(ස්ත්‍රී) සිතක සියල්ල හෙවත් Mirror Mirror

Share post:

ප්‍රසාදනී කුමාරිගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය 1,2, 3, දින තුළ දී හැරල්ඩ් පීරිස් කලාගාරයේ පවත්වන්නට යෙදුණා. එහි නම, ‘Mirror Mirror’. මීට පෙර ඇගේ චිත්‍ර ප්‍රදර්ශනය කෙරුණු ‘ස්පන්දන’ වෙනුවෙන් යාමට මට ලැබුණත්, මේ ප්‍රදර්ශනයට යන්න නොහැකි වුණා. නමුත්, ඇගේ සිතුවම් වෙනුවෙන් යමක් නොලියා බැරි තත්ත්වයට ඒවායේ නිරූපණ ගුණය ඉහළ බව පෙනුණු නිසා, ඒ චිත්‍රවල පින්තූර දෙස නරඹා ලියන කෙටි අදහසක් මේ.

‘ස්පන්දන’ වෙනුවෙන් මගේ කියවීම වචන කිහිපයකට පිඬු කර දුන් සංක්ෂිප්තය, ‘ලොවට පෙනෙන අපි සහ අපට පෙනෙන අපි’ හෙවත් ‘පොදු කුලකයේ දී අපි සහ තනි කුලකයේ දී අපි’ යන්නයි. Mirror Mirror වෙනුවෙන් එවැන්නක් ලියන්නැයි කීවොත් මා ලියනු ඇත්තේ මෙය යි. “රළ නගන යුවති සිතුවිලි” හෙවත් “සුරඟන ලිය සහ මායා ලිය” වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් හොඳ සහ නරක, සම්මත – අසම්මත, යන කුලක වලට නොබෙදා පොදුවේ ‘(ස්ත්‍රී) සිතක සියල්ල’ යනුවෙනුත් ගත හැකියි.

ඇය මේ චිත්‍රවල දි නිර්භය ව තමන්ගෙ මුහුණ ම පිළිඹිබුවක් කරගන්නවා වෙනත් කාන්තා මුහුණු වෙත නොයා. තමා ඇසුරින් ම තම චිත්‍රය ගොඩනගනවා. තමන් කරන නිර්මාණයකට තමන්ව ම යොදාගැනීම අභියෝගයක්. ඒනිසා ඊට අවංක වීමක් හැටියටයි එය මා දකින්නෙ.

අර කිවූ සුරඟන, කොමල, අවංක ලකුණු පෙන්වන්න, ඇය මුදු සුමුදු කාන්තාවන් ප්‍රිය (රෝස, කහ, රන්) වර්ණ වගේ ම, සුදු පියාපත්, වස්‍ත්‍ර, අලංකාර මල් වැනි දෑ යොදාගන්නවා. එහි ම අනෙක් පස නිරූපණයට ඇය, නියඟලා මල්, අඳුරු වර්ණ, උස රළු කබා, දුම් වලාවන්, අමුතු බැල්ම, මුහුණේ කැළැල් ආදිය යොදාගන්නවා. එක ම චිත්‍රය තුළ මේ ආකාර දෙක ම යොදාගන්න අවස්ථාත් හමුවෙනවා.

පළමු චිත්‍රයේ ඉන්නේ, තමන් තුළින් එළියක් හොයාගත්ත ගැහැනු ළමයෙක්. ස්ත්‍රීත්වයේ සුන්දර අත්විඳින කෙනෙක්. රන්වන් කැටයම් පසුබිම් අතරේ වැගිරෙන එළි දෝතට අරන් ඒවා තමන්ට ළංකරගෙන තමන්ගේ ලෝකය එළියකරගනිමින් ජීවත්වෙන යුවතියක්. ඇගේ සිරුරේ නැමුණු බව, සංවේදී මුහුණ, අර එළිය අතේ රඳවාගෙන සිටින ආකාරය අවධානයට නිතැතින් ම ලක්වෙනවා. ‘භාව ගීත’ වගේ ආත්මයට දැනෙන චිත්‍රයක් ඒ.

අවසාන චිත්‍රය, අර මායාකාර ලකුණ දරන්නක්. සංකේතීයයි. එය ඉහත කී කරුණු අනුව ම ඇති නිසා අමුතුවෙන් විස්තර කරන්නෙ නැහැ.

ඒ අතරමැද ඇති චිත්‍රය, අර කී ආකාර දෙකේ ම එකතුවක්. සුර දූත පියාපත් එක්ක ම වටේ නියඟලා මල්.

චිත්‍ර එකින් එකට බල බල රසවිඳින්න – කියන්න පොඩි පොඩි දේවල් ඇතත් එය ඔබට ඉතිරි කරනවා.

ප්‍රසාදනීගේ චිත්‍ර අතරෙ අපිට අපිව ම හමුවෙනවා. අපිට අනෙක් ස්ත්‍රීන්වත් හමුවෙනවා. පොදුවේ මිනිසුන්ව හමුවෙනවා කියන්නත් බැරි නැහැ. ඒ නිසා වෙන්න ඇති, එය Mirror Mirror වෙන්නෙ!

දිල්ශානි චතුරිකා දාබරේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...