කියපු දේවල් මොකුත් නෑ : හේතුවක් නොමැතිව නඩුව පවත්වාගෙන යනවාද? : මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට අවවාද !

Share post:

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳ තරයේ අවවාද කිරීමට අලුත්කඩේ අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කටයුතු කළාය.

එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ නඩුව පෙරේදා (29) විභාගයට ගත් අවස්ථාවේ මෙම අවවාද කිරීම සිදු විය. මෙම සිදුවීමට අදාළ තවත් සැකකරුවන් ඇති බව පොලිසිය පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණද, මාසයක් යනතුරු සැකකරුවන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණේ නැත.

ඉදිරිපත් කිරීමට තවත් සැකකරුවන් සිටී නම් ඉදිරිපත් කරන ලෙසත්, හේතුවක් නොමැතිව නඩුව පවත්වාගෙන යෑමෙන් ඵලක් නොමැති බවත් මෙහිදී පොලිසියට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

නඩුව යළිත් ඔක්තෝබර් 24දා කැඳවීමට නියමිත ය.

තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටියාය.

සිදුවීම සහ පහරදීම

පසුගිය ජුලි 28දා කම්කරු අරගල මධ්‍යස්ථානයේ විරෝධතා පාගමනක් වාර්තා කරන අතරතුර බොරැල්ල පොලිසිය මගින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනු ලැබිණි. අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට පහර දී තිබූ අතර, ඉන්පසු බොරැල්ල පොලිසියට රැගෙන විත් තිබිණි.

පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ලකරමින් සිටියදී එය වාර්තා කිරීමට මාධ්‍යවේදියා උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට බැණ වදිමින් පොලිස් ජීප් රථයක් අසලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් ය.

බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් මුලදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිස් ඇප ලබාදෙන බව පැවසුවද, පසුව දැනුම් දී තිබුණේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි. එහෙත් ඔහුට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කරන ලද්දේ ද අවසාන මොහොතේ ය. පොලිසිය හිසට කළ පහරදීම් නිසා ඔහුගේ ඇසකට ද හානි සිදු වී තිබිණි.

ඔහු රෝහල්ගත කරන ලෙස කරන ඉල්ලීම් ද පොලිසිය විසින් මුලදී නොසලකා හරින ලදි.

තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස අවධාරණය කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් ද යොමුකරන ලදි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.


මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම

විරෝධතාවක් අතරතුරදී සටහන් රේඩියෝහි අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී, අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි පිළිකුලෙන් හෙළාදකිමු.
මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදී සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේදී ද හිසකෙස්වලින් ඇද වධහිංසාවට භාජනය කරනු වීඩියෝ සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. එසේම ජිප් රියේදී පොලිසිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිසට ප්‍රහාරයක් එල්ල කර ඇත.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවලදී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත ය.
කෘර, අමානුෂික සහ අවමන්සහගත හැසිරීම්වලින් මිදීමට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබිය දී, ශ්‍රී ලංකා පොලිසිය තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදකි.
තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්නේ ඔහු ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී වන අතර මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. මාධ්‍යවේදියක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසකි.
එසේ තිබියදී කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.
එසේ හෙයින්, තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.
ස්තූතියි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.
[email protected]

පිටපත්

1) සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව
2)
සභාපති, ජාතික පොලිස් කොමිසම
3)
නියෝජ්‍ය පොලිස්පති, පොලිස් නීති කොට්ඨාසය

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...