‘සඳත් අහිංසක පාටයි ඇමරිකන් අහසට’ – දැලිව ඉන්දරතන හිමි
ගුත්තිල මූසිල කතාව අපට සැමදාම කියාදෙන ලබන්නේ ගුත්තිලගේ උස්බව මෙන්ම මූසිල ගේ කුදු බවද ඉස්මතු වන ආකාරයෙනි. ඊට වෙනස් ආකාරයකට ගුත්තිල හෝ මූසිල කියවන්නට අපේ පාසැල් සිංහල පංතියේ ඩඉඩක් නැත. ඉන්දරතන හිමිගේඇදුරු ගුත්තිල සමාවුව මැන නම් කවිය අතීත කතාවෙන් ගලවා නූතන සංදර්භයක ගුත්තිල සහ මූසිල සිටුවා මූසිලගේ පාර්ශවයෙන් වර්තමානය කියවීමටය. නූතන ගුත්තිල සහ මූසිල යන දෙදෙනාම අයත් වනුයේ පාරිභෝජනවාදී සමාජයටය. පලමු අවධියේ පෙර කතාවේ මෙන්ම මූසිල ගුත්තිලගේ සිසුවෙකි. ඔවුහු හමුවන්නෝ ටියුෂන් පංතියේය. ගුත්තිල දක්ෂ ටියුෂන් ඇදුරෙකි. මූසිල පළමු මොහොතේ සිටම තම අනාගතය ගුත්තිල ඇසුරින් කියවා ගනියි.
ඇවිත් ඉඳගත් පළමු දවසෙයි
නුඹේ ටියුෂන් පංතියේ
මටත් හිතුණේ වෙන්න ඇදුරෙක්
ශිල්ප විකුණන නුඹ වගේ
ගුත්තිල යනු දක්ෂ වෙළෙන්දෙකි. ඉදින් මූසිල ඒ කර්මාන්තයද ඔහුගෙන්ම ඉගෙනීමේ වරද කිම? මූසිල ඉතා දක්ෂ ලෙස සිය ගුරුවරයා අනුගමනය සහ අනුකරණය කරයි. හේ දක්ෂ ටියුෂන් ඇදුරකු බවට පත්වෙයි. ගුත්තිල කිපෙන්නේ එවිටය. ඒ සිය වෙළඳපල කොටස අහිමිවීමේ වේදනාවෙනි.
පරණ සිලබස් එකම හින්දා
සර්ගෙම පොත් නෝට්ස් ගත්තේ
දන්න වැඩකිඩ හොඳට දාලා
සර් වාගෙම වනලා දුන්නේ
නූතන මූසිල සිය හැසිරීම මෙසේ සාධාරනීකරනය කරයි.
දවස ගානෙම එකා දෙන්නා
ඇවිත් මගෙ පංතියම පිරුණා
පංති ටියුෂන් ඊ පඳුර යට
විරැකියාවට වතුර තිබුණා
වර්තමාන අධ්‍යාපනයේ ඇති ඛේදවාචකය මෙන්ම ටියුෂන් කර්මාන්තයේ අව පැහැය මිනිස් ගති ලක්ෂණ සමගින් මුහු කොට ඉන්දරතන හිමි නිමවනා කවිය උපහාස රසයෙන් සරු කර තිබේ. මේ අපේ සමාජය කියවන්නට අගනා පිවිසුමකි.
ඉන්දරතන හිමි තම කවි අතර කෙටි කවියෙහි ද සිය සමත්කම විහිදයි. ඒ කවි අතරෙහි එ හිමියන්ගේ මානවවාදී බැල්මද දැකිය. සමාජය නග්න කර දක්වන පුවතක් එහිමි අතින් මෙසේ කවියට නැගෙයි.
දියණියට ඉගැන්වීමට මව වෛශ්‍යා වෘත්තියේ යෙදිලා- පුවතක්
ඇල්ලකට සැරසෙන්න
සියලු පහසුකම් දී
නොදන්නා සේ තිසිත්
කන්ද ඉන්නා හැටී
මවක සතු ආත්ම පරිත්‍යාගී ගුණය මනාව විදහා දැක්වෙන මේ කවිය සමාජයෙහි මුල්බැසගත් සම්මතයන්ට සියුම් විවේචනයක්ද එල්ල කරයි. එහෙත් මේ කවිය මාතෘකාවෙන් තොරව තිබුණේ නම් පාඨකයාහට කවියා ඉක්මවා විවිධරුත් සොයා යාමට කරනා කදිම ඇරයුමක් වන්නටද ඉඩ තිබිණැයි සිතේ.
ඔසුවකිය ඇගෙ දෑස නමින් වන කවිය රෝගියකු සහ හෙදියක වස්තු විෂය කරගත්තකි. ආතුරව රෝහල්ගත වන මොහොත යනු කවර රෝගියකුට වුව දරුණු කම්පනයකි. මරණයේ සෙවනැළි අරක් ගත් භූමියක ගෙවෙනා සෑම තත්පරයක්ම දයාව අයදිනා වෑයමකි. ඉදින් මේ රෝගියාට තම හෙදිය පෙනෙන ආකාරයයි.
සේලයින් දියරකින්
ඔක්සිජන් වලට බැරි
හදවතට පණ දෙන්න
හෙදියකගෙ දෑසකට පුළුවනි
ඉන්දරතන හිමිගේ කවි අතර වෙනසක් දනවන කවි කිහිපයක්ද වෙයි. ඒ විප්‍රවාසී දිවිය පිළිබඳවය. තමන් උපන් රටෙන් ඈත්ව වසන්නට සිදුවන්නකු හට තමන් ඉන්නා රටෙහි කවර පහසුකම් සහ ආරක්ෂාවක් තිබුණද ඒ සියල්ල මැද තම රටෙහි සුවඳ අත්හල නොහැකි බව දැනෙයි. එහෙයින්ම හේ දෙකට පැලුන මිනිසකු බවට පත්වෙයි. වරෙක කෙටි කාලයකට ඇමරිකාවට ගිය සේකර අතින් ලියවුනු හඳ සහ නිව්යෝර්ක් නුවර මේ ගැන සිහි කැඳවීමකි. ඉදින් ඉන්දරතන හිමිද විප්‍රවාසී ජීවිත නමින් ඒ ගැන ලියයි.
හිතනවා ඇති සුදු හිම
මොන තරම් ලස්සනද කියලා
අපට නැති මහ සිහින දිවියක්
මහා ඉහළින් ඇතැයි කියලා
ඒත් නොකියන ඇත්ත මේකයි
උයන්නේ සතියකට සැරයයි
ඉරිදා ඉව්වම පුරා සතියෙම
කන්නෙ රත් කර එකම දේමයි
මේ එක් අතකින් නුහුරු රටක තනිකම මෙන්ම අපට අන් රටක දිවියට හැඩගැසීමට ඇති අපහසුවද පෙන්වන්නකි.
හිම මිදෙන
හිරි වැටෙන
සීතලෙත්
පත්තුවෙලා මිනිස්සු
මේ එ හිමියන්ට හමුවන ඇමරිකන් සඳයි. එය යළි සේකර සිහියට නංවයි.
මිතුරු සඳක්
මේ සීත හිමේ ඈත දුරු රට
සඳපාන ඇවිත් කතා කෙරුවට
පෙරදාක වගේ මිතුරු නෑ මට
මේ සඳත් අහිංසක පාටයි- ඇමරිකන් අහසට
විදුලි එළි අවුළුවා ඇති මේ නගරේ
මහ රැයත් හරියටම දවාලක් වාගේ
හාදු දී කඳු පෙලට නැගෙන අර
ගමේ සඳ වාගේ
සඳක් මම හොයනවා තාම මේ- ඇමරිකන් අහසේ
කවිය විවිධරුත් මතු කරන කවියකි. කවියා සොයන සඳ සැබෑ ලෙස හසෙහි පායන සඳමද? නැතිනම් පාළුව තනිකම මලාකිය හැකි සුහද ඇසුරක මිහිරද?
ඉන්දරතන හිමි තුළ සියුම් පරිකල්පනයකින් හෙබි කවියෙක් වාසය කරයි. කවිය අතහැර නොයන්නේ නම් එ හිමියන් හට සිය කවිය වඩාත් පුළුල් බිමකට කැඳවාගෙන යා හැකි වනු ඇත. ඒ සඳහා උන්වහන්සේට සිය භූමිකාවෙහි ඇති සීමා සහ සීමිතකම් මගහරිමින් සිය දැක්ම පොහොසත් කරගත හැකිනම් අපට ඉදිරියේදී සාර්ථක කවියෙකු කසාවත තුළ දකින්නට ඉඩ ලැබෙනු ඇත. මේ කවිය ඊට උදාහරණ පිණිසය.
නාය ගිය පසු ගසක් කන්දක් ගැන සිතයි
කඳු උනත් නාය යනකොට
හිතුවාද නිකම්වත් අපි ගැන
වසාගෙන සිටියා කියා මුරකොට
සේදෙන්න නොදී කිසි වැස්සකට
ඒකත් හොඳයි එක අතකට
මැරෙන එක එකපාර සදහට
රිදුම් විඳගෙන කැපෙනු වෙනුවට
මුලින් ඉදිරී නිහඬ වෙන එක