“අත්දැකීම් කතන්දරයක් විදියට, කියවන්න ආසා හිතෙන විදියට ලියන්න ඔහුට පුළුවන්”

Share post:

තමන්ගේ ජීවිතය ඇසුරින් ලියන චරිතාපදාන, ලිපි මාලා, memoir වලදි ලේඛකයන් ඔවුන්ගේ නිර්මාණශීලි බව මදක් පසෙකින් තියලා අත්දැකීමට අවංක වෙන්න බොහෝදුරට උත්සාහ කරනවා. හේතුව, ඒක තමන්ගෙ ජීවිතය ගැන වීම නිසා. මේ නිසා ප්‍රබන්ධමය ලියවිල්ලක දි කරන විවිධ ආඛ්‍යානික උපක්‍රම, භාෂා සෙල්ලම්, ශිල්පීය ලක්ෂණ ආදිය ගැන නොහිතා, අත දිගඇරලා සීමා නොවී හිත අතට අරන් ලියන නිදහස් ලේඛන රටාවක් අපිට ඒවයින් දකින්න ලැබෙනවා. නමුත් ලේඛකයා නිර්මාණශීලී බව අරා ඉන්න කෙනෙක් නම්, අර අත්දැකීම් ටික පවා කතන්දරයක් විදියට, කියවන්න ආසා හිතෙන විදියට ලියන්න ඔහුට පුළුවන්.

ගයාන් අබේසිංහගේ ‘ඇස් තෙත් කළ මතක’ පොත ගැන මං හිතන්නෙ අර ඉහත ඡේදේ අවසන් වාක්‍යය ගැළපෙනවා. පුවත්පතකට ලිවූ තීරු ලිපි එකතුවක් ඔහු පොතක් ලෙස පළකරන්නේ, හැම පරිච්ඡේදයක් ම, එක සිදුවීමක් වෙනුවෙන් සීමා කරලා වුණත්, තමන්ගෙ මතක‍ය එක්ක ම – සාහිත්‍ය කෘතියක උපුටනයක් දෙකක් තියන්න අමතක කරන්නෙ නැතිවයි. ඒ කවි, අදාළ සිදුවීමට තියා කවියන් ලිවූ කවි වගේ.

ඔහු තමන්ගෙ හිත රිදුණු, රිදවුණු, සංවේදී ජීවන අත්දැකීම් ඉදිරිපත් කරන්නෙත් තෙතැති මුදු මොළොක් බසකින්. හිත අමතන වචනවලින්. කවියක් දෙකක් හැම පරිච්ඡේදයක් අවසානයට ම එක්කරමින්, මෑතකදි සුහර්ෂිණී ලියූ, ‘ආපුටුංගෝ මාපුටුංගෝ’ වගේ.

පුවත්පත් සංස්කාරකවරයෙකු, ලිපි රචකයෙකු, ගුරුවරයෙකු වන මේ කතුවරයාගේ නිර්මාණාත්මක – හෘදය ගෝචර බස්වහර අපි කියවන්නේ, තීරු ලිපි එකතුවක් නෙමේ, වෙලාවකට නවකතාවක් කියලා හිතාගෙන. එක දිගට කියවන්න පුළුවන් වුණත්, දවසකට පරිච්ඡේදයක් කියෙව්වත් ඇති කරුණ රසයෙන් පිරිලා නිසා.

“වැව්ගම්පත්තුව සෝද සෝදා හරිමින් මහ වැසි ඇදහැළෙන හිමිදිරියක නුවරපාරේ දිවෙන බසයක කෙළවර අසුනකට වී යන මගේ දෑස් කවුළු පියන්පතින් එපිට වැටෙන මහ වැහි ගෙඩි අස්සෙන් හෙණ ගෙඩි, මතකයක් කැන්ඳන් එයි”

“වැව්ගම්පත්තුව අහස පසුගිය කාලෙ පුරාවට ම තිබුණෙ නිලට නිලේ දිස්නෙ ගහගෙනයි. වැහි මන්දාරමක සේයාවක්වත් ආකාහේ ඈත කෙළවරකින්වත් එබිකම් කරේ ම නැහැ. තැනින් තැන හිඳිලා යමින් තිබ්බ පුංචි වැව්වල මායිම් සීමා ටික ටික ඉරිතලාගෙනයි ඇවිත් තිබුණෙ. අහස බොහොම දරදඬු තීරණයක් අරන් තිබුණා. පාරවල් පුරා හමා යන කටුක දුහුවිල්ල පුංචි එවුන්ට වගේ ම වැඩිහිටියන්ටත් නනාවිධ රෝගාබාධ ගේන්න තරම් ප්‍රබල වෙලා තිබුණා. ගොඩක් දෙනෙක් අහස දිහා බලලා හීල්ලුවා”

කතුවරයා සතු මනු ගුණ මේ ලිවීම්වලින් මතුවන අනෙක් කරුණ යි. හිත අතේ තියාගෙන ලියන මතක අනුස්මරණයක් මේ. තවත් මනුස්සයෙක් ගැන ඔහු හිතන විදිය, ඔහුට හෝ ඇයට දෙන ගරුත්වය, තව කෙනෙක්ගෙ සෘණ නොදැක ගුණ දකින විදිය, හොඳ හිතන විදිය යන මේ කියන කාරණා මේ කතුවරයාව මොළොක් හිතැත්තෙක් බවට පත්කරනවා. කියවන්නාටත් ඒ ලකුණ බෝකරවනසුලුයි.

මේ පොත පළකරලා අවුරුදු 5කටත් වැඩි වුණත්, ඇතැම් සංකල්ප නූතන කියවීම් එක්ක කියවද්දි අලුත් කරන්න වුවමනා බව හිතුණත්, ළතෙත්වීම පමණට වඩා දුර යා නොයුතුයි කියා සිතුණත්, හිසේ තියෙන සියලු බර පොදි – දැනුම් පද්ධති – නියම රීති බිම තියලා විඩා නිවන, සීත ඇල් වතුර වීදුරුවක් වගේ සැනසුම් පවන් හමන යමක් ඔහු ලියන්න සමත් වෙලා තියෙන බව නොකියා ම බැහැ.

දිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...