකින් ගෙනහැර දක්වයි.
දම්පල් ය ඒ තෙදවත්
වසුරු ලූ හිස බේරි බේරී
වැසි වැටුණු තෙත හිසැති පීරා
සිටී ලිප්ටන් රවම අභියස
කොහිද මා තැනු චරිතවාදී
ජාති ආලේ මහා ගංගා
කියා බලනා සෙයකි මැදහත්
දෑත කිහිල්ලේ ගන්වා
ගල් විහාරේ සිටින බුදුරුව
දුක්ඛ දුක්ඛය ගත්තා වාගේ
සිහිනයෙන් මෙන් සවන් වැකුණත්
නේක ඔවදන් බණ දත්
අපේ ජාතියෙ සැල්වලින් මිස
යන්න හොඳ නෑ ඇඳුම් ගන්නට
අපේ නොවනා කල්ලි පිල්වල
අනියි කගපත මුවහත්
චතුරිකාගේ කවියක සමකාලීන ජීවිතය සිත්තම් වන අන්දම විටෙක ඉතා මනරම්ය. ඇය සිය කවිය හරහා අපේ වේදනාබර ජීවිතය අපටම සිනහ නංවා සිහිපත් කරවයි.
ෆුල් පටෝපු බස් එකකයි අද නැග්ගේ
ලංගමයද මොන මගුලද මතකත් නෑ
නාරිදේහ ට්‍රම්පට් ගී අඳෝනා
වෙන දවසක අපි හමුවෙමු සෙදෝනා
පින්න පිපෙන රෑ යාමේ එන්න එපා
මන්ද නාව කාරණාව අසනු එපා
හොම්රන් පැස් පෙට්ටියක් වන් බසයකට ගොඩවී මේ කවි පද කියවන්න. එවිට අවම තරමින් ආතතිය හෝ පහව යනු ඇත.
ඇය තම කවි එකතුවෙහි අවසන් කවිය ලෙස රචනා කර ඇත්තේ හතු කුඩ නමින් වන කවියකි. සොබා දහමෙන් රූපක ගෙන ඇය ජීවිතය ගැන එහි මවන සිත්තම කිවිඳියක ලෙස ඇගේ සමත්කමට සාක්ෂි සපයයි. චතුරිකා තම කවිය නිමවනුයේ තමන්ටම අනන්‍ය වන රටා මවමිනි. ඒ කවි එකවර ග්‍රහණය කරගත නොහැකිය. එහෙත් පාඨකයා අතනොහැර ඒ කවි විඳින්නට උත්සාහ දරයි නම් ඔහුට අපූරු කවිකාරියක හමුවනු නිසැකය.
චූලානන්ද සමරනායක