රටක නීතිය ප්‍රධාන ගුණාංග දෙකකින් සමන්විත විය යුතු ය. ඒවා නම්:
- නීතිය යාවත් කාලීන කර අනෙකුත් නීති හා නොගැටෙන පරිදි කෙටුම්පත් කිරීම: සහ
- එසේ කෙටුම්පත් කරන ලද නීති ක්‍රියාත්මක කිරීමට මනා ලෙස සංවිධානය වූ ආයතන පද්ධතියක් පැවතීමයි.
ශ්‍රී ලංකාවේ ළමා අපචාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ ජාතික ළමාරක්ෂක අධිකාරිය ද ඇතුළුව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන පද්ධතිය වෙත විශාල මහජන අවධානයක් යොමු වී තිබේ. එකී ආයතනවලට බඳවා ගන්නා ආකාරය, භෞතික හා සන්නිවේදන පහසුකම්වල ප්‍රමාණවත්භාවය මෙන් ම නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඊට ඇතුලත් ය. කෙසේ වුවද, මෙහි දී පෙනී යන එක් කරුණක් වන්නේ ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිවල පවතින හරයාත්මක දුර්වලතා ද මෙරට ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි ඍණාත්මකව බලපා ඇති බවයි. ඒ අනුව මෙම ලිපිය:
- ශ්‍රී ලාංකීය නීතිය තුළ ‘ළමයා’ යන්න ට ඇති අර්ථ නිරූපණය සංකීර්ණ වීම: සහ
- ළමා ආරක්ෂාව හා සුභසිද්ධියට අදාලව එකිනෙක හා නොගැලපෙන අන්දමින් ක්‍රියාත්මක වන පනත් ගණනාවක් පැවතීම:
යන කාරණා අප නීතිය තුල පවතින ප්‍රධානතම හරයාත්මක ගැටළු දෙකක් බව මෙරට අපරාධ නීතිය සහ කම්කරු නීතිය තුල ළමයා අර්ථ නිරූපණය කර ඇති ආකාරය ඇසුරෙන් පෙන්වා දෙයි. ඉන් අනතුරුව, ඉහත කී ගැටළු හේතුවෙන් ‘ළමයෙකු’ ලෙස සමාජ ආරක්ෂාව ලැබිය යුත්තේ කුමන වයස් කාණ්ඩවල පසුවන්නන්ටද යන්න පිලිබඳ අවිනිශ්චිතතාවක් සමාජය තුල ජනිත කරන බවත්, ළමුන් සම්බන්ධව එකම නීති ක්ෂේත්‍රයකට අදාලව පනත් කිහිපයක් සම්පාදනය කර තිබීමෙන් නීතියට පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව අභියෝගයට ලක්වන බවත් පෙන්වා දෙයි.
එක වචනයක්: අර්ථ නිරූපණ රැසක්
ළමුන්ට සංවේදී කාරණාවන් අරබයා ‘ළමයා’ යන්න විවිධ අන්දමින් අර්ථනිරූපනය කිරීම මෙරට නීතිය තුළ අවිනිශ්චිත බවක් නිර්මාණය කර තිබේ.
පනත | ආවරණය කෙරෙන නීති ක්ෂේත්රය | ළමයා සම්බන්ධව දක්වා ඇති වයස් සීමාව |
1998 අංක 50 දරන ජාතික ළමාරක්ෂක අධිකාරී පනත | ජාතික ළමාරක්ෂක අධිකාරියේ ආරක්ෂාව ලැබීම | අවුරුදු 18 |
1989 අංක 17 දරන පූර්ණ වයස් (සංශෝධන) පනත | පූර්ණ වැඩිහිටියෙකු බවට පත් වීම | අවුරුදු 18 |
1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත | අධ්‍යාපනය ලැබිය යුතු අවම වයස් සීමාව | අවුරුදු 14 |
1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනත | ළමා ආරක්ෂාව සහ ළමා වරදකරුවන් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම | අවුරුදු 14 ට අඩු අයෙකු ළමයෙකු ලෙසත් 14-18 අතර අයෙකු තරුණයෙකු ලෙසත් දක්වා තිබේ |
1882 අංක 2 දරන දණ්ඩ නීති සංග්‍රහ පනත | · අසභ්‍ය ප්‍රකාශන සඳහා ළමුන් යොදා ගැනීම (286(අ) ) · දරුණු ලෙස සැලකීම (308(අ) ) · ලිංගික අපයෝජනය (360(ආ) ) · කුට්ටනය (මිනිස් වෙළඳාම (360(ඇ)) · බරපතල ලිංගික අපයෝජනය 365(ආ) යන වගන්ති | අවුරුදු 18 |
ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත ලබා දිය හැකි වයස් සීමාව (364) වගන්තිය | අවුරුදු 16 | |
සිතා මතා අපරාධයක් කළ හැකි අවම වයස (75 හා 76වගන්ති) | අවුරුදු 12 | |
1956 අංක 47 දරන කාන්තාවන්, තරුණ අය සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත | විවිධ රැකියාවන් හී ළමුන් යෙදවිය හැකි අවම වයස් සීමාවන් | අවුරුදු 14 |
ඉහත වගුව නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නේ විවිධ පනත් තුළ මෙන් ම ඇතැම් විට එකම පනත තුළ ද ළමයා යන්න විවිධ වයස් සීමාවන් යටතේ අර්ථ නිරූපණය කර ඇති බවයි. මෙහි ආසන්නතම ප්‍රතිඵලය වන්නේ ළමයෙකු ලෙස සමාජයේ ආරක්ෂාව සහ අවධානය සැබවින් ම යොමු විය යුත්තේ කා හට ද යන්න අපැහැදිලි වීමයි.
එක් මාතෘකාවක් : පනත් රාශියක්
ඉහත දැක්වූ පනත් කිහිපයට අමතරව ශ්‍රී ලංකාව තුල ළමා සුබසාධනය සහ ආරක්ෂාවට ඍජු ලෙස ම අදාල වන පනත් ගණනාවක් ක්‍රියාත්මක වේ. ඒ එක් එක් පනත්වල ප්‍රතිපාදන සලකා බැලීමේ දී පෙනී යන්නේ ඒ අතුරින් බොහොමයක් නීති අද වන විට යල් පැන ගොස් ඇති බවයි. එමෙන් ම එකී නීති ළමයා යන්න විද්‍යාත්මක පදනමකින් හඳුනාගෙන නොමැති බවද දක්නට ලැබෙන්නකි.
එකම පනත තුල පවතින පරස්පරතාවන්ට හොඳ ම උදාහරණය ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළ ළමුන්ට එරෙහි අපරාධ නිර්වචනය වී ඇති ආකාරය පෙන්වා දිය හැකි ය. වගුවේ දක්වා ඇති අන්දමින් ම, අසභ්‍ය ප්‍රකාශණ සඳහා ළමුන් යොදා ගැනීම, දරුණුු ලෙස සැලකීම, ලිංගික අපයෝජනය, කුට්ටනය, බරපතල ලිංගික අපයෝජනය යන වරදවල් සඳහා ළමුන් ගොදුරු කිරීම අපරාධ ලෙස සලකන අතර එහි දී ‘ළමයා’ යන්නට වයස අවුරුදු 18ට අඩු පිරිමි හෝ ගැහැණු දරුවෙකු අදහස් වේ. ඊට අමතරව, එම පනතේ ම 364(2) වගන්තිය අනුව වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඇය හා ලිංගිකව එක්වීමට කටයුතු කරන්නෙකු ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන වරද සිදු කරයි. කෙසේ වුවද, වයස අවුරුදු 12ට වැඩි 16ට අඩු ගැහැණු දරුවෙකු ඇයගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා හා ලිංගිකව එක්වීමේ දී එය අපරාධයක් වන්නේ නැත. මීට හේතුව වන්නේ ගැහැණු ළමයෙකු වයස අවුරුදු 12 සම්පූර්ණ කළ පසු කාතිවරයාගේ විශේෂ අවසරය මත විවාහ කළ හැකි බවට 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මඟින් ප්‍රතිපාදන සලස්වා තිබීමයි. මෙය ‘ළමයා’ යන්නට ලබා දී ඇති විද්‍යාත්මක නිර්වචන මත නොව ආගමික පදනමක් මත පමණක් තීරණය කෙරෙන බව පැහැදිලි ය.
ඉහත දණ්ඩ නීති සංග්‍රහ ප්‍රතිපාදනයෙහි ඇති දෙවන ගැටලුව වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කළ කාන්තාවකට සිය ස්වාධීන කැමැත්ත මත ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමට නීතියෙන් අවසර හිමිවන බව හැඟවීමයි. එසේ වුවද, මෙරට සාමාන්‍ය විවාහ නීතිය සහ උඩරට විවාහ නීතිය තුළ විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 ලෙස දක්වා තිබීමෙන් මුස්ලිම් විවාහ නීතියෙන් පාලනය නොවන කාන්තාවකට වයස අවුරුදු 16 සිට 18 අතර අදාලවන නීති තත්වය අපැහැදිලි ය.
එමෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ 364(2)(ඉ) වගන්තිය මඟින් වයස අවුරුදු 18ට අඩු කාන්තාවක දූෂණය කිරීම අපරාධයක් ලෙස දක්වන නමුත් එතුළින් වයස අවුරුදු 18ට අඩු පිරිමි පුද්ගලයන් ආවරණය කරන්නේ නැත. එනම්, වයස අවුරුදු 18ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා අදාළ වන්නේ බරපතල ලිංගික අපයෝජනයට අදාළ ප්‍රතිපාධන පමණි.ඒ අනුව මෙරට අපරාධ නීති සම්පාදකයන් ළමයා යන්න ජාති, ආගම්, හෝ ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව හඳුනා ගැනීමට අසමත්ව ඇති බව දක්නට ලැබෙන්නකි.
ළමුන්ව කම්කරු සේවයේ යෙදවීම සම්බන්ධ නීති තත්වය ද සංකීර්ණ ස්වභාවයක් ගනී. 1956 අංක 47 දරන කාන්තාවන්, තරුණ අය සහ ළමුන් සේවයේ යෙදවීම පිලිබඳ පනතේ 2වගන්තිය අනුව වයස අවුරුදු 18ට අඩු කිසිඳු තැනැත්තෙකු රාත්‍රී සේවයේ යෙදවිය නොහැක. කෙසේ වුවද, වයස අවුරුදු 16ට වැඩි ළමුන් කාර්මික පුහුණුව සඳහා කර්මාන්තශාලා ආශ්‍රිතව සේවයේ යෙදවීමේ හැකියාව එම පනත මඟින් ලබා දී තිබේ. එමෙන් ම, එහි 20වන වගන්තිය අනුව වයස අවුරුදු 16ට වැඩි තැනැත්තෙකු නිසි බලධාරියාගෙන් ලබා ගන්නා විශේෂ අවසරය මත අවධානම් සහගත රැකියාවන් හී වුවද යෙදවිය හැකි ය. ළමයෙක් නාවික සේවයේ යොදවන්නේ නම්, ඒ සඳහා වන අවම වයස් සීමාව දැක්වෙන්නේ අවුරුදු 15ක් වශයෙනි.
මීට අමතරව, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනතට අනුව වයස අවුරුදු 14ත් 18ත් අතර තැනැත්තන් සේවයේ යෙදවිය හැකි ය. 1973 අංක 4 දරණ පතල් හා ඛනිජ සම්පත් නීතිය දක්වන්නේ කම්කරු අමාත්‍යාංශය නියම කර ඇති අවදානම් සහගත රැකියා කොන්දේසි සපුරන්නේ නම් පමණක් වයස අවුරුදු 16ට වැඩි ළමුන්ට පතල් ආශ්‍රිතව සේවය කල හැකි බවයි. එමෙන් ම, 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන පිරිමි ළමුන් පමණක් පෙරවරු 6ත් පස්වරු 6ත් අතර සේවයේ යෙදවීමට අවසර ලබා දී තිබේ. කෙසේ වුව ද,මෙරට ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් පනතක් ලෙස සැලකෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 39 වගන්තිය යටතේ ළමා අපයෝජනය යන්නට , ඇතුළත් වන්නේ ඉහත සාකච්ඡා කළ කම්කරු නීති අතුරින් ‘ළමුන් හා තරුණ අය සේවයේ යෙදවීම පිලිබඳ පනත’ යටතේ සිදු කරන උල්ලංඝනයන් පමණි.
නිගමනය
විවිධ නීති යටතේ ළමයා යන්න තීරණය කෙරෙන වයස් සීමාව අවුරුදු 12, 14, 15, 16 සහ 18 අතර විචලනය වේ. එසේ ම, මෙරට නීති සම්පාදකයන් ළමයා යන්න ජාති, ආගම්, හෝ ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව හඳුනා ගැනීමට අසමත්ව ඇති බව දක්නට ලැබෙන්නකි. මෙය ‘ළමයෙකු’ ලෙස සමාජ ආරක්ෂාව ලැබිය යුත්තේ කුමන වයස් කාණ්ඩවල පසුවන්නන්ටද යන්න පිලිබඳ අවිනිශ්චිතතාවක් සමාජය තුළ ජනිත කරන අතර ම නීතියේ ආරක්ෂාව පැතීම සම්බන්ධව ළමුන්ට නිසි මාර්ගෝපදේශයක් ලබා දීමට ඇති අවස්ථාව ද මඟහරවයි. අනෙක් අතට ළමුන් සේවයේ යෙදවීම වැනි ඉතා වටිනා නීති ක්ෂේත්‍රයකට අදාලව පනත් කිහිපයක් සම්පාදනය කර තිබීමෙන් නීතියට පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව අභියෝගයට ලක් වේ.
ඒ අනුව මෙය ළමුන් සම්බන්ධව ක්‍රියාත්මක වන ආයතන පද්ධතිය තුළ පවතින කාර්යපටිපාටික දුර්වලතා මෙන් ම (සමහර විට ඊටත් වැඩියෙන්) ළමා ආරක්ෂාව සම්බන්ධව ඍණාත්මකව බලපෑ හැකි බව පෙන්වා දිය හැකි ය.
- නීතිඥ සුපුන් ජයවර්ධන
(www.veriteresearch.org)