වැව්වල මැණික් හෑරීමේ ඩොලර් බිලියන 2 මිරිඟුව සහ දින 2න් හැදූ උමා ඔයේ පරිසර තක්සේරු වාර්තාව !

Share post:

වැව් සහ ජලාශවල මැණික් හෑරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ තීරණය ක්‍රියාත්මක කළහොත් වැව්වල රඳවාගත හැකි ජල මට්ටම සීග්‍රයෙන් පහත බසිනු ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් thetime.lk වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

වැව්වල ඇති හුණුගල් තට්ටුව මත රොන් මඩ තට්ටුව පිහිටන බවත්, හුණුගල් තට්ටුවේ ඇති සිදුරුවලට රොන් මඩ පිරීමෙන් පසු ජලය විශාල ප්‍රමාණයක් දීර්ඝ කාලයක් රඳවා ගත හැකි වන බවත් සඳහන් කළ ඔහු, මැණික් හැරීම වැනි ක්‍රියාවලියක් මගින් හුණුගල් තට්ටුව සිදුරු කෙරෙන බව සඳහන් කළේය. මේ නිසා එවැනි ක්‍රියාවලියකින් පසු වැව්වල ජලය රඳවාගැනීමේ හැකියාව සැලකිය යුතු මට්ටමකින් අඩු වීම අනිවාර්යෙන්ම සිදු වන බව ද ‘අපේ වැව් ගම්මාන’ කෘතියේ කතුවරයා ද වන ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

කට්ටි කපන්නෙ කොහොමද ?

මෙහිදී අප ඔහුගෙන් විමසුවේ වැව්වල කට්ටි කැපීම යනුවෙන් හඳුන්වන වළවල් හෑරීමේ ක්‍රියාවලිය මෙම ජලය රඳවාගැනීමට බලපාන්නේ කෙසේද යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එය ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියක් බවයි. අතීතයේදී මෙවැනි කටයුතු වැව පිළිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණද, මේ වන විට එම කටයුතු පවා බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සීමාවකින් තොරව සිදුකිරීම නිසා වැව්වලට බරපතළ හානි සිදු වී ඇතැයි ද අවධාරණය කළේය.

පරිසර තක්සේරු වාර්තා ?

කෙසේ වෙතත් ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙවැනි තීරණයක් ගතහොත් එමගින් අවම හානියක් සිදු වන පරිදි මෙම කටයුතු සිදුකරන්නේ කෙසේදැයි විමසීමේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළේ ජාතික පරිසර පනතේ ප්‍රතිපාදන මත පරිසර තක්සේරු වාර්තා සකස් කිරීම මෙවැනි ක්‍රියාවලියකදී අනිවාර්ය බවයි. එහෙත් එම පරිසර තක්සේරු වාර්තා සකස් කිරීමේ ක්‍රියාවලිය අතිශය නිවැරදි සහ විධිමත් විය යුතු බව ද ඔහු පැවසීය.

ආණ්ඩුවේ තීරණය

වැසි රහිත කාලගුණයත් සමග සිඳීගිය වැව් සහ ජලාශවල මැණික් ගැරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව සිඳී ගිය වැව් සහ ජලාශ අතරින් මැණික් ඉල්ලම් ඇතැයි ඇස්තමේන්තු කර ඇති ජලාශ කිහිපයක තිබෙන මැණික් ඉල්ලම් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුව වාර්තා ඉල්ලයි !

මෙම ක්‍රියාවලිය සඳහා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳව වන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මැදිහත්වී ඇති අතර, එම කාරක සභාව අදාළ ආයතනවලට දැනුම් දී ඇත්තේ මැණික් ඉල්ලම් ඇති බවට වාර්තා වන ඉහළ කොත්මලේ ජලාශය, සමනළ වැව ජලාශය, හැටන් නෝටන් බ්‍රිජ් ජලාශය සම්බන්ධයෙන් වාර්තා මූලික අදියරේදී පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසයි.

ඩොලර් බිලියන 2ක්

එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කරන්නේ සමනළ වැව ජලාශයේ පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න මැණික් ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇති බවයි.

පාරිසරික හානි සිදු නොවන ලෙසත්, ජලාශ ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ හිමි වන ලෙසත් මෙම මැණික් ඉල්ලම් සොයාගැනීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි.

අවසන් වාර්තාවක් නෑ !

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ එවැනි ඇස්තමේන්තුගත මැණික් ප්‍රමාණයක් මෙම ජලාශවල ඇතැයි දළ අදහසක් ඇතත්, ඒවා ගත හැකිද, ඒවාගේ නිශ්චිත වටිනාකම කොපමණද යන්න සම්බන්ධයෙන් නිවැරදි සහ විද්‍යාත්මක අවසන් වාර්තාවක් සකස් කර නැති බවයි.

එසේම අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බවයි. එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ නිල වශයෙන් දැනුම් දීමක් කර නැති නිසා තමන්ට ඒ සඳහා මැදිහත් විය නොහැකි බවයි. කෙසේ වෙතත් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නම්, අවම හානියක් වන ලෙස ඊට සහාය දිය යුතු වුවද, ආරම්භ වන බවට අනාවැකි පළවන වර්ෂාව නිසා මෙම ක්‍රියාවලිය සිදු කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

උමා ඔය !

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 2008 වසරේදී ය. ඉරානයෙන් ලබාගත් ණය මුදලක් මත ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් පරිසර තක්සේරු වාර්තාවක් නොකෙරිණි. කොළඹ සිට සිදු කළ එම තක්සේරු වාර්තාව අවසන් කිරීමට ගොස් තිබුණේ දින දෙකක් පමණි.
පසුව එහි ආදීනව විඳින්නට උමා ඔය අවට ප්‍රදේශ රැසක ජනතාවට සිදු විය. ගෙවල් මැදින් ගිලාබැසීම් සිදු වූ අතර, ඇතැම් නිවාස ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයටම පුපුරා ගියේය. ළිං සිඳිණි. ඇළ පාරවල් සිඳිණි. ජනතාවට ජීවත්වීම බරපතළ ගැටළුවක් විය. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු 2009 මුල් කාලයේදී එහි ගොස්, සිදුවීමට නියමිත මේ විනාශය ගැන කියන විට ජනතාව කිව්වේ මෙහෙම කතාවකි.
‘දවස පුරා කුලී වැඩ කළාට රුපියල් 1,000 ක් හොයාගන්න බෑ. ඉරාන කොම්පැනියෙන් අපිට දවසට 1,500 ක්, 2,000 ක් දෙනවා. ඒක නැති කරන්නද හදන්නෙ…?‘
ඒත් ඉරාන කොම්පැනිය ඒ ගාණ දුන්නේ ජනතාව රවටා අවසන් වන තුරු පමණි. ඉන්පසු ගණන් අඩු කෙරිණි. ජනතාවගේ ගෙවල් පුපුරන්නට පටන් ගත් විට ඔවුන්ට වන්දි ඉල්ලා හතර වටේ යන්නට සිදු විය. ආණ්ඩු කල් මරන්නට විය. මේ උමා ඔයේ කතාව හිතේ තියාගෙන මැණික් හෑරීම ගැන ද අවධානයෙන් සිටිය යුතුය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...