සිල්වර් ටිප්ස් – මලික් තුසිත ගුණරත්න
සිංහල සමාජයෙහි පවුලේ පියා හට කෙරෙනා ආමන්ත්‍රණයන් දෙකකි. පහතරට ප්‍රමුඛව පියා අමතනු ලබන්නේ තාත්තා යනුවෙනි. පියා හට කෙරෙනා අනෙක් ආමන්ත්‍රණය වනුයේ අප්පච්චී යන්නයි. බහුල වශයෙන් මෙය උඩ රට පලාත්හී දැකිය හැකිය. කෙසේ වෙතත් මේ ආමන්ත්‍රණයන් අතරින් අප්පච්චී යන්න මෑත කාලයේ වැඩියෙන්ම ජනප්‍රිය යෙදුමක් බවට පත්වූ අයුරු දක්නට ලැබිණි. ඒ කුටුම්භය අරභයා නොව දේශපාලන බිමෙහිය. එසේම එය භාවිතා කරන ලද්දේ එක් අතකින් උපහාසාත්මක සහ ගර්හාත්මක ලෙසිනි. අනෙක් අතින් විසල් සමාජයක පියාගේ භූමිකාව කෙලෙසා ඇති බවත් අප්පච්චී යනු යෙදුම අවභාවිතාවී ඇති බවත් හඟවනු පිණිසය.
දේශපාලනයේ අප්පච්චී කෙනකු යනු සුවිසල් පෞරුෂයක් හිමි පියෙකි. ඔහුගෙන් අපේක්ෂා කෙරෙනුයේ සමස්ත සමාජයෙහිම පීතෘ භූමිකාවට නිසි ගරුත්වය දෙමින් රටක් මෙහෙයවීමයි. එහෙත් අප සමාජයෙහි මේ පිය භූමිකාව දක්නට ලැබුණේද යන්න ගැන තිබුනේ බරපතල කුකුසකි. ජාතියක නැතිනම් රටක අප්පච්චී යනුවෙන් අබිසෙස් ලද දේශපාලන චරිතයක් අවස්ථාවාදී කුඩප්පා කෙනකු වන විට, ජනතාවගේ් පියා වෙනුවට ජනතාව අන්දන පියා බවට පත්ව තම පවුලේ අභිවෘද්ධිය ඒකායන මාර්ගය සේ තෝරාගන්නා විට සමාජයෙන් ඊට එරෙහිව නැගෙන විරෝධය දැඩි වෙයි. අප්පච්චී යන යෙදුම තියුණු උපහාසයක් දනවනු ලබනා දේශපාලන ශබ්ද කෝෂයට අයත් වදනක් බවට පත් වනුයේ එලෙසිනි.
මලික් තුසිත ගුණරත්න සිය නවතම කෘතිය වන සිල්වර් ටිප්ස් නවකතාවෙහි කේන්ද්‍රීඅය චරිතය බවට පත් කරනුයේ අප්පච්චී කෙනෙකි. ඒ අප්පච්චි යනු අදෘෂ්‍යමාන සේ පෙනෙනා තරම් බලයක් අභ්‍යාස කරන, තමන්ගේ මතයට ලෝකය පැවතිය යුතුය යන්න විශ්වාස කරන, පවුලෙහි බිරිඳ මෙන්ම දරුවන් යනු තම අණසක යටතේ පැවතිය යුතු භාණ්ඩ සේ සලකන, ව්‍යාපාරික ලෝකයෙහි අති සූක්ෂම මෙන්ම අතිශය කෛරාටික ඥාණයකින් හෙබි අප්පච්චි කෙනෙකි. මලික් ගේ නවකතාවෙහි සියළු චරිත ගැටගැසෙනුයේ මේ අප්පච්චි වටාය. එහෙත් චරිත අතරින් සජීවීව අඩුවෙන්ම මැදිහත් වන චරිතයද එයමය. එසේම මේ සිංහල බොදු මුහුණුවරක් දරන, සමන් දෙවි කෙරේ බැතිය පල කරන, සමාජයෙහි තීරකයෙකු සේ රඟන අප්පච්චි හට මලික් තබනා නම වෙස්ටන් ය. ඒ තියුණු උත්ප්‍රාසයක් දනවන නම් කිරීමකි. සමස්ත කතාවම දිගහැරෙනුයේ මෙ කියනා අප්පච්චිගේ බලපෑමෙහි ගොදුරු බවට පත් වන චරිතයන් තම පැවැත්ම තහවුරු කරගැනීමට දරනා උත්සාහයන් අතරිනි.
මලික් සිය කතාව පෙල ගැස්වීම පිණිස මාතෘකා සහිත කෙටි පරිච්ඡේද පෙල ගස්වයි. එසේම ඔහුගේ කතාව යනු කොලාජ්මය ගතියක් පල කරනා ඉදිරිපත් කිරීමකි. කතාවෙහි මුල් පිටු සියය පමණ හමාර වන තුරු කියවන්නා හට කතාව අල්ලා ගැනීමට අසීරු බවක් හැඟෙයි. එය කඩ කඩ අවස්ථා ඉදිරිපත් කිරීමකි.
එය එක් අතකින් අනතුරුදායක ව්‍යුහයකි. ඒ කියවන්නා උනන්දු සහගත පාඨකයෙකු නොවන්නේ නම් ඔහු කතාව අතහැර දැමීමට ඉඩ ඇති බැවිනි. එහෙත් මලික් භාවිතා කරනා භාෂාවේ ජීවී බව හේතුවෙන් ඔහු පාඨකයා අල්ලා ගැනීමට සමත්ව තිබේ.
බලය උදෙසාම වෙහෙසෙන, බලය වෙනුවෙන් අන් සියල්ලම පරදු තැබීමට දෙවරක් කල්පනා නොකරන, තමන්ට පාවිච්චි කළ හැකි කවරම දෙයක් වුව වෙනකක් තබා දරුවන් බිරිඳ පවා නොපැකිල එසේම කිසිදු විලියක්, බියක් නොමැතිව පාවිච්චි කරන මිනිසුන් පිරි සමාජයක පොදු චලිතය මලික් ගේ කතාවෙහි අඛණ්ඩ රිද්මය බවට පත්ව තිබේ. සියළු නපුරෙහි මූලය සේ අප්පච්චි ඉස්මතු කෙරෙතද මලික් ගොඩනංවන අනෙක් චරිත බොහොමයක් වෙසෙස් වෙනස් බවක් නොපෙන්වන, කවරාකාරයෙන් හෝ අප්පච්චිගේ චරිතයටම ආසන්න බව පෙනෙන සේ කතාව ගලා යයි. එසේම නූතන සමාජයෙහි සබඳතා යනු අන් කිසිවක් නොව මූල්ය නැතිනම් බල සබඳතා බවත් ආදරය, විවාහය යනුද තවත් එක් ගනුදෙනුවක් පමණක් බවත් සදාචාර හෝ මානුෂවාදී රාමු වලින් පිට පැනීම යනු කෙසේවත් ගර්හාවට පත්විය හැකි කාර්යයක් නොවන බවත් කතුවරයා සිය චරිත හරහා අපට දක්වා සිටියි. සමස්ත කතාවෙහිම ආදරය සහ මිනිස් සබඳතාවන්හී සළකුණු දකින්නට ලැබෙන්නේ වීරේ ග්‍රිසිල්ඩා සහ නිර්මලා වෙතින් පමණි.
මලික් ගේ නවකතාව විවිධ කලාප රැසක් හරහා කෙරෙන චාරිකාවකි. ඒ චාරිකාව තුළ පාඨකයා හට දැනෙනුයේ තමන් හොඳින් දන්නා බිමක එහෙත් දන්නේ යයි සිතුවද නොදන්නා අඳුරු කලාප බොහෝ පිරි මගෙක ගමන් කරන සැටියකි. පාවිච්චි වීම සහ පාවිච්චි කිරීම යන්න මේ කතාව පුරාම දැකිය හැකි ලක්ෂණයකි. විටෙක රහස් පරීක්ෂක කතාවක ලක්ෂණද ගැබ් වන සිල්වර් ටිප්ස් නවකතාව ඇතැම් ගුප්ත අහුමුලු නොවිසඳා ඉතිරි කරමින් පාඨක පරිකල්පනය කෙරේ විශ්වාසය රඳවා දිගහැරෙයි.
සිල්වර් ටිප්ස් සැහැල්ලු කියවීමකට ඉඩ තබනා නවකතාවක් නොවේ. එය දිගින් දිගටම පාඨක ඉවසීම සහ අවධානය ඉල්ලා සිටින්නකි. එසේම එය මා මුලින් සඳහන් කළ අප්පච්චි භූමිකාවෙහි ඇති බියකරු බවද සිහිපත් කරවන්නට සමත් නවකතාවකි. මලික් ගේ අදහස කුමක්දැයි නොදනිමි. මට නම් මේ නවකතාවෙහි සීමිත චරිත ගණනාවක ආධිපත්යටය පතුරන අප්පච්චි හමුව ඇත්තේ දේශපාලනයෙහිය. එහෙයින් මට දැනුනේ එකවර කතාවන් දෙකක් කියවන සැටියකි.