නාමල්ගේ ලක්ෂ 26 විදුලි බිල තිබියදී මගේ නිවසේ රු. 7,390ට විදුලිය කැපුවා : නීතිය ඉදිරියේ අසමාන සැලකීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

Share post:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසට විදුලිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය පැවති කාල සීමාව තුළ දී ඔවුන්ගේ වීරකැටියේ පිහිටි නිවසට මෙම විදුලි සැපයීම සිදු කර ඇතැයි අනාවරණය විය.

නීතිඥ ඊ.ජේ. විජිත කුමාර මෙම පෙත්සම ගොනුකර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපති එන්.එස්. ඉලංගකෝන්, හිටපු සභාපති රඛිත ජයවර්ධන, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක ඇතුළු පිරිසක් නම් කර තිබේ.

2019 සැප්තැම්බර් සිට !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය 2019 සැප්තැම්බර් 12 සිට 15 තෙක් මහින්ද රාජපක්ෂගේ වීරකැටිය පිහිටි නිවසේ පවත්වා තිබෙන බවත්, ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 26,82,246.57ක් බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී ඇත.

එම මංගලෝත්සවය පැවැත්වුණු කාලය තුළ දී එම නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක විසින් විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, ඒ අනුව එවකට විදුලිබල සහ බලශක්ති ඇමතිවරයා විසින් එම ප්‍රදේශයට විදුලිය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඊට අදාළ ගෙවීම් එම පවුලේ සාමාජිකයන් විසින් ගෙවීමට සූදානම් බවට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙතෙක් එම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු, වගඋත්තරකරුවන් සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබාගැනීමට කටයුතු කර ඇති අතර, විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටී.

රුපියල් 7,390ක් !

එසේ තිබියදී තම නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු, අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබියදී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ අසමාන ක්‍රියාකලාපයක් බව ද පෙන්වා දෙයි.

මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව 2019 සැප්තැම්බර් 12 සිට 15 දක්වා මහින්ද රාජපක්ෂගේ වීරකැටිය නිවසට විදුලිය ලබාදීමට අදාළ ව ඇති ලිපිගොනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම නිවසට විදුලිය ලබාදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, එහි හිටපු සභාපතිවරයා ඇතුළු බලධාරීන් සිය බලය අයුතු ලෙස භාවිත කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1) යටතේ මෙසේ දැක්වේ.

‘නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.’

නාමල්ගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබුණේ තමන්ට ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දී නැති බවකි.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...