පින්තූරයක කවුළුවකි – ලක්ෂාන්ත අතුකෝරල
ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘හැඟුම් ගඟෙහි හැංගිලා’ කියන්නෙ තවත් එක් කාව්‍ය සංග්‍රහයක් නොවන බැව් එය රස විඳීමේදී ඒත්තු යන ප්‍රධානම දේ. ඔහුගේ අනෙක් කාව්‍ය සංග්‍රහවලදී මෙන්ම ලක්ෂාන්ත අතුකෝරල යන නම ඒ කාව්‍යවල සලකුණක් විදියටම අපිට කියවගන්න පුළුවන්. මොකද එවැනි කාව්‍ය අද්දැකීම් විඳ ගැනීමට නම් ලක්ෂාන්ත කියවිය යුතු ම යි. ඔහුගේ මෙවර කාව්‍යාවලියෙහි භාවිත බස අපූරු බවත් කාව්‍ය ආකෘතීන්ගෙන් ඔහු පාන සුහුරුබවට අමතරව ඔහු මෙවර තම කවිය සඳහා භාවිත කරන බස පිළිබඳව වෙනම ම සාකච්ඡා කළ යුතු මට්ටමක තබා ගැනීමට උත්සුකවෙලා තියෙනවා. සමහර වචන කවියකට යොදා ගත හැකි බව ඔහු මනාව ඔප්පු කර ඇත. එහෙත් මේ කෙටිසටහන තබන්නේ කවි පොතේ මා සිත් ගත් එක් කවක් පිළිබඳවය.
මා ප්‍රස්තුත කර ගත් කවිය, කවියා නම් කර ඇත්තේ පින්තූරයක කවුළුවකි යන හිසින් ය. ඡායාරූපයක් යනු වර්තමානයේ නම් ඉතා සුලභ දෙයක් ය. ඉපදුණු දා ඉපදුණු මොහොතේ සිට මතක සටහන් ලෙස පින්තූර එකතු කිරීම වර්තමාන සමාජයේ පුරුද්දකි. එහෙත් මීට වසර විස්සකට විසිපහකට පමන්න පෙර කාලවල චායාරූපයක් ගැනීම යනු වෙනම වැඩක් ය. දිනයක් යොදා ගෙන ඒ වෙනුවෙන්ම හැඩවී සූදානම්ව සිදු කරන කටයුත්තක් ය. එකල ගැමියන් අතර විවිධ යෙදුම් පවා ඒ සමඟ බැඳී ඇත. පොටෝ එකක් ගැනීමෙන් අනතුරුව දින තුනක් නාන්න එපා යැයි යන ප්‍රකශය එවන් දෙයකි. එය විහිළුවකි. එහෙත් ඒ තුළින් පැන නගින්නේ පින්තූරයක් ගැනීම කොතරම් කලාතුරකින් සිදු වන්නක් ද යන්නය.
කොහොම කෙසේ වූවත් ඡායාරූපයක් යනු අපිට අපේ ඒ මොහොත සිහි කරවීමක් ය. කාලය නතර කිරීමේ ක්‍රමයක් ලෙස මම ඡායාරූපය දකිමි. මට මේ මොහොත නවතා ගැනීමට ඕනෑ නම් කළ යුතු පහසුම දේ ඡායාරූපයක් ගැනීම ය. ඒ ඡායාරූපය තුළින් මතකයට නැංවෙන්නේ එහි පෙනී සිටින පුද්ගලයන් ය. මා කුඩා කළ ඡායාටූපයක් දෙස බැලීම තුළින් මට පේන්නේ එකළ සිටි මා ය. එහෙත් යම් අබබෝධයක් සහිත කාලයක නම් ඒ ඡායාරූපය ගත් මොහොත ගැන සිහිකළ හැකි ය. ඒ මොහොතේ එහි සිටි අය ගැන මතකය නැංවිය හැකි ය. ඒ සියල්ල සුන්දර මතක පමණක් නො ව යම් කටුක මතකයක් වුවද විය හැකි ය.
මේම කවියේ කථකයා තරුණවියෙහි අග්ගිස්සේ සිටින පුද්ගලයෙකු සේ හැඟේ. මන්ද තම දෙමව්පියන් පිළිබඳව ඒ සා ආදරයකිම් සෙනෙහසකින් සිතිය හැක්කේ එම වයසේදී යැයි මා පුද්ගලිකව විශ්වාස කරන බැවිනි. කථකයා බලා සිටින්නේ ඔහුගේ කුඩා කල ඡායාරූපයක් දෙසය. එහෙත් ඔහු ඒ තුළින් එම සිද්ධිය මවා ගනී. ඔහු දේ පින්තූරය පිළිබඳ කරුණු, ඒ අවස්ථාවේ සිදු වූ දේවල් පිළිබඳව යම් යම් දෑ දෙමව්පියන්ගෙන්ම අසා දැනගත්කරුණුද සමඟ ගලපා ගත්තක් විය හැකි ය. කෙසේ නමුත් ඔහු සිතුවම් පටක් මෙන් ඒ සිද්ධිය මවා ගනී. ඒ සියල්ල අපට දැනෙන්නේ ඒ සියල්ල අපටද ඒ අයුරින්ම උරුම අද්දැකීමක් වන බැවිනි.
කවියා මෙම සියල්ල එකතු කරගෙන තමන්ගේ කුඩා විය ගැන මා නිසාම වියපත් වී ගිය මගේ දෙමව්පියන් ගැන මෙන්ම ඔවුන් මා වෙනුවෙම් කළ අපරිමිත කැපකිරීම් ආදි සියල්ලක් ම මේ කව තුළට රිංගවා ආයාසයකින් තොරව අපූරුවට කවි කොට ඇති අන්දම අගය කළ යුතු ම ය. මේ කවිය කිය වීමෙන් සිතට දැනෙන හැඟීම මේ යැයි කීමට වචනයක් නොමැත. එහෙත් ඒ හැඟීමය මම ප්‍රිය කරමි. ඇඬිය යුතු ද? සිනාසිය යුතු ද? යන ප්‍රශ්න නොනගා ඒ අමුතු හැඟීම මම විඳිමි. නැවත නැවතත් විඳිමි.
පින්තූරයක කවුළුවකි
කවුළුවෙන් මා දෙස එබීගෙන
කිරි දතින් මා හා සිනාසෙන
පැරණි බිළිඳා මා
ස්ටුඩියොවෙ දි මා අඬන විට
කවුරු හෝ අත තබා ඇති මේ
සිලි බිලිං හඬ නගන රාමුව
ගෙදර අරගෙන යන්න ඉල්ලා
අන්න ආයෙත් අඬනවා නොවැ මා
හන්දියේ මුස්ලිම් කඩෙන් දැන්
ප්ලාස්ටික් තැත්තෙකුත් ගෙන දී
හහා දැන් යමු බූම් කියමින්
කොහොම හරි මා පරක් කර ගෙන
හෙමින් බස් නැවතුමට ඇවිදින
කවුද අර දෙන්නා?
කපා පීරා හැඩට කොණ්ඩය
අත් නැමූ කොටු කමිසයට කළු
කලිසමක් ඇඳ පිරුණු බඩු මලු
දෙකක් දෑතේ එල්ලගෙන යන
කෙට්ටු ලස්සන තරුණ මිනිසෙක්
තාත්තා!
ළයට තද කර මා වඩා ගෙන
අව් කඩන කුඩයකුත් අටෝගෙන
දුඹුරු සායක් සම්ඟ තිත් තිත්
වැටුණු සුදු බ්ලව්සයක් ඇඳගෙන
රවුම් පැහැපත් මුහුණෙ සතුටක්
සියුම් දුකකුත් එක්ක ගාගෙන
පසුපසින් යන තරුණියයි අම්මා!
බිලිඳු මා පසු කල දකින්නට
තබා රුව පින්තූරයක් මත
ස්ටුඩියොවට ගොසින් එනතර
බොහෝ කලකට පසුව දවසක
එපින්තූරය තුළින් මා නොව
ඔවුන් පෙනෙනා බව සිතන්නට
ඇති ද ඒ දෙන්නා?
(පිටු අංක 04, 05)
කවියෙහි පදයක් පදයක් අස්සේ රිංගා යමක් ලිවීමට සිතුණද එය එකිනෙකාට වෙනස් විය යුතු යැයි හැඟෙන නිසා මම ඔබේ රසයට හානි නො කරමි. රස විඳිය යුතු යම් මගක් පමණක් විවෘත කළෙමි. එමෙන්ම කවියට කැමති ඔබට කවි ටිකක් කියවීමට ලක්ෂාන්ත අතුකෝරල කවියාව කියවන ලෙස සිහිගන්වමි.