නීතිපති නියෝගයෙන් ශවේන්ද්‍ර සිල්වා ගැන සීඅයිඩියෙන් විශේෂ විමර්ශනයක් : හිටපු හමුදාපතිවරුන්ගේ වාර්තාවේ අරමුණ කුමක්ද ?

Share post:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

2022 මාර්තු සිට මැයි 09 දක්වා කාලය තුළ රටේ සිදු වූ සිදුවීම් සහ මැති-ඇමතිවරුන්ගේ නිවාස ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි සහ කඩිනම් නියෝග ලබානොදීම ඇතුළු චෝදනා කිහිපයක් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී තිබේ.

හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත වූ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සභාපතිත්වය දරන ලද කමිටුවක් මගින් මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වූ අතර, එහි වාර්තාව නීතිපතිවරයා වෙත බාරදෙන ලදි. එම විමර්ශන කමිටු වාර්තාව මගින් එවකට යුද හමුදපති ධුරය දැරූ ශවේන්ද්‍ර සිල්වා වගකිවයුත්තෙකු බවට පත්කර තිබිණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් පොලිසියට නියෝග කර ඇත්තේ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසයි.

අභියාචනාධිකරණයේදීත් !

හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉතා බරපතළ ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇති බව 2023 පෙබරවාරි 24දා අභියාචනාධිකරණයේදී ද චෝදනා කෙරිණි. හිටපු යුද හමුදාපතිවරයා 2022 මැයි 09 හා 10 දිනවල රට පුරා සිදුවූ නිවාස සහ දේපොළ ගිනිබත් කිරීම් සහ අපරාධ පිළිබඳ ඍජුව වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබේ. එම ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගැනීම, අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අසල ආරක්ෂක තත්ත්වය පාලනය කිරීමට පියවර නොගැනීම මෙන්ම එයට පෙර මිරිහානේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසල ඇතිවූ කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට අපොහොසත් වීම පිළිබඳව ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා එල්ල වූයේ අදාළ සිදුවීම්වලදී සන්නද්ධ හමුදාව හා රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු ලැබූ අඩුපාඩු හා දුර්වලතා සොයාබැලීමට පත් කළ විමර්ශන කමිටු වාර්තාව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මෙම වාර්තාව ඉදිරිපත් කළ කමිටුවේ සභාපතිවරයා වූයේ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ ය. මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

මෙම සිදුවීම්වලට අදාළ වගඋත්තරකාර නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු 34 දෙනකු ගොනුකර තිබූ පෙත්සමක් 2023 පෙබරවාරි 24දා අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවරුන් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම විමර්ශන වාර්තාව නඩුකරය සඳහා අවශ්‍ය බව පැමිණිල්ලේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කෙරිණි.

වාර්තාව

එම වාර්තාවේ ඉදිරිපත් කර තිබූ ප්‍රධාන නිරීක්ෂණ සහ නිගමන කිහිපයක් මෙසේ ය.

‘සන්නද්ධ හමුදා අණදෙන ප්‍රධානියා දුන් නියෝග සහ උපදෙස් ද පසුව ආරක්ෂක ලේකම්වරයා දුන් නියෝග ද වැඩ බලන මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන්ට නිසි වෙලාවට දැනුම් දී නැත. වැඩිදුරටත් සඳහන් කරන්නේ නම් ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි උපදෙස් සපයා නැත. එය රාජකාරිය හිතාමතාම පැහැර හැරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවට, මහජන දේපළවලට හා පුද්ගලයන්ට හානි සිදුවීම වළක්වා ගත නොහැකිව තිබුණු බව සනාථ වෙයි.

ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ අරලියගහ මන්දිරයේ, විශේෂයෙන් අගමැතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඒ මොහොතේ අරලියගහ මන්දිරයේ සිර වූ කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ජීවිත බරපතළ තත්ත්වයකට පත්වීම ය. එමෙන්ම අගමැතිවරයාගේ තනතුරින් සමුගැනීමේ අවස්ථාවට සුබ පැතීමට පැමිණ සිටි විශාල ජනතාවක් අරලියගහ මන්දිරයේ සිරවී සිට ඇත.’

අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමේදී ඔවුන් විසුරුවා හැරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව අවවාදාත්මක වෙඩි තැබීම් සිදු කිරීමට කටයුතු කර තිබිණ. මෙය සිදු කර ඇත්තේ ගුවන් හා නාවික හමුදා ප්‍රධානීන් ඔවුන්ගේ අණ දෙන නිලධාරීන්ගේ මාර්ගයෙන් ඍජු නියෝග නිකුත් කිරීමෙන් පසුව බවද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පෙන්වා දෙයි.

එකිනෙකට පරස්පර උපදෙස් මාලා දෙකක් නිකුත් කිරීම මෙන්ම සන්නද්ධ හමුදාවේ අණ දෙන ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ උපදෙස් සහ මැර ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දුන් ඍජු නියෝග නොසලකා හැර දැමීම, තමා පෞද්ගලිකව නියෝග කරන තුරු හමුදා ඛණ්ඩ නොයොදවන ලෙස යුද හමුදාපතිවරයා ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන්ට දැනුම් දීම, හමුදා ඛණ්ඩ යෙදවීමට නියෝග නිකුත් කිරීම පස්වරු 6.30 – 6.45 අතර කාලසීමාවේදී සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයන්ගේ දේපළවලට හානි සිදුවීමෙන් වළක්වා ගැනීමට පොලිසියට සහාය දීමට තිබූ කාලසීමාව අහිමි කිරීම ද එහි සඳහන් විය. එසේම බොහෝ ස්ථානවලදී යුද හමුදාව අවශ්‍ය බලය අවම ලෙස භාවිත කිරීම, හමුදාව සිටි ස්ථානවල පාලනය මැර කණ්ඩායම් සියතට ගැනීම නිසා නිවාසවලට හා දේපළවලට සිදුවූ හානිය ඉහළ යාම ආදී කරුණු ගණනාවක් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මෙම වාර්තාවේ දක්වා තිබිණි.

එසේම 2022 මාර්තු 05 දින මිරිහාන, පැඟිරිවත්ත පාරේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහෙයවූ විරෝධතාව පිළිබඳ ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලබාගත් තොරතුරු මුළුමනින්ම විමතිය දනවන සුළු වූ බව ද කමිටු වාර්තාව පෙන්වා දී තිබේ. පසුව හෝ එවැනි තත්ත්වයක් හටගැනීම වැළැක්වීමට ඉක්මන් සැලසුම් සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසු දින ම සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණද එම සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව ද වාර්තාවේ සඳහන් ය. එයට හේතුව මිරිහාන ප්‍රදේශයට හමුදා අනුඛණ්ඩ ස්ථානගත කිරීමේදී සිදුවූ අනවශ්‍ය ප්‍රමාදය බව ද වාර්තාව අවධාරණය කර ඇත.

මැයි 9දා සිදුවූ පෞද්ගලික දේපළවලට හානි කිරීම් සහ නිවාස ගිනි තැබීම් පිළිබඳ කමිටුවේ අදහස වන්නේ හමුදා ඛණ්ඩ යෙදවීමට නියෝග කිරීම එදින පස්වරු 6.30 – 6.45 දක්වා ප්‍රමාද කිරීම නිසා දේශපාලනඥයන්ගේ නිවාසවලට හා දේපළවලට හානි කිරීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගොස් ඇති බවය.

එසේම ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී ඇති තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔහු 2022 මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිදුවීම් පිළිබඳ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. ඔහු පුවත්පතට එම ප්‍රකාශය කළේ ඒ පිළිබඳ විමර්ශන කණ්ඩායම පරීක්ෂා කරමින් සිටියදී වන අතර, එය මණ්ඩලයේ කටයුතු යටපත් කිරීමට බලපෑම් කිරීමට ගත් උත්සාහයක් බවට පරීක්ෂණ කමිටුව චෝදනා කරයි. ඔහු සාකච්ඡාව දුන් දින කොළඹට යොදවා සිටි එයා මොබයිල් බ්‍රිගේඩයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා පරීක්ෂණ කමිටුවට දුන් පිළිතුරුවලට එයින් යම් බලපෑමක් ඇතිවූ බව ඔවුන්ගේ අදහස වේ. එයට හේතුව එම නිලධාරීන් දුන් සාක්ෂිවලට ජනරාල්වරයා පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවේ ප්‍රකාශ යම් ලෙසකට බලපෑම් සිදුවූ බව පෙනී යාමය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...