පොලිසිය නීතිය කඩයි : තොරතුරු කොමිසම නඩු පවරයි ද? – පොලිස්පති අවුරුදු 02ක් හිරේ යයි ද?

Share post:

ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීම අවස්ථා කිහිපයකදීම කැපීපෙනිණි. කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් මෙන්ම උද්ඝෝෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම් පිළිබඳව පොලිසිය කටයුතු කළ ආකාරයෙන් එය මෑත කාලයේදී තවදුරටත් තහවුරු විය. එම සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම මගින් පොලිස් දෙපාර්තමේන්තුවට අවවාද කළ ද, එම භාවිතාවේ වෙනසක් නොවීය.

අද (23) ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව තොරතුරු කොමිසමේදී පැවති අභියාචනා විභාගයකදී ද එය තවදුරටත් තහවුරු විය.

එම අභියාචනය ගොනුකළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් එම සිදුවීම සහ ඊට අදාළ ව කොමිසම විසින් පළකළ අදහස් සම්බන්ධයෙන් ලියන ලද සටහනක් පහත පළ වේ.

සිදුවීම කුමක්ද ?

ශ්‍රී ලංකා පොලිසියෙ ඇතැම් තොරතුරු නිලධාරීන් සහ පොලිස්පතිවරයා දිගින් දිගටම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත උල්ලංඝනය කරමින් තිබෙනවා. එය තවදුරටත් තහවුරු වුණා මෑතක තිබ්බ අභියාචනා විභාගයකදිත්.

2022 ඔක්තෝබර් 09 වෙනිදා ගාලු මුවදොර තිබ්බ සාමකාමී සැමරුමකට පොලිසිය කඩාවැදිලා පහර දීලා පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ ම්ලේච්ඡ හැසිරීමට විරෝධය පළ කරන්න අපි (නීතිඥවරු, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්) විරෝධතාවක් සහ පාගමනක් පවත්වනවා කියලා කොටුව පොලිස් ස්ථානාධිපතිට ලිඛිතව දැනුම් දීලා ගාලුමුවදොරදි ඔක්තෝම්බර් 10 වෙනිදා සාමකාමී නිහඬ විරෝධතාවක් කළා. ඒක ඉවර වෙලා පදික වේදිකාව දිගේ කිසිම කෙනකුට බාධාවක් නැතුව නීතිඥවරුන්ගෙ කාර්යාලය පැත්තට යන්න යද්දි පොලිසිය පදිකවේදිකාව සහ පාර සම්පූර්ණයෙන් අවහිර කරලා අපේ ගමන නැවැත්තුවා.

ද්වේෂ සහගත හැසිරීම

අපි ඒ ගැන පැහැදිලි කරන්න උත්සාහ කළත් පොලිසිය ගණන් ගත්තේ නෑ. පොලිසිය ද්වේෂ සහගත විදිහටයි සැලකුවේ. එලෙස හැසිරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් (දැන් නියෝජ්‍ය පොලිස්පති) සහ සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක්ට විරුද්ධව අයුතු අවහිරය ඇතුලු චෝදනා යටතේ පැමිණිල්ලක් කරන්න ඔක්තෝබර් 11 කොටුව පොලිස් ස්ථානයට ගියාම ස්ථානාධිපති සාගර ලියනගේ පැමිණිල්ල බාර ගන්නෙ නැතුව මගේ අතත් මිරිකලා අඩත්තේට්ටම් කළා.

එලෙස කටයුතු කිරීම ගැන කොටුව ස්ථානාධිපති සම්බන්ධයෙනුත් අපේ ගමන නතර කිරීම සම්බන්ධයෙන් නලින්ද දිල්රුක් සහ රොෂාන් ඩයස් යන අයට එරෙහිවත් 2022/10/11 පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් කළා.

පැමිණිලිවලට මොකද වුණේ ?

ඒ පැමිණිලි⁣ දෙකට අදාලව මාව ගෙන්වලා කොළඹ අපරාධ කොට්ඨාසය අවස්ථා දෙකකදී සහ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී වරයෙක් එක් අවස්ථාවකදීත් මගේ ප්‍රකාශ සටහන් කර ගත්තත් එම පැමිණිලිවලට මොකද වුණේ කියලා දැනුම්දීමක් කළේ නෑ.

ඒ අනුව අදාල පැමිණිලි සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ග ගැන අයිතම 12ක් යටතේ තොරතුරු ඉල්ලමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මූලස්ථානයේ තොරතුරු නිලධාරීට තොරතුරු ඉල්ලීමක් යොමු කළා. තොරතුරු ඉල්ලීමකට අදාලව වැඩකරන දින 14ක් තුළ තොරතුරු නිලධාරී තීන්දුව දැනුම් දිය යුතුයි. දින 14ක් තුළ තොරතුරු හෝ තීන්දුව නොලැබූණු නිසා නම් කළ නිලධාරීන් වන පොලිස්පතිවරයාට අභියාචනයක් කළා. දින 21 ඇතුළත ඊට තීන්දුව දෙන්න ඕන වුණත් නොලැබුණු නිසා තොරතුරු කොමිසමට අභියාචනයක් කළා.

පොරොන්දු කැඩීම

ඒ අභියාචනය අගෝස්තු 08 වෙනිදා විභාගයට ගත්තා. අදාල සියලු තොරතුරු සති දෙකක් තුල ලබා දෙන්න ශ්‍රී ලංකා පොලිසිය එකඟ වුණා. ඒ අනුව අගෝස්තු 22ට කලින් අදාල තොරතුරු මුදා හරින ලෙස කොමිසම දැනුම් දුන්නා. ඒවගේම කොමිසම පැහැදිලිව සඳහන් කරලා තියනවා තොරතුරු ඉල්ලීමට අදාලව තොරතුරු නිලධාරියා සහ නම් කළ නිලධාරියා ප්‍රතිචාර නොදැක්වීම අදාල නිලධාරීන් දෙදෙනා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් කියලා.

කොමිසමේ තීන්දුව

මේ අන්දමින් තොරතුරු පනතේ විධි විධාන උල්ලංඝණය කිරීම කිසිසේත් සැහැල්ලුවෙන් සැලකීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවත්, තොරතුරු පනතේ විධිවිධාන යථා පරිදි ක්‍රියාවට නංවන්නේ නැති නම් ශ්‍රී ලංකා පොලිසියේ නම් කළ නිලධාරීට සහ තොරතුරු නිලධාරී සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් කොමිසම තීන්දුවේ සඳහන් වෙනවා.

කළ හැක්කේ කුමක්ද?

තොරතුරු පනත උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව ගන්න ඕනා ක්‍රියාමාර්ග ගැන පනතේ 38 සහ 39 වගන්තිවල සඳහන් වෙනවා. නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට වගේම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් ප්‍රතිපාදන තිබෙනවා.

වසර 2ක සිර දඬුවම් ?

පොලිසිය මේ තොරතුරු ඉල්ලීමට අදාල ප්‍රතිචාර නොදැක්වීම වගේම 22 දිනට කලින් තොරතුරු ලබා දෙන ලෙස කොමිසම දුන් තීන්දුවත් පැහැර ඇරලා තියනවා. ⁣එය මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් පවත්වන නඩුවිභාගයකින් පසසේ වසර දෙකක් දක්වා සිරදඬුවම් දෙන්න පුලුවන් වරදක් කියලා තොරතුරු පනතේ 39 වගන්තියේ සඳහන් වෙනවා. මහේස්ත්‍රාත් උසාවියෙ නඩු පැවරිය යුත්තේ තොරතුරු කොමිසම.

ඒ අනුව අද මම තොරතුරු කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළා පොලිසියේ තොරතුරු නිලධාරී සහ නම් කළ නිලධාරීට එරෙහිව පනතේ 39 වගන්තිය යටතේ කටයුතු කරන්න කියලා. කොමිසම කඩිනමින් අදාල ක්‍රියාමාර්ග ගනියි කියලා බලාපොරොත්තු වෙනවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...