කපිල කුමාර කාලිංග ‘මධුර මතක’….

Share post:

ජීවිතයෙන් හැත්තෑ වසරක්ද වෘත්තිීය කලාකරුවෙකු ලෙස පනස් වසරක්ද ගෙවා දමන කපිල කුමාර කාලිංග දිවි වියමන සමරන ‘මධුර මතක’ එළඹෙන සැප්තැම්බර් 09 වනදා බණ්ඩාරනායක සමරු රඟහලේ දී මුලුගැන්වේ.

එය ඔහුට මෙන්ම යම් අයුරකින් ඔහුගෙන් අනුප්‍රාණය ලැබූ අපට ද වැදගත් සැමරුමකි. කපිල මට/අපට තුන් ආකාරයකට හමුවෙයි. ඒ අපේ පාසලේ වැඩිහිටි ආදිශිෂ්‍යයෙකු, මහනුවරින් බිහි වූ දීප්තිමත් බහුශ්‍රැත කලාකරුවෙකු සහ තමන්ටම අනන්‍ය කලා භාවිතාවක් නඩත්තු කළ ශ්‍රී ලාංකික කලාකරුවෙකු ලෙසිනි. මේ තුන් ආකාරයෙන්ම ඔහු අපට බලපෑම් සහගත විය. ප්‍රැන්සිස් කාලිංග නම් වූ ඔහුගේ කීර්තිමත් පියා චිත්‍රඥයෙකු ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බුහුමනට ලක්වූවෙකි. ඔහු සතු සුවිසල් පුස්තකාලය අප දැක ඇත්තෙමු. සංවිධිත ලෙස කලාව සඳහා ප්‍රවිශ්ට වීමට ඔහුගේ පියා මෙන්ම මේ පුස්තකාලය ද කපිලට හේතුවන්නට ඇතැයි මට සිතේ.

අප පාසල් වියේ දී කඩවසම් තරුණ කපිල නගරයේ දී අපට හමුවන්නේ අත රැඳු පොත් දෙකක් සමගය. ඒ බොහෝ විට මහනුවර ඩී.ඇස්. සේනානායක මහජන පුස්තකාලයෙන් ගත් පොත්ය. මා අසා ඇති පරිදි කපිල එකී පුස්තකාලයේ ආරම්භක සාමාජිකයන් පස් දෙනාගෙන් කෙනෙකි. ඒ පුස්තකාලයේ සාමාජිකයෙකු වීමට මගේ ආශාව වර්ධනය කළේ ද ඔහු විසිනි. එහෙයින් මගේ කියවීමේ ආශාව දැල්වූ කෙනෙකි කපිල කුමාර කාලිංගයෝ.

කපිල මට පාසලේ දී ශිෂ්‍යයෙකු ලෙස හමු වී නැත. එහෙත් ධර්මසේන පතිරාජලාගේ අවධියෙන් පසු පාසලෙන් බිහිවූ විශිෂ්ඨම සාහිත්‍යධරයා ලෙස කපිල පිළිබඳ මතකයක් පාසල විසින් නඩත්තු කරමින් තිබිණි. අපට අනුප්‍රාණය සැපයූවේ ඒ මතකයයි. අප විසින් ‘සිනෙරු කලා සංසදය’ නමින් සිනමාව ප්‍රධාන කරගත් කලා සංගමයක් ආරම්භ කළ පසු කපිල රචනා කළ ‘සොල්දර ගෙදර’ නාට්‍ය පිටපත සංසදයේ වැඩක් ලෙස නිශ්පාදනය කරන්නට බලාපොරොත්තු වුවත් පුහුණුවීම් පවා කෙරෙමින් තිබිය දී මූල්‍ය හෝ වෙනයම් නොහැකියාවක් නිසා එය වැළකී ගියේය. එහෙත් පසුකාලීනව වැඩිවර්ධනය කළ ඒ පිටපත නීල් අලස් විසින් ‘සිහින සාප්පුව’ ලෙසින් නිශ්පාදනය කෙරිණි. ඒ නාට්‍ය නිශ්පාදනය කරගැනීමට අපට වූ නොහැකියාව ඒ පිටපතට වාසනාවක් ගෙනාවා යයි මට සිතේ.

ඡායාරුපය දේශය පුවත්පතින්

කපිල යනු අබිබවනය නොකළ හැකි අනන්‍යතා ගුණ සහිත සාහිත්‍යධරයෙකි. ඔහුගේ කෙටිකතා විශාල ප්‍රමාණය, නෙළුම්පොකුණ නාට්‍යය, පියැසි කවුළුව නවකතාව, ගුවන් විදුලි රඟමඬලයන් සහ ඔහු රචනා කළ ගීත වැඩි ගණනක් කපිල සන්නාමයට සාක්ෂි වනු ඇත. කවර ලයක් ඒ කෘති තුළ කපිල විසින් පවත්වාගෙන ගියේ ද යන්න හඳුන්වා දීමේ නිශ්චිත ශාස්ත්‍රීය බහුශ්‍රෘත භාවයක් මා සතුව නැත. ඔහු තෝරා ගන්නා බොහීමියානු චරිත බොහීමියානු අන්දර බොහීමියානු භාෂාවකින් කරන වියමන තවෙකෙකුට අත්පත්කර ගනු නොහැකිය යන්න මගේ අදහසයි.

නාවිකයින්, ජේත්තුකාර එහෙත් පරිහානියට පත් සිය අතීත ශ්‍රී විභූතිය නඩත්තු කරන ඉංග්‍රීසි උගත් බර්ගර්වරු, විශ්‍රාමික රජයේ සේවකයන්, ආදිය ඔහුගේ නවකතා කෙටිකතා ගුවන් විදුලි රඟමඬල ආදියේ පාත්‍ර වර්ගයාය. ඔහුගේ ගීත බොහෝ ගනනක ප්‍රේමය තරම්ම මෘදු ලෙස බස හසුරුවයි. ඒ ගීතවත් බස මද පවනක් සේ අපව වෙලා ගනී.

ඔහු අධ්‍යක්ෂනය කරමින් නිශ්පාදනය කළ රයිනෝසිරස් , ඔහු රචනා කොට නිමල් ඒකනායක විසින් නිෂ්පාදනය කළ ‘උක්දඬු ගින්න’ මා දුටු කපිලගේ නාට්‍යමය නිපුනතාවයන්ය.

ද්වි භාෂා උගතෙකු ලෙසත් අඛණ්ඩව කියවීමෙන් හා හැදෑරීමෙන් ඔප මට්ටම් වූ නිර්මාණ ප්‍රතිභාවකින් ද යුත් කපිල කුමාර කාලිංග අඩ සියවසක් තිස්සේ ශ්‍රී ලාංකික කලාවට කළ මෙහෙවර අගයන මේ මොහොතේ මම ඔහුට සුබ පතමි.

චන්ද්‍රරත්න බණ්ඩාර

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...