‘මේ සියලුම සිද්ධිවල හිටියෙ මම නෙමෙයි, චීත්ත ගවුම් කොටයක් ඇඳගත්තු භීත වෙච්ච මූණක් තිබුණු පුංචි ළමයෙක් !’

Share post:

අගෝස්තු 26වෙනිදා පෙරවරු 10.30ට කලුබෝවිල විදර්ශන පොත් මැදුරේදී කුමුදු කුමාරසිංහගේ ‘කොළඹ කතාව’ කෘතිය ජනගත කිරීම සිදු වූ අතර අදහස් දැක්වීම නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර සහ කල්‍යානන්ද පෙරේරා විසින් සිදුකරන ලදී. ප්‍රදීප් ජයරත්නගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද ‘කොළඹ මතක’ ජනගත වීමේදී අවසානයේ ස්තුතිය පළකරමින් කුමුදු කුමාරසිංහ මෙලෙස පැවසීය.

කුමුදු කුමාරසිංහ..

2021 දෙසැම්බර් ඉදලා මේ දක්වා මම හිටියෙ ජනක දිහා බලාගෙන. ඒ බලා හිදීම ලේසි නැහැ. කොහොමත් බලා හිදීම කියන එක ලේසි නැහැ.
පැමින සිටින හැමෝටම ස්තූතියි. සන්තෝෂයි ඔබේ පැමිනීම ගැන. මං හිතන්නෙ මේක මට දක්වන ආදරයේ කොටසක් හැටියට. මම ඒක බාරගන්නෙ එහෙම.

අවුරුදු පනහක් කියන්නෙ ලේසිපහසු කාලයක් නෙමෙයි. විශේෂයෙන් අපි වගේ කාන්තාවන්ට. මූන දෙන්න වෙන තත්ත්වයන් ලේසි නැහැ. මේ කාලය තුල මට ඉතා අසීරු තැන් හරහා ගමන් කරන්න වුනා. අසීරු තැන් පහුකරන්න වුනා. ඒ අතර සියදිවි හානි කරගන්න හිතුනු මොහොතවල් තිබුනා.
මේ එක්කම මගේ කසාදය ගැනත් කතා කරන්න ඕනෙ. එදා මම ඒ තීරනය ගත්තෙ තව ජීවිතයක් වෙනුවෙන්. මනුස්සයෙක්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන්. මනුස්ස ජීවිතයක වටිනාකම වෙනුවෙන්. ඒ මං කරපු කිරියාව ගැන මට සතුටුයි. නමුත් ඒක නිසා මට ගෙවන්න වුනු වන්දිය සුලුපටු නැහැ. මට විදින්න වුනු චෝදනා, නින්දා, අපහාස සුලුපටු නැහැ. ඉතාම දුෂ්කර මාවත් ඔස්සේ දුෂ්කර කාලපරිච්චේදයක් තමයි ගෙවන්න සිදුවුනේ. ඒ එක්කම මම ඔබට යෝජනාවක් කරනවා. ඔබ අසලම ඔබ ලගින්ම ඉන්න පුද්ගලයා ගැහැණියක් හෝ පිරිමියෙක් වේවා හොදින්ම බලන්න. සමහරවිට එයාට ඔබේ උදව් අවැසි ඇති. එයා ඉන්නෙ ආතතියෙන් වෙන්න පුළුවන්. චුට්ටක් අතින් අල්ලලා ඔබ හොදින්ද, ඔබට මගේ උදව් අවශ්‍යද අහන්න. මුකුත්ම නොකර ඉන්නවට වඩා එයාට ඒකත් වටිනවා.

පොත ගැන කතාවට ආවොත්. මට ලියන්න ඕනෙ වුනා මගේ අම්මා ගැන. අම්මා ගෑනු දරුවො හයදෙනෙකුත් අරගෙන ගෙදරින් එලියට බහින එක. තාත්තගෙන් වෙන්වෙලා එලියට එන එක. මට හිතාගන්න බැහැ අම්මා බාරගත්තු ඒ චැලෙන්ජ් එක. ඒ මොහොතෙ අම්මා හිතුවෙ මොකද්ද කියලා මම අදටත් දන්නෙ නැහැ. මම කවදාවත් අම්මගෙත් ඒ ප්‍රශ්නය අහල නැහැ. අම්මට ජීවිතය ලේසිවුනේ නැහැ කියලා මම දන්නවා. සහ මම දැක්කා. ඒ නිසාම මට අම්මා ගැන ලෝකෙට කියන්න ඕනෙ වුනා. ඒ එක්කම කියන්න ඕනෙ මොනතරම් කරදර මැද්දෙ වුනත් මම ලස්සන ලමා කාලයක හිමි කාරියක් කියලා.

මේ සියලුම සිද්ධි වල හිටියෙ මම නෙමෙයි චීත්ත ගවුම් කොටයක් ඇදගත්තු භීත වෙච්ච මූනක් තිබුනු පුංචි ගෑනු ලමයෙක්. එයා දැකපු, මූන දීපු දේවල් තමයි මම මේ ලියලා තියෙන්නෙ.

ලියන්න ඕනෙ වුනාට ලියන්නෙ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මට ඒ ගැන තේරුමක් තිබුනෙ නැහැ.

2019 අවුරුද්දෙ මම තීරණයක් ගන්නවා මගේ සියලු හිත මිතුරන්ගෙන් නෑදෑයන්ගෙන් ඈත්වෙලා ජීවත්වෙන්න. මම එහෙම කරනවා. ඒ තීරණය ගත්තට මට ඒක ලේසි පහසු වුනේ නැහැ. මම දිගින් දිගටම ආතතියට පත්වුනා. ඒ මොහොතෙ මගේ සියලු දුක් අදෝනා අහගෙන ලගින් හිටියෙ කල්‍යා. කල්‍යා තරම් අනුන්ට ඇහුම්කන් දෙන්න ඉවසීමක් තියෙන මනුස්සයෙක් මගේ ජීවිතයෙ මට හමුවෙලා නැහැ. ඒ එක්කම විදර්ශන කන්නන්ගරවත් මතක් කරන්න ඕනෙ. කනා, කල්‍යා , නිර්මාල් තුන්දෙනාගෙම තීරනය වුනේ මම යම් කිසි නිර්මාණ කටයුත්තක නියැලිය යුතුයි කියලා. ඒ වෙනුවෙන් ඒගොල්ලො කරපු හැම යෝජනාවක්ම මම දැඩිලෙස ප්‍රතික්ෂේප කලා. මම ලියන එක කරන්නම් කියලා එකග වුනා. ඒත් කොහොමද මම ලියන්නෙ. මම දන්නෙ නැහැ නෙ.

2021 මාර්තු මාසෙ දවසක මම මගේ තාත්තා ගැන ලියපු පෝස්ට් එකක් පේස්බුක් දැම්මා. ඒකට හිතා ගන්න බැරි තරම් හොද ප්‍රතිචාර ලැබුනා. ගොඩාක් අය ඉන්බොක්ස් ඇවිල්ලා මට දිගටම ලියන්න කියලා යෝජනා කලා. ඒ අතරින් මම මතක් කරන්න ඕනෙ සුජීව සිරිමෙවන් සහෝදරයා සහ සුමේධා නවරත්න සහෝදරිය මට ලොකු දිරිගැන්වීමක් කලා දිගටම ලියන්න. ඔයාට ලස්සනට ලියන්න පුලුවන් කියලා. ඒ දෙන්නටම මම මේ මොහොතෙ ආදරයෙන් ස්තූතියි කියනවා. ඒ එක්කම දුකේදී සැපේදී එකටම ඉන්න කල්‍යටත් කනාටත් ස්තූතියි. මාව දරාගත්තට.

ඒ පෝස්ට් එක දාපු මොහොතෙ ඉදලා මගේ පස්සෙන් පන්නමින් මට ලියන්න කියලා වද දුන්නු මගේ සියලු රැවුම් ගෙරවුම් ඉවසපු නිර්මාල්ටත් ස්තූතියි කියනවා. ඇත්තටම මම මුලදි ලිව්වෙ නිර්මාල්ගෙ වදය ඉවසගන්න බැරිව. නමුත් අවසානෙ මම ලියන එකට ආදරය කරන්න පටන්ගත්තා. ඒක නිසා මට පහසුවක් දැනෙන්න පටන්ගත්තා. මාව ටික ටික නිදහස් වෙනවා කියලා මට දැනුනා. මම දන්නව මාත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ කියලා.

අන්තිමට දිනලා තියෙන්නෙ මම නෙමෙයි නිර්මාල්. ඒ ගැන මට සන්තෝෂයි. මම දන්නවා මාත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ කියලා. නිර්මාල් බයෙන් ඉදලා තිබුනා කොයිමොහොතක හෝ මම ලියපු සියල්ලම මකලා පොඩි කරලා දාලා මට ලියන්න බැහැ කියයි කියලා. නිර්මාල් කියන විදිහට මම තමයි එයාගෙ හොදම ගෝලයා. මම තමයි එයාගෙ හොදම ඇචුමන්ට්. ඒ ගැන මට සන්තෝෂයි.

2021 මාර්තු ඉදලා 2022 මාර්තු වෙනකොට මම පොත් පහක් ලියලා ඉවර කලා. මේ දවස්වල මම මම මගේ හයවෙනි පොත ලියනවා. ඒක නවකතාවක්.

පොතක් ලියන බව දැනගත්තු මොහොතෙ ඉදලා ඒක පලකරන්න කැමැත්ත පලකරපු අනිල් ජයවීරටත් , මංජුල පතිරාජටත් මම ආදරයෙන් ස්තූතියි කියනවා. මම අනිල්ට පොත නුදුන්නු එකට චුට්ටක් හිත රිදවගෙන වගේ හිටියා. ඒ දෙන්නම පොත ඉල්ලා හිටියට මට පොත කරන්න ආසාව තිබුනෙ ජනක ඉනිමංකඩත් එක්ක.

ජනකට ස්තූතියි මට ලස්සන පොතක් කරලා දුන්නට. මං වෙනුවෙන් කරපු හැමදේකටම ස්තූතියි කියනව මගේ ආදරයත් එක්කම. මම ජනකයි මායි අතර ගැප් එකක් මේන්ටේන් කලා නිතරම. අපි අතර හමුවක් සිදුවිය යුතු හැම මොහොතකම මම ඒක වුවමනාවෙන් මග ඇරියා. මම බයවුනා සුපුරුදු පරිදි රන්ඩුවකින් මම සියල්ල අවසන් කරයි කියලා. ඒ නිසා අද මේ මොහොතෙ තමයි ජනකගෙයි මගෙයි හමුවීම සිදුවුනේ. ස්තූතියි ජනක නැවතත්. ආදරෙයි .
ස්තූතියි මගේ පරනම මිතුරෙක් වන දිනිදු සිරිවර්ධනට මට ලස්සන කවරයක් කරලා දුන්නට.
ඒ එක්කම ඩිලන්තව මතක කල යුතුයි ආදරෙන්. ධම්මිකා සිරිවර්ධන, පූර්ණිමා , ළහිරු ඇතුලු සියලුම විදර්ශන කාර්ය මණ්ඩලයට ස්තූතියි කියනවා මම .

ඒ එක්කම ඉතාම අහඹු ලෙස පොත ගෙන්නගෙන කියවපු, පොතට හැදින්වීමක් ලියන්න එකතුවුනු නිහාල් පෙරේරවත් මතක්කල යුතුයි. මම නිහාල්ට ස්තූතියි කියන හැම මොහොතකම එයා පෙරලා මට ස්තූතියි කියනවා එයාව මගේ පොත වෙනුවෙන් සම්බන්ධ කර ගත්තට. එයා වගේ ලොකු කෙනෙක් මගේ පොත ගැන දෙන වටිනාකම ගැන මට සන්තෝෂයි. එයා පොත ගැන ගොඩාක් සන්තෝෂයි. එයාගෙ ලස්සන හැදින්වීම කියෙව්වමත් ඒක දැනෙනවා. ආයෙමත් ආදරෙන් ස්තූතියි කියනවා නිහාල්ට.

මුලින්ම නිර්මාල්ගෙන් පස්සෙ පොත කියවන්න දුන්නෙ ජානකී ජයවර්ධනට. ජානකීගෙ තමයි පොත ගැන මුල්ම අදහස. ඒ එක්කම පොත ගැන ලස්සනම කමෙන්ට් එක දුන්නෙ සමල් විමුක්ති හේමචන්ද්‍ර. ඒ එක්කම ප්‍රදීප් ජයරත්න. ඒ හැමෝගෙම කමෙන්ට්ස් පොත ලියන්න මගේ දිරිය වැඩිකලා. ස්තූතියි සමල්ට ප්‍රදීප්ට සහ ජානකීට.

අන්තිමටම මේ පොතේ පසුපිටේ ඡායාරූපය ගැනත් කිව යුතුයි. ඒ ඡායාරූපය මගේ ඡායාරූප ගොඩේ තියෙන මම සහ තව ගොඩාක් අය කැමති ඡායාරූපයක්. සමහරු ඒ ඡායාරූපය උඩ කවි ලියලා මට දුන්නා. තවත් සමහරු ඒ ඡායාරූපය හරහා ප්‍රේමය ප්‍රකාශ කලා. ඒ ඡායාරූපයෙ අයිතිකරු ප්‍රසන්න මුදුන්කොටුව. ඔහු මට කිව්වා මම නඩුදාන්නෙ නැහැ ඔයා කැමති විදිහට ඒ ඡායාරූපය පාවිච්චි කරන්න කියලා. ආදරෙන් ස්තූතියි කියනවා ප්‍රසන්නට මම.

අවසානයෙ ස්තූතියි මම වෙනුවෙන් මෙතැනට පැමිනි ඔබ සියලු දෙනාටම .

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...