යෞවනය මත ගැඹුරු කුර සටහන් තබන ‘හරි ලස්සන අශ්වයා’ !

Share post:

“මනුස්ස ජීවිතයක් අශ්වයෙකුගෙ ජීවිතයකට වඩා වටිනවා තමයි. ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි. මිනිහයි අශ්වයාව මැව්වෙ! ඔව්, මිනිහෙකුට අසනීප වුණාම අශ්වයෙක් ජීවිතේ වුණත් පරදුවට තියාවි, මිනිහව රැකගන්න. අශ්වයෙකුට අනතුරක් වුණාම ඌ වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කැප වෙන එක මිනිහගේ යුතුකම! නැත්නම් ඒකාට මිනිහා කියන්න වටින්නෙ නෑ…” 

Boris Almazov

The Most Beautiful Horse

පරිවර්තනය- අරුන්දි ජයසේකර

යෞවන සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත අරමුණු බොහෝ ගණනක් ඉටු වෙතැයි ඉඳුරාම කිව හැකි විශිෂ්ට කෘතියක් සිංහල භාෂාවෙන් පළ වී තිබේ. ‘හරි ලස්සන අශ්වයා’ නමින් එළිදුටු එය, ජීවමාන සෝවියට් සාහිත්‍යකරුවකු වන බොරිස් අල්මසෝව් විසින් රචිත The Most Beautiful Horse කෘතියෙහි සිංහල පරිවර්තනයයි. පරිවර්තිකාව, මීට ඉහතදීද සෝවියට් යෞවන සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කර ඇති තරුණ ලේඛිකාවක වන අරුන්දි ජයසේකර ය.

Boris Almazov

1960 දශකයේදී සාහිත්‍යකරණයට පිවිසි සෝවියට් ලේඛකයකු වන අල්මසෝව්, ක්ෂේත්‍ර කිහිපයකින්ම සාර්ථකත්වයට පත් පර්යේෂණාත්මක නිර්මාණකරුවෙකි. 1968දී ලෙනින්ග්‍රාඩ් කලායතනයෙන් නාට්‍ය විචාරය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් ඔහු කලා ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු ලෙස වසර වසර 20ක් සේවය කළේය. කෘති 42ක කතුවරයා වන ඔහුගේ පළමු යෞවන සාහිත්‍ය කෘතිය වූ මෙය, ඔහුගේ වඩාත් ජනප්‍රියත්වයට පත් කෘති අතරින් එකකි. මෙය භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර අල්මසෝව්ගේම තිර පිටපත් රචනයෙන් සිනමා පටයක්ද නිර්මාණය වී තිබේ.

රුසියානු විප්ලවයෙන් දසක හයකට පසුව පළ වූ මෙම කෘතියට පසුබ්ම් වන්නේ නූතන තාක්ෂණයෙන්ද දියුණු පහසුකම්වලින්ද පොහොසත්, බාහිර ලෝකය වෙත වඩාත් විවෘත වූ පූර්ව- පෙරස්ත්‍රොයිකා යුගයේ සෝවියට් යෞවනයයි. එහි අභිලාෂද, පුරුෂාර්ථද අපට වඩාත් හුරු පුරුදු පූර්ව හෝ පශ්චාත් විප්ලවීය සාහිත්‍යයේදී හමු වන ඒවාට වඩා වෙනස්ය. දියුණු ප්‍රවාහන පහසුකම්ද, දුරකථන සබඳතාද, රූපවාහිනිය වැනි පෙරළිකාරී සන්නිවේදන මාධ්‍ය හා සිනමාවද, නව තාක්ෂණයද ඔවුන්ට නව ලෝකයක් විවර කර දුනි. පැරණි සමාජයේ හරයන් හා නූතන සමාජ අභිලාෂයන් අතර සීතල යුද්ධයක් මැදින් ඔවුන්ගේ යෞවනය ගලා යයි.

සමකාලීන යෞවන දිවියේ රිද්මය හා නොපෑහෙනසුලු බවකින් හා ස්වකීය අනන්‍යතාව පිළිබඳ අවිනිශ්චිතබවකින් පසුවන ‘පොනොමරියෙව්’ මෙහි ප්‍රධාන කතා නායකයාය. සෙස්සන් විසින් පටබැඳි ‘පැනමා’ යන විකට නමට සුවච ලෙස අනුගතව සිටින ඔහු, අහම්බෙන් හඳුනාගන්නා සහජාශාවකින් හා අපූරු ගුරුවරයකු කෙරෙහි ඇති වන ආකර්ෂණයකින් පිබිද සිය අනන්‍යතාව සොයා ගනී. හාස්‍ය රසයෙන්ද නාටකීය අවස්ථාවන්ගෙන්ද ගහන රසවත් කතාන්දරයක් ලෙස ගොඩනැඟෙන එය මියුරු රස කැවූ අනගි ඔසුවක් මෙන් ගැඹුරු යටිපෙළ අරුත්ද දරා සිටී.

අධ්‍යාපනඥයකු ලෙස අල්මසොව් සතු ගැඹුරු පරිචය, කෘතිය කෙරෙහි විහිදුවා ඇති ආලෝකය අතිමහත්ය. පැරණි සම්ප්‍රදායෙහි වටිනාකම් උකහාගත්, එමෙන්ම නූතන පරපුරේ ආකර්ෂණය දිනාගැනීමට අවශ්‍ය නිර්මාණශීලී ගුණයෙන්ද පොහොසත් බොරිස් ස්ටෙපනොවිච් නම් තරුණ ගුරුවරයාගේ චරිතය අල්මසොව් සිය අධ්‍යාපන දර්ශනය පිළිබඳ ආදර්ශ රූපය ලෙස ගොඩනැගූ බව සිතිය හැකිය. ඔහු සිය ප්‍රියතම ගෝලයා වන පොනොමරියෙව් කැටිව යන්නේ තම අශ්වාරෝහක පුහුණුකරු වන ඩෙනිස් ප්ලැටනොවිච් වෙතය. ඔහු දැඩි විනය හා දණ්ඩනය පාදක කරගත් රළුපරළු පැරණි අධ්‍යාපන ක්‍රමයේ සංකේතයකි. ඔහුගේ බස කඨෝරය, පැවතුම් අධිකාරීවාදීය, නිර්දයය. ඇසුර ප්‍රියමනාප නොවේ. ඔහුම කියන පරිදි, ඔහු සරත් සෘතුවේදී පුහුණුවට බඳවාගන්නා සිය දෙනාගෙන්, වසන්ත කාලය එළැඹෙන විට ඉතිරි වන්නේ පස් දෙනෙකු පමණි!

එහෙත් ඔහු ඇසුරෙහි අසුන් හැසිරවීමේ දුෂ්කර ශිල්පය හදාරන පොනමරියෙව්, ඒ නිර්දය පුහුණුකරුවා තුළ සිටින කාරුණික හදවතකින් හා අප්‍රමාණ පෞරුෂයකින් යුතු මිනිසා ක්‍රමයෙන් හඳුනාගැනීමට සමත් වෙයි. අවසන් මහා තරගයේදී නීරෝ නම් දඩබ්බර අසු, අන්තිම කඩුල්ල ජයගැනීම කරා මෙහෙයවන පොනමරියෙව් දෙස දෑස් දල්වා බලා සිටින ප්ලැටනොවිච්, නළලත නැඟුණු දහඩිය අත්ලේන්සුවෙන් පිසදා ගනී. එය දුෂ්කරම කඩුල්ල පැන ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුත් සිසුවකු ලොවට දායාද කිරීමේ වෙහෙස හා සංතෘප්තිය පිළිබඳ සංකේතයකි.

පැරණි අධ්‍යාපන ක්‍රමයද, සමාජ ක්‍රමයද නූතන යුගය දක්වා පරිණාමය වෙද්දී ක්‍රමයෙන් මඟහැරී ගිය යමක් පිළිබඳ තියුණු සිහි කැඳවීමක් විදුලි සැරයක් සේ මෙම කෘතිය පුරා වරින් වර ඉස්මතු වනු දැකිය හැකිය. ඒ අන් කිසිවක් නොව ‘හෘදයසාක්ෂිය’යි. අශ්වයින් හා මිනිසුන් අතර සබැඳියාවෙහිද, මිතුරන් අතර සබැඳියාවෙහිද, ගුරුවරයා හා සිසුන් අතර සබැඳියාවෙහිද, දෙමාපියන් හා දරුවන් අතර සබැඳියාවෙහිද වරින්වර ගටා හෘදසාක්ෂියෙහි ගිනි පුළිඟු නැංවීමට අල්මසොව් සමත් වෙයි.

කෘතියෙහි චරිත නිරූපණය ප්‍රබලය, විචිත්‍රය, නාටකීයය. සෑම චරිතයකටම‍; පුහුණු පාසලේ සිටින අශ්වයින්ට පවා තමන්ගේම සුවිශේෂ අනන්‍යතාවන් ඇත. එක් දර්ශනයකදී පමණක් මුණගැසෙන ගැල් පදවන මහල්ලාට පමණක් නොව, වෙරිකාරයා යැයි නම් ලද කේන්තිකාර අසුට පවා තමන්ගේම කතාවක් තිබේ. පොනොමරියෙව්ගේ පන්ති සගයින්, අනාගත සමාජයෙහි පිළිබිඹුවකි. විවිධාකාර ගතිගුණ හා ආකල්පවලින් යුතු ඔවුන්, සුදුසු අවස්ථාවන් හා උත්තේජනයන් ලදහොත් වඩාත් යහපත් මිනිසුන් වීමේ විභවයද දරා සිටින බව අල්මසෝව් අපට සියුම් ලෙස සිහිපත් කර දෙයි.

අශ්වයන් පිළිබඳ අපමණ ආදරයක් හා සංවේගයක් දනවන අපූරු තොරතුරු රැසක් මේ කතන්දරයට ඇතුළත්ය. පොනොමරියෙව් සහ පශු වෛද්‍යවරයා අතර ඇතිවන විවාදය, විනිශ්චය කිරීමට අපහසු බරපතළ ගැටලුවක් පාඨකයාට භාර කරයි. පොනමරියෙව් හා උල්කා නම් අශ්වයා අතර ගොඩනැඟෙන ආදරණීය මිත්‍රත්වය, සෙසු සියලු සබඳතා යහපත් කිරීම කෙරෙහි ඇති කරන බලපෑම විස්මිතය.

තරගකාරීබවද, දඟකාරකම්ද, නිදහස දිනාගැනීමේ අනවරත අරගලයද, වීරත්වය හා ප්‍රේමයද ඇතුළු යෞවනයේ සියලු දිශානති කරා ආලෝකය විහිදුවන මෙම කෘතිය ලාංකීය යෞවන ජීවිත කෙරෙහිද ආලෝකයක් වනු නිසැකය.

  • නිලංක විල්ගමුව

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...