මුන්නක්කරේ සංසාරේ – මංජුල වෙඩිවර්ධන
ස්වර්ගීය සිහින වල තිබිය යුත්තේ දිව්‍යමය සිනහවන් පමණක් නොවේ. දිව්‍යමය කඳුළුද, දහදියද, සුසුම්ද, අඳෝනාද, වැළපිලිද , ප්‍රශ්නාර්ථයන්ද, ආවේගද, වේදනාවද, රිදුම්ද, පිරිමැදුම්ද එවන් සිහිනෙක ගැබ්වී තිබිය හැක. “මුන්නක්කරේ සංසාරේ” එවන් ස්වර්ගීය සිහිනයක, පිටු හයසිය ගණනක අපි අතරමං කර ඉන් එළියට ඇද දමයි. ඉන්පසුවත් අප ඒ සිහිනය දකින්නට පෙර සිටි අයම වූවානම් පශ්චත්තාපයට එයද හේතුවකි. එය එසේ නොවන්නේ නම් එකී පසුතැවීමට ඉඩක් නැත. මා පසුවන්නේ ඒ පසුතැවීමේ නම් නොවේ.
මුළුමහත් මිනිස් සමාජයක් තුළ අපි කොතරම් ක්ෂුද්‍රද යන්න, කුරා කුහුඹුවන් තරම් වත් එකී සමාජය සමඟ ස්පර්ශ නොවන්නන් බවට ලතැවිල්ලක්ද, එකී පසුතැවීම ඔස්සේම විස්මයක්ද, එවන් ස්පර්ශ කිරීමක් සහිත ලියවිල්ලක් කියවූවා නොවේද යන ආහ්ලාදජනක හැඟීමක්ද එකවර ඇති කරන්නට සමත් හැඟීමක් “මුන්නක්කරේ සංසාරේ” කියවා අත්දකිමින් සිටින්නෙමි. හදවත ස්පර්ශ කිරීමට අප වෙතම පිදූ ආලය, ප්‍රේමය අත්‍යාවශ්‍ය නොවන බව දැනෙන ඇතැම් දේ ඇත. එවන් තැන්වල අපිට අපේ ආත්මාර්ථකාමීත්වය මඳකට අමතක කළ හැකිය. එය සංසාරයක් හිමි හෝ අහිමි වේවා මිනිස් සිතකට ලැබිය හැකි අස්වැසිල්ලකි. මා එය විඳිමින් සිටිමි. එය මැජික් යෂ්ටියකින් ස්පර්ශ කළාක් බඳු හැඟීමකි.
කියවීමෙන් පසුව මුන්නක්කරේ මිනිසුන් යනු අපි අපිම ලෙස සිතන්නට තරම් තවමත් අපි පුළුල් මනස් ඇත්තෝ නොවෙන බව දැනෙන, ස්වයං ආත්ම කථනයක, විවේචනයක නිරත වෙන්නට සිත අඬ ගසන මොහොතක “මුන්නක්කරේ සංසාරේ” යනු සැහැල්ලුවක් නම් නොවේ. එය හදවත බර කරන්නකි. එය ස්වල්පයමය වශයෙන් නොවේ. දිව්‍යමය වූ දෙය පිළිබඳව ඇති කරගත යුත්තේ බරැති හැඟීම්ද? එය එසේ නම් සතුටකි. එහෙත් එවිටම මෙය මායාමය ස්පර්ශයක් යයි සිත කියයි. මුන්නක්කරේ යනු, මීගමුව යනු අතදිග මානේ යයි සිතන්නට ඉඩ හරිමින් එහෙත් ඔබ සිටින්නේ ඊට ග්‍රහලෝකයක් තරම් දුරින් යයි අඟවමින් මෙහි චරිත හදවතට ආමන්ත්‍රණය කරයි. මිනිසුන් මිනිසුන් ලෙස සිතීමට, අපි සියල්ලෝම එකම මිනිස් කුලකයක් යයි සිතීමට හැකි තරම් දියුණු කරගත් මනසින් යුතුව ලෝකය දකින්නේ කවදාද යන හැඟීම හදවත පෙළයි. ඒ චරිත සමඟ ජීවත් වන ඇතැම් විට එය පහසුය. අතළඟය. එහෙත් එවන් චරිත කිහිපයක් නොව ලක්ෂ ගණනින් අවශ්‍ය මොහොතක, රටක අපි ජීවත් වන බව දැනෙන විට සිහිනය බොහෝ දුර යයි. ඉතින් හදවත බර වීම පුදුමයක්ද?
“දිවැසිවරයා නොහොත් දේශනාකාරයා මුන්නක්කරේට ප්‍රාදුර්භූත වී තිබුණේ මෝඩ ඇළ ඔස්සේය.” එය කෙසේ වූවාදැයි රහසකි. දිගටම රහසකි. එහෙත් රහස් නිරාවරණය වන මොහොතක් තිබෙන බවද එය නතර කරන්නට දෙවියන්වහන්සේටවත් බැරි බවද කතුවරයා කියයි. ඒ රහස දැනගැනීමේ මොහොත එළඹෙන තෙක් නොඉවසිලිමත්ව කියවන්නට සිත බලකරන, එය දෙවියන්වහන්සේගේ කැමැත්ත වනු ඇතැයි යන හැඟීම තවදුරටත් ඔබට වද කරන්නේ නැති මොහොතක් වෙතද කතුවරයා අපව ගෙනයයි.
ලාංකීය ජන සමාජය තුළ ජාතිය නිසා සුළු වූවන් සිටී. එසේම මහ ජාතිය තුළ ආගම නිසා සුළු වූවන්ද ලෙස ජීවත් වන්නට සිදුව ඇති මිනිසුන්ද සිටී. එය ජාතිවාදය තරම්ම ආගමිකව අන්තවාදය වෙතට තල්ලු කරන ලද්දක් බව හා ව්‍යාජත්වය මුසු වූවක් බව කියාපාන කතුවරයා සිංහල බෞද්ධ නම් ලේබලය දරා සිටිමින්, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකව මිනිසුන් විසින් මිනිසුන්ට කරන ලද කෙණෙහිලිකම් ගැන කියයි. එය සිතියමක දිස්ත්‍රික්කයක් ලෙස නම් වන්නට තිබූ ප්‍රදේශයක් උප නගරයක් බවට පත් කරන්නට තරම් ප්‍රබල වූවක් බව කියයි. එය ප්‍රබන්ධයක් ලෙස පමණක් මතකයේ ඉතිරි නොවන තරමට ප්‍රබල ආඛ්‍යානයක් බව මගේ හැඟීමයි.
කිසිදු ආගමක් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර නොමැති මා වැනි කියවන්නෙකුටද “මුන්නක්කරේ සංසාරේ” තුළ හමුවන්නේ ගතානුගතිකව කියවෙන කිතුනු දහම පිළිබඳ අදහස්, හැඟීම් නොවන බව පැහැදිලිවේ. එකී කියවීම ඇති කරන හැඟීමට පවා ස්වර්ගීය උනුහුමක් ඇති යයි කිවහොත් එය අතිශයෝතියක් නොවේ. එකී හැඟීම හඳුන්වාදීමට සුදුසු වන්නේ එවන් වචනයක් නොවේද? මෙසේ ලියවෙන්නේම ඒ හැඟීමයි.
මිනිසුන් විසින් සියළු දෙය තුළ දේශපාලනය බහා තිබීම සුන්දර කාරණාවක් නොවන්නේ ඇයිද යන්නට ශාක්ෂි ඕනෑතරම් සොයාගත හැකි ඉතිහාසයක, වර්තමානයක සාඩම්බර හිමිකරුවන් වන අපව එයින් ගලවාලන කැමැත්තක් “මුන්නක්කරේ සංසාරේ” තුළ පවා ගැබ්ව නැති වීම පුදුමයට කරුණක් නොවේ. ඒ සමාජ යථාර්ථය පහදා දෙන ඕනෑම රස නීරස යමක අර්ථ දැක්වීමට දේශපාලනික මුහුණුවරක් තිබීම සාමාන්‍ය කරුණක් වන බැවිනි.
“ඇතැම් ගැඹුරු විශ්ලේෂණයන්ට අනුව, යේසුස් ක්‍රිස්තූන්වහන්සේ කියන්නෙ කිසියම් නිශ්චිත පුද්ගලයෙක්ට නෙමෙයි. පීඩිතයන්ට පීඩිත භාවයෙන් මිදීම සඳහා, දුගීන්ට දුගී භාවයෙන් මිදීම සඳහා, දිළින්දන්ට දිළිඳු භාවයෙන් මිදීම සඳහා ඉතිහාසය විසින් යෝජනා කෙරෙන සංසිද්ධියකට තමයි යේසුස් ක්‍රිස්තූන්වහන්සේ කියන්නෙ. ඒ අනුව අපි පැහැදිලි කර ගන්න ඕනි විශේෂ ම කාරණාව තමයි මේ විග්‍රහය එය යෝජනා වෙච්ච සන්දර්භයේ සිට සෑම සන්දර්භයක ම සමාජයකට වලංගුයි කියන එක. මේ විග්‍රහය යෝජනා වෙච්ච වකවානුවෙ සිට මේ දක්වාම එය වලංගුයි කියලා. මිත්‍රවරුනි, ක්‍රිස්තියානි භාවය කියන්නෙ, පුද්ගල බද්ධ, ආත්ම බද්ධ ආධ්‍යාත්මික යෝජනාවක් නෙමෙයි. එය පොදු සන්දර්භයකට යි අදාළ වෙන්නෙ. පුද්ගලයන් විදිහට තනි තනි කැඳවීම් ලැබෙන්නෙ පොදු අරමුණ ඉලක්ක කරගෙන. ” පිටුව 62
ආගමක් වශයෙන් අදහන තැන නොතබා එකී දර්ශනය වටහා ගන්නට හැකිනම්, උත්සාහ දරන්නේ නම්, කිසිදු ආගමක් අන්තවාදය යන මාතෘකාව ඔස්සෙ විස්තර කිරීමට සිදුනොවනු ඇත.
“මුන්නක්කරේ කොච්චර ඉන්නවද මුන්නක්කරේ ගැන දන්නැති මිනිස්සු. මෝඩ ඇළ පාලම මොන තරම් පහුකරන් යනවද පාලමේ ඉතිහාසය දන්නැති මිනිස්සු. මොන තරම් මේ කුරුස පල්ලියට එනවද කුරුස පල්ලියෙ ඉතිහාසය දන්නැති මිනිස්සු.” පිටුව 77
“මුන්නක්කරේ සංසාරේ” කියවීම තුළ ඒ නොදන්නා ඉතිහාසය යම් තරමකට හෝ සම්මුඛ වීම සතුටකි. එකී සතුට කොටස් ගණනාවකට බෙදිය හැක. වෙනමම සංස්කෘතියක් ස්පර්ශ වීමේ සතුටය. නොදන්නා දේවදූතයන් පිළිබඳව විශ්වාසයන් ය. ස්වර්ගීය සැනසුම් සුසුම් වල පහසය. කටුනායක අළුවා වල රසය. මිරිස් ගුලි අඹරන කලාවය. එවන් ගුලි යොදා තැනූ මස් ව්‍යංජනයක සුවඳ දැනෙමින් ඇවිළෙන කුසගිනිය. අසෝකා වීදුරුවක දැමූ කහට උගුරක් බීමේ පිපාසයය. ස්වර්ගයට යන දොරටු විවර කරගත් ඌරන් වෙනුවෙන් පවා දියවෙන්නට හදන හදවත් ය. කුලියට හඬන තැනක තැබූ කඳුලකට වටිනාකමක් එක්කර එකී කඳුළු ගලන කලාව ඔප්පාරි ළසෝ ගීයක අසන්නට බල කෙරෙන, විඳින්නට සිතෙන හැඟීම් ය.
වර නැඟෙන දිව්‍යමය නොවන මිනිසුන්ගේ කතාන්දරය තුළ හමුවන සත්‍යය දුක දනවයි. ආගම් විසින් ජාතිය විසින් නොබෙදා වෙන් නොකර මිනිසුන් රැකිය යුතු බව කියන දිවැසිවර ප්‍රකාශයන් තවමත් තේරුම් නොගැනීම, මිනිසුන් මිනිසුන්ගෙන්ම වෙන් කිරීමෙහිලා දේශපාලනික දායකත්වය, එකී දායකත්වයේ පාපය තවමත් උසුලාගෙන යමින් සිටින මිනිසුන්, සමාජමය හා ආර්ථිකමය වශයෙන් දැවැන්ත බලපෑම් කරන්නට සමත් උවදුරු යනාදී සියල්ලම එකී දුක්ඛ සත්‍යයයි.
“කඳුළ දැනෙන පපුවට තමයි ප්‍රේමය දැනෙන්නෙ. අපි මහන්සි වෙන්නෙ ප්‍රේමයේ ස්වර්ග රාජ්‍යය ගොඩනංවන්න නම්, මං හිතන්නේ අපිට පටන් ගන්න වෙන්නෙ කඳුළුවලින්.” පිටුව 105
ඉතිහාසය දන්නා හැටියෙන් තිබෙන්නට ඉඩ නොහැර අත පත් ඇඹුම් මැටි පිඩක් සේ තමාට රිසි අයුරින් හසුරවන පිග්මැලියන් කෙනෙකු වන්නට ලේඛකයෙකුට හැකිය. එයින් නිමවන්නේ කුමනාකාරයේ නිමැවුමක්ද යන්න නිශ්චිත නොවන්නට පුළුවන. නමුදු මුන්නක්කරේ සංසාරේ යනු පිග්මැලියන් කෙනෙකු අතපත් ඇත්දළ කැබැල්ලකින් නිමවුණු ඇෆොඩයිට් තරම්ම සුන්දර නිර්මාණයකි. එය ජීවය පිඹීමට අවශ්‍ය නොවන්නක් බව කියවන ඔබ තේරුම් ගනු ඇත. මොහොතකට එය විසින් ඔබ ජීවත් කරවනු ඇත.
මෙලොව සුන්දර වීමට නම් සිදුවිය යුතු දේ බොහෝය. එසේ වීමට නම් ඉතාලිය බලා හොරෙන් ඇදෙන බෝට්ටුවක් තුළ සේලයින් වතුර බොන්නට සිදුවන ආත්මයකට මෙන්ම කලපුවේ ජීවත් වන, ඌරන් මරන, ධීවර රස්සාව කරන , ලුනු හදන, ඔප්පාරි ගයන ආත්මයකටද ලුර්දු මාතාව හමුවීමට, පෙනීමට, පෙන්වීමට හැකිවිය යුතුය. ඔවුන් සියල්ලන්ටම හමුවිය යුත්තේ එකම ලුර්දු මාතාවකි. ලුර්දු ගුහාවන් වෙනස් වුවද ඒ එකම ලුර්දු මාතාව වියයුතු නොවේද? එය එසේ වන්නේ නම් ගොළුව සිටින මිකෙන්සියාලා දස දහස් ගණනකට කතා කරන්නට හැකිවනු ඇත. එය ප්‍රාතිහාර්‍යයක් යයි විශ්වාස කරන්නාට ස්වර්ගය කොපමණ දුරදැයි නොදන්නෙමි. එහෙත් එසේ වන්නට ඉඩකඩ තිබේනම් මහපොළව පවා ස්වර්ගීය හැඟුම් දනවන තැනකි.