සුධර්මා නෙත්තිකුමාර නිවසේ සේවය කළ රාජ්කුමාරි ඝාතනය : පහරදීමෙන් සිදු වූ මරණයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි සීඅයිඩියට නියෝගයක් !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් මෙය මොට ආයුධයකින් පහරදීමෙන් සිදු වූ මරණයක් බව අධිකරණය තීන්දු කළේය.

පසුගිය 25දා මෙම මරණයට අදාළ තීන්දුව ලබාදෙමින් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මීට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මංජුල පතිරාජ, නාමල් රාජපක්ෂ, සේනක පෙරේරා, ප්‍රබෝධ රත්නායක, ජෙයරත්නරාජා තම්බයියා, ධනුෂ්ක සිල්වා, ස්වස්තිකා අරුලිංගම් යන නීතිඥවරු වින්දිත පාර්ශ්වය වෙනුවෙන් දිගටම පෙනීසිටියහ.

මේ අතර වැලිකඩ පොලිස් ස්ථානයේදී අදාළ කාන්තාවට පහරදීමට යොදාගත් බවට සැකකෙරෙන රබර් බටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර නඩුවාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එසේ ම මියගිය කාන්තාව අවසන් වශයෙන් සේවය කළ බව පැවසෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි නිවසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අජිත් විජේසේනගෙන් පසුගිය ජූලි 26දා සාක්ෂි ලබාගැනිණි.

අත්අඩංගුවට ගැනීම

‘මම ඒ ගෙදර ආරක්ෂක නිලධාරියා වශයෙන් වැඩ කරනවා. මැයි මාසෙ 11 වැනිදා වැලිකඩ පොලීසියේ නිලධාරීන් දෙන්නෙක් මම වැඩ කරන ගෙදරට ආවා. සිවිල් ඇඳුමෙන් තමයි ආවෙ සුදු පාට කාර් එකකින්. මුලින්ම එක නිලධාරියෙක් ගෙදරට ආවා. ඇවිල්ලා කුමාරි කියලා කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම කිව්වා ඉන්නවා කියලා. හොරකමක් සම්බන්ධයෙන් එයාව අපි හොයනවා කියලා පොලිස් නිලධාරියා කිව්වා. මම ඒ අයව මැඩම්ට සම්බන්ධ කළා. පොලිස් නිලධාරීන් දෙන්නා රාජකුමාරිව එක්ක ගියා. එයාව එක්කරගෙන යන වෙලාවෙ කාන්තා පොලිස් නිලධාරිනියන් හිටියෙ නෑ. දවල් 12.10ට විතර තමයි අරන් ගියෙ.’ යනුවෙන් මෙහිදී සාක්ෂිකරු ප්‍රකාශ කර තිබිණි.

අමානුෂික ලෙස පහර දීම

මේ අතර පසුගිය ජුනි 21දා විවෘත අධිකරණයේදී සාක්ෂි දෙමින් ආර්. රාජ්කුමාරි ව ගෘහ සේවිකාවක ලෙස නෙත්තිකුමාරගේ නිවෙසට යොමු කළ මහේන්ද්‍රන් සුරේෂ් පවසා තිබුණේ පොලිස් නිලධාරීන් ඇයට අමානුෂික ලෙස පහර දුන් බවයි. තමන් ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු බව ද ඔහු පවසා තිබිණි.

නෙත්තිකුමාරගේ නිවසේ සේවය ජක තවත් කාන්තාවක මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කර ගැනීමෙන් පසු කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසා ඇත. තමන් ද ජීප් රථයේ නංවාගෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නෙත්තිකුමාරගේ නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්, ඇය ව එහිදී අත්අඩංගුවට ගත් බවත්, තමන් සහ රාජ්කුමාරිව එක ම මාංචුවක ආධාරයෙන් වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබේ.

වැලිකඩ පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී රාජ්කුමාරි මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත්, රැගෙන එන අතරවාරයේදී ඇය විසින් මුද්දක් සහ සුවඳ විලවුන් කුප්පියක් සොරා ගත්තාද යනුවෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත් සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

පොලිසිය වෙත රැගෙන ආ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බටයක් ආධාරයෙන් අමානුෂික ලෙස පහර දුන් බවත්, තමන්ට ද ඒ අයුරින්ම පහර දුන් බව‍ත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...