‘රිදී’ – ප්‍රියන්ත කොඩිප්පිලි
සිනමාහලකට වැදී ඇඟිලි හතරක් කටේ දාගෙන විසිල් ගසමින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි සිනමාපට ආහ්ලාදයෙන් නැරඹූ අවසන් පරම්පරාව මගේ විය යුතු යයි සිතමි. අතේ සතේ නැති විටෙක සම්මාදමක් දමා හෝල් එකේ තුන් වෙනි බෙල් එක වදින තුරු හිඳ සිගරැට්ටුවක් ගන්නට බැරි නිසා බීඩියක්ද පත්තු කරගෙන කලුවරේම ගැලරියට රිංගා බෙල්ල කොරවෙන තුරු උඩ බලාගෙන බීඩි දුම විඳිමින් ගාමිණීට මාලනීට විජයට හුරේ දැමු යුගය අදටත් මල් හත ය. මගේ සගයන් අතරින් වැඩි දෙනෙක් ඒ යුගයේ ඉංග්‍රීසි සිනමාපට නැරඹුවේ අපට භාෂාව මෙලෝ බෝලයක් නොදැනෙද්දීය. අපි ඒ බලු පඩේකට නොතැකුවෙමු. ඒ අපේ අරමුණ වෙනත් එකක් වූ හෙයිනි. අපට ඉංග්‍රීසි සිනමාපටයක් වැදගත් වූවේ එය ‘ඇඩම්ස් ඔන්ලි නම්ය“. ඒ අරුතින් ලේඩි චැටර්ලීස් ලවර් අපිට ආතල්ය. අපේ අනෙක් වීරයා වූවේ බෘස් ලීය. ඒ සීව -ලී මාස්ටර් කුනුග් ෆූ ඉගැන්වීමේ ජගතා වූ අවධියයි. බෘස් ලී ගේ සිනමාපටයක් නරඹා සීව-ලී මාස්ටර් ගේ පංතියට ගොස් ලීගේ ඇඳුම අනුකරණය කර ඔහු දැමූ සපත්තුද දමාගෙන රැඟූ මිතුරෙක් එකල අපට සිටියේය. අවාසනාවට හාදයා දවසක්දා ටවුමේ වලියකට මැදි වූවේය. ඔහු දන්නා ශිල්ප දමා ඇටෑක් එකට සූදානම් වෙද්දී හතුරා කොහෙන්දෝ දෙකේ දෙකේ පොලු කෑල්ලක් අතට ගත්තේය. අපේ කුනුග් ෆූ වීරයා කාල් ලුවිස් මෙන් දුවගොස් නතර වූවේ පොලිසියේය. එදා ඌට පිහිට වුනේ ලී නොව ඔට්ටු සෙල්ලමය.
මේ අතීත මතක ඇවිලුණේ කොඩියාගේ රිදී කියවන්නට ගත් විටය. කොඩියා මට මතක් කළ තවෙකකු වූවේ එකල එනම් හැත්තෑව දශකයේ මට හමුවූ කවි කොලකාරයාය. ඔහු අපට දුන් ආශ්වාදයද සුළුපටු නොවේ.
කොඩී සිවුපද කවිය මනරම් ලෙස භාවිතා කරමින් නූතන ජනකවයෙකුව රිදී තිරයේ විවිධ අහුමුලු අපට ගෙනෙනුයේ නියම සිනමාකරුවෙකු පරිද්දෙනි. විටෙක එය නළුවෙකු නිළියක ගැනය. නැතිනම් අධ්‍යක්ෂකවරයෙකු ගැනය. විටෙක එය සිනමා හලක් ගැනය. එහිදී ඔහු ලංකාවෙන් බැහැරටද යයි. ජුහී චවුලා හමුවෙයි. ස්වර්ණා සොයා ගොස් විජය දැකගනියි. පතිරාජ ගැන ලියා සුමනා ගෝමස් සිහිපත් කරයි. අයි ස්පිට් ඔන් යුවර් ග්‍රේව් සිනමාපටය රහසේම බලා ඇගේ වෛරයට ගැරහූ රසිකයාට කොකා පෙන්නයි. කොඩීගේ කවිය ඔහුගේ ලියවිලි වලටත් වඩා රසවත්ය. ඒ නොමද උපහාසය මෙන්ම හැඟුම්බර බවද එහි පිරී ඇති හෙයිනි. ඔහු සිනමාව නම් විෂ්‍ය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරන්නෙකුට වුව මගහැර යානොහැකි කොලාජ් සිත්තමක් සිනමාව වෙනුවෙන් නිර්මාණය කරයි. ඔහු විජය ගැන සහ ඔහුගේ මරණය ගැන ලියන කවි පෙල විජය ගැන පමණක් නොව එකල පැවති සාමූහික ජීවිතයේ අවසන් ශේෂ පත්‍රය ගැනද අපට කියයි.
තේ හදනවා අල්ලනවා ගෙදර අය
කෑමට තිබේ බිස්කට් වැනි තවත් දෙය
පිරෙනව ටිකෙන් ටික එන අය නිසා ගෙය
ටීවී ළඟත් පොඩි පොඩි මළ ගෙවල් විය
බේරුවල තිබූ ග්‍රනාඩා නම් සිනමා හල අද සුපිරි වෙළඳ සැලකි. තවත් බෙහෝ සිනමාහල්වල ඉරණම එය ය. එහි ඇති අතීතකාමී ගතිය දැනෙනුයේ ඒ යුගයේ සිනමාහලක සමූහයක් ලෙස විසිල් ගැසූ අයටය. කොඩීගේ රිදී වදින්නේ එවන් මිනිසුන්ට බවද කිව යුතුය. කොඩී අයත් වෙන්නේ සිනමාහල සහ රූපවාහිණිය යන දෙකම සිනමාපට පෙන්න තැන ගත් යුගයට ය. කොඩීගේ කිව තුළ ඒ කතන්දරයද අපට දැකිය හැකිය.
ඔහුගේ පික්චර් පිස්සෙක් නම් කවිය කොඩීට හමුවුන සිරා පොරක් ගැනය.
කතාවේ රිද්මයට අතපයද උස්සා
ගැහී හරිබරි දෙදෙන කයියකට බැස්සා
කතාවට මුලපිරුවෙ ඔහු දෙවුර ගස්සා
ගමේ උන් නම් කිවුවෙ මට පිචර් පිස්සා
ඇත්ත, අපට පික්චර් පිච්චර් සහ පිචර් විය. කොඩීගේ කවිය සිනමාවේ ඇලී සිටි කවර අයෙකුට වුව තමන් සිටිනා ස්ථානයන්ගෙන් බැස විඳින්නට හැකි කවියකි. මට මේ කවිය සිහිපත් කළේ ලියනගේ අමරකීර්තිගේ පිච්චර් පිස්සා නම් කෙටි කතාවයි. ඔහු සිය කෙටි කතාවෙහිදී පිච්ච්ර් පිස්සකු හරහා තියුණු සමාජ විවෙචනයකට එයි.
කොඩීගේ විශේෂත්වය ඔහු සිය සිනමා චාරිකාවෙහිදී කිසිදු භේදයකින් තොරව සිනමාවේ සෑම පාර්ශවයක්ම ස්පර්ශ කිරීමයි. ඔහුගේ කවි නීල් මොරායස්, පතිරාජ, ලුවී වැන්ඩ්‍රස්ටාන්, හඳයා, ආදී වශයෙන් සෑම දෙනෙක්ම අපට මුණ ගස්වයි. එසේම සම්භාව්‍ය වාණිජ උසස් පහත් පීචං ආදී වෙනසක් නැත. ඒ සිනමා චාරිකාවකි. ඔබට ඇති භක්තිය පසෙක ලා එහි සරන්නට හැකිය. එහිදී පාඨකයා පිවිසෙන කවර රූපරාමුවක් වුව සිනමා ඉතිහාසයට අයත්ය.
කොඩීගේ ඇතැම් කවියක් සිනමාව සහ තම දිවියෙහි රසබර මතක සටහන් ගැනය. බ්‍රෝඩ්වේ යනු එවන් කවියකි. ඒ රූම් වෙනුවට හෝල් එකේ බැල්කනිය හෝ බොක්ස් සීට් අල්ලන්නට පොරකන යොවුන් වියයි. ඔහු ඒ අත්දැකීම අවසන් කරනුයේ සිනමාවේ ඛේදය ගැන අප අවධානය යොමු කරමිනි.
නරඹා හිතේ හැටියට සිනමා පටියක්
අපි පෙම් කෙලපු එය තව ක්‍රීඩා පිටියක්
පිච්චර් බලන්නට අද එහි නැත හැටියක්
ඇත්තේ බ්‍රෝඩ්වේ තිබු තැන ෆුඩ් සිටියක්
කොඩී විසින් රචිත රිදී යනු හුදු පුද්ගල අත්දැකීම් මත පදනම්වූ අතීතකාමී ස්මර්ණයන් ගොන්නක් ම නොවේ. එය සිනමා සැරියකි. එසේම ඔහු තම කවිය හරහා එක්තරා ආකාරයක සංරක්ෂණ කාර්යයක්ද කරයි. ඔහුගේ කවි සිනමා සංරක්ෂණවාදී ලියවිල්ලක් ලෙසද ගත හැකිය. පර්යේෂකයෙකු සමීක්ෂකයෙකු යන මේ කවරකු හෝ මහත් වෙහෙසක් විඳ තොරතුරු රැස් කර සකසනා ලියවිල්ලක මෙන්ම මේ කවි වලද වටිනාකමක් තිබේ. විශේෂයෙන්ම ඊට සිනමා ප්‍රේක්ෂාගාරයේ සිටි කවර තරාතිරමක වුව රසිකයකු වෙත සමීපවීමේ හැකියාව තිබේ. කොඩී තුළ ඉන්නා සිනමා ලෝලියා, රසිකයා, ඇබ්බැහියා, අතීතයට අයත්ව ඇති වර්තමානයේ මතක බණක් මෙන් වරින් වර මතුවන ලාංකීය සිනමාව ගැන සිය කවි හරහා සුවඳ පැන් ඉසියි.
යුගයක් තිබුණි සිංහල සිනමාවෙ කොඩී
මුළු රට පුරා ලෙල දුන් පා තිරේ එඩී
සැලෝලයිඩ් පටයට පෑ පෙමින් දැඩී
ලියන උඹට හැමදා ආදරෙයි කොඩී