පොලිසිය නීතිය කඩයි : තොරතුරු කොමිසම නඩු පවරයි ද? – පොලිස්පති අවුරුදු 02ක් හිරේ යයි ද?

Share post:

ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීම අවස්ථා කිහිපයකදීම කැපීපෙනිණි. කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් මෙන්ම උද්ඝෝෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම් පිළිබඳව පොලිසිය කටයුතු කළ ආකාරයෙන් එය මෑත කාලයේදී තවදුරටත් තහවුරු විය. එම සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම මගින් පොලිස් දෙපාර්තමේන්තුවට අවවාද කළ ද, එම භාවිතාවේ වෙනසක් නොවීය.

අද (23) ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව තොරතුරු කොමිසමේදී පැවති අභියාචනා විභාගයකදී ද එය තවදුරටත් තහවුරු විය.

එම අභියාචනය ගොනුකළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් එම සිදුවීම සහ ඊට අදාළ ව කොමිසම විසින් පළකළ අදහස් සම්බන්ධයෙන් ලියන ලද සටහනක් පහත පළ වේ.

සිදුවීම කුමක්ද ?

ශ්‍රී ලංකා පොලිසියෙ ඇතැම් තොරතුරු නිලධාරීන් සහ පොලිස්පතිවරයා දිගින් දිගටම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත උල්ලංඝනය කරමින් තිබෙනවා. එය තවදුරටත් තහවුරු වුණා මෑතක තිබ්බ අභියාචනා විභාගයකදිත්.

2022 ඔක්තෝබර් 09 වෙනිදා ගාලු මුවදොර තිබ්බ සාමකාමී සැමරුමකට පොලිසිය කඩාවැදිලා පහර දීලා පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ ම්ලේච්ඡ හැසිරීමට විරෝධය පළ කරන්න අපි (නීතිඥවරු, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්) විරෝධතාවක් සහ පාගමනක් පවත්වනවා කියලා කොටුව පොලිස් ස්ථානාධිපතිට ලිඛිතව දැනුම් දීලා ගාලුමුවදොරදි ඔක්තෝම්බර් 10 වෙනිදා සාමකාමී නිහඬ විරෝධතාවක් කළා. ඒක ඉවර වෙලා පදික වේදිකාව දිගේ කිසිම කෙනකුට බාධාවක් නැතුව නීතිඥවරුන්ගෙ කාර්යාලය පැත්තට යන්න යද්දි පොලිසිය පදිකවේදිකාව සහ පාර සම්පූර්ණයෙන් අවහිර කරලා අපේ ගමන නැවැත්තුවා.

ද්වේෂ සහගත හැසිරීම

අපි ඒ ගැන පැහැදිලි කරන්න උත්සාහ කළත් පොලිසිය ගණන් ගත්තේ නෑ. පොලිසිය ද්වේෂ සහගත විදිහටයි සැලකුවේ. එලෙස හැසිරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් (දැන් නියෝජ්‍ය පොලිස්පති) සහ සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක්ට විරුද්ධව අයුතු අවහිරය ඇතුලු චෝදනා යටතේ පැමිණිල්ලක් කරන්න ඔක්තෝබර් 11 කොටුව පොලිස් ස්ථානයට ගියාම ස්ථානාධිපති සාගර ලියනගේ පැමිණිල්ල බාර ගන්නෙ නැතුව මගේ අතත් මිරිකලා අඩත්තේට්ටම් කළා.

එලෙස කටයුතු කිරීම ගැන කොටුව ස්ථානාධිපති සම්බන්ධයෙනුත් අපේ ගමන නතර කිරීම සම්බන්ධයෙන් නලින්ද දිල්රුක් සහ රොෂාන් ඩයස් යන අයට එරෙහිවත් 2022/10/11 පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් කළා.

පැමිණිලිවලට මොකද වුණේ ?

ඒ පැමිණිලි⁣ දෙකට අදාලව මාව ගෙන්වලා කොළඹ අපරාධ කොට්ඨාසය අවස්ථා දෙකකදී සහ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී වරයෙක් එක් අවස්ථාවකදීත් මගේ ප්‍රකාශ සටහන් කර ගත්තත් එම පැමිණිලිවලට මොකද වුණේ කියලා දැනුම්දීමක් කළේ නෑ.

ඒ අනුව අදාල පැමිණිලි සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ග ගැන අයිතම 12ක් යටතේ තොරතුරු ඉල්ලමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මූලස්ථානයේ තොරතුරු නිලධාරීට තොරතුරු ඉල්ලීමක් යොමු කළා. තොරතුරු ඉල්ලීමකට අදාලව වැඩකරන දින 14ක් තුළ තොරතුරු නිලධාරී තීන්දුව දැනුම් දිය යුතුයි. දින 14ක් තුළ තොරතුරු හෝ තීන්දුව නොලැබූණු නිසා නම් කළ නිලධාරීන් වන පොලිස්පතිවරයාට අභියාචනයක් කළා. දින 21 ඇතුළත ඊට තීන්දුව දෙන්න ඕන වුණත් නොලැබුණු නිසා තොරතුරු කොමිසමට අභියාචනයක් කළා.

පොරොන්දු කැඩීම

ඒ අභියාචනය අගෝස්තු 08 වෙනිදා විභාගයට ගත්තා. අදාල සියලු තොරතුරු සති දෙකක් තුල ලබා දෙන්න ශ්‍රී ලංකා පොලිසිය එකඟ වුණා. ඒ අනුව අගෝස්තු 22ට කලින් අදාල තොරතුරු මුදා හරින ලෙස කොමිසම දැනුම් දුන්නා. ඒවගේම කොමිසම පැහැදිලිව සඳහන් කරලා තියනවා තොරතුරු ඉල්ලීමට අදාලව තොරතුරු නිලධාරියා සහ නම් කළ නිලධාරියා ප්‍රතිචාර නොදැක්වීම අදාල නිලධාරීන් දෙදෙනා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් කියලා.

කොමිසමේ තීන්දුව

මේ අන්දමින් තොරතුරු පනතේ විධි විධාන උල්ලංඝණය කිරීම කිසිසේත් සැහැල්ලුවෙන් සැලකීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවත්, තොරතුරු පනතේ විධිවිධාන යථා පරිදි ක්‍රියාවට නංවන්නේ නැති නම් ශ්‍රී ලංකා පොලිසියේ නම් කළ නිලධාරීට සහ තොරතුරු නිලධාරී සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් කොමිසම තීන්දුවේ සඳහන් වෙනවා.

කළ හැක්කේ කුමක්ද?

තොරතුරු පනත උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව ගන්න ඕනා ක්‍රියාමාර්ග ගැන පනතේ 38 සහ 39 වගන්තිවල සඳහන් වෙනවා. නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට වගේම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් ප්‍රතිපාදන තිබෙනවා.

වසර 2ක සිර දඬුවම් ?

පොලිසිය මේ තොරතුරු ඉල්ලීමට අදාල ප්‍රතිචාර නොදැක්වීම වගේම 22 දිනට කලින් තොරතුරු ලබා දෙන ලෙස කොමිසම දුන් තීන්දුවත් පැහැර ඇරලා තියනවා. ⁣එය මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් පවත්වන නඩුවිභාගයකින් පසසේ වසර දෙකක් දක්වා සිරදඬුවම් දෙන්න පුලුවන් වරදක් කියලා තොරතුරු පනතේ 39 වගන්තියේ සඳහන් වෙනවා. මහේස්ත්‍රාත් උසාවියෙ නඩු පැවරිය යුත්තේ තොරතුරු කොමිසම.

ඒ අනුව අද මම තොරතුරු කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළා පොලිසියේ තොරතුරු නිලධාරී සහ නම් කළ නිලධාරීට එරෙහිව පනතේ 39 වගන්තිය යටතේ කටයුතු කරන්න කියලා. කොමිසම කඩිනමින් අදාල ක්‍රියාමාර්ග ගනියි කියලා බලාපොරොත්තු වෙනවා.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...