“කතන්දර නිර්මාණ කරන්නකු සැම විටම අප තුළ සිටිනවා” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 11)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 11 කොටස.(අවසන් කොටස)

අප්‍රිකාව පිළිබඳව මට ඕනෑ වෙලාවක මතක් කරන්න පුළුවන් ඉතා කදිම මතක රාශියක් මගේ සිතේ තිබෙනවා. සැන්දෑ අහස රන්, දම් සහ තැඹිලි පැහැයෙන් සිත්තම් වෙන සූර්යාස්තය. කලහාරියේ සුවඳ හමන පඳුරු අවට පියා සලන සමනලයෝ, සලබයෝ සහ මීමැස්සෝ. අප්‍රිකාවේ හැම කුරුල්ලෙක්ම වේගයෙන් එහා මෙහා පියඹන අඳුරු, දිලිහෙන වතුර ඇති සැම්බසි ගඟේ ලා පැහැති තණ සහිත ඉවුරුවල වාඩිවී හිටපු හැටි. අලි ඇත්තු, ජිරාෆ්ලා, සිංහයෝ ඇතුළු වනසත්තු. ඔය වගේ දේවල් නොසෑහෙන්න තිබෙනවා. එතකොට, රෑ අහස? තවමත් අදූෂිතයි, කළුයි, පුදුමාකාරයි, නොයිවසිලිමත්ව නලියන තරුකැටවලින් පිරිලා.

ඒ අතර තවත් මතක තිබෙනවා. තරුණ අප්‍රිකානුවෙක්, අවුරුදු දහ අටක් පමණ ඇති, ඔහුගේ ‘පුස්තකාලය’ කියා ඔහු සිතන තැන කඳුළු පිරි දෙනෙතින් යුතුව හිටගෙන ඉන්නවා. එහි පැමිණි ඇමරිකානුවෙක්, ඔහුගේ පුස්තකාලයේ පොත් නැති බව දැකලා ඔහුට පොත් පෙට්ටියක්ම එවා තිබෙනවා. තරුණයා හැම පොතක්ම පරිස්සමින් එළියට අරගෙන, බොහොම ගෞරවාන්විතව, ඒ හැම එකක්ම පොලිතීන්වලින් ඔතලා. ‘ඒ වුණාට,’ අපි ඔහුට කියනව, ‘ඔය පොත් කියවන්නයි එවලා තියෙන්නේ, එහෙම නේද?’ ‘බැහැ,’ ඔහු කියනවා, ‘ඒවා නාස්ති වේවි. මට තව කොහෙන් ලැබෙන්නද?’

මේ තරුණයාට අවශ්‍යයි ගුරු මාර්ගෝපදේශ පොත්. අප එංගලන්තයෙන් ඔහුට ඒවා එවනු ඇතැයි කියා ඔහු බලාපොරොත්තු වෙනවා.

‘මම සීනියර් ඉස්කෝලේ අවුරුදු හතරයි ඉගෙනගත්තෙ,’ ඔහු කියනවා, ‘එයාලා මට ඉගැන්නුවේ නෑ උගන්වන විදිය.’

පෙළපොත් නැති, කළු ලෑල්ලට හුණු කූරක්වත් නැති පාසලක වැඩ කළ ගුරුවරයකු මා දැන සිටියා. දූවිලි පොළව මත තැබූ ගල්කැට එහා මෙහා කරමින්, ‘දෙවරක් දෙක…’ ආදී වශයෙන් තාලෙට කියමින් තමයි අවුරුදු හයේ සිට දහ අට දක්වා වයසේ සිසුන් සිටි පංතියට ඔහු ඉගැන්නුවේ. මා දුටුවා ගැහැනු ළමයෙක්, ඇතැම්විට වයස අවුරුදු විස්සකට වැඩි නැහැ; පෙළපොත්, අභ්‍යාස පොත්, පෑන් ආදිය මොනවත් නැතිව ඈ ගිනියම් අව්වේ, දූවිලි ඇවිස්සෙන පොළවේ කෝටුවකින් ලියමින් ඉංග්‍රීසි හෝඩිය උගන්වනවා.

අප්‍රිකාවේ, නැතිනම් තුන්වැනි ලෝකයේ කොතැනක හෝ, එහෙමත් නැතිනම් තම දරුවන්ට දුගීබවෙන් මිදෙන්නට උපකාර විය හැකි අධ්‍යාපනයක් ලබා දෙන්න බලාපොරොත්තු වන දෙමව්පියන් ඉන්න ඕනෑම තැනක තිබෙන අධ්‍යාපන බඩගින්න පිළිබඳවයි අප මේ කතා කරන්නේ.

දකුණුදිග අප්‍රිකාවේ කොහේ හෝ නියඟයෙන් දරුණු ලෙස බැට කෑ දුගී ප්‍රදේශයක තිබෙන ඉන්දියානු කඩයක ඔබ හිටගෙන ඉන්නවා යැයි සිතන්න කියා මා ඔබට ඇරයුම් කරනවා. එතැන පෝලිමක්, වැඩිපුර ඉන්නේ ගැහැනු, වතුර ගෙන යා හැකි නොයෙක් විදියේ භාජන අතැතිව ඉන්නවා. නගරයේ ඉඳලා හැම හැන්දෑවකම රත්තරන් වගේ වටිනා ජලය අරගෙන බවුසරයක් මේ කඩේට එනවා. මේ මිනිස්සු ඉන්නේ ඒක එනතුරු.

ඉන්දියානුවා අත්ල කවුන්ටරය උඩට තදකරගෙන, පොතකින් ඉරාගත් කොටසක් වගේ පේන කරදහි මිටියක් අතේ තබාගෙන කියවමින් සිටින කළු ගැහැනියක් දිහා බලාගෙන ඉන්නවා. ඈ කියවමින් සිටින්නේ ආන්නා කරේනින්.

ඈ හෙමින් මුමුනමින් කියවනවා. එය අපහසු පොතක් වගෙයි පේන්නේ. ඈ තරුණ ගැහැනියක්, කුඩා ළමුන් දෙදෙනෙකු ඉන්නවා ඇගේ දෙපය බදාගෙන. ඈ ගැබිනියක්. ඉන්දියානුවාගේ හිතේ වේදනාවක් තිබෙනවා, මන්ද, සුදු පැහැ විය යුතු ඇගේ ශීර්ෂාවරණය දූවිල්ලෙන් කහපාට වෙලා. ඇගේ පියයුරු අතර සහ වැලමිටිවල දූවිලි රැඳිලා. ඒ මිනිසාගේ වේදනාව පෝලිම්වල ඉන්න පිපාසයෙන් බරිත වූ මේ මිනිස්සු නිසායි. ඔහු සතුව ප්‍රමාණවත් ජලය නැහැ ඔවුන්ට දෙන්න. ඔහු කෝපයෙන් ඉන්නේ, මොකද ඔහු දන්නවා දූවිලි වලාවලින් එහාපැත්තේ මිනිස්සු මියයන බව. ඔහු පැමිණෙන තෙක් ඔහුගේ අයියා එහි ජීවත් වුණා. ඒත් නියඟය නිසා අසනීපව සිටි ඔහුට විවේකයක් උවමනා බව කියා නගරයට ගොස් තිබෙනවා.

කුතුහලයෙන් පිරි මේ මිනිසා තරුණ ගැහැනියගෙන් අහනවා, ‘ඔබ කියවන්නේ මොකක්ද?’

‘ඒක රුසියාව ගැන,’ තරුණිය කියනවා.

‘රුසියාව කොහේද තියෙන්නේ කියල දන්නවද?’ ඔහුත් එය නොදන්නා නිසයි අහන්නේ.

තරුණ ගැහැනිය ඔහු දිහා කෙලින් බලනවා, දූවිල්ලට රතුවුණු දෑස්වලින්, බොහොම නම්බුකාර විදියට. ‘මම තමයි පංතියේ හිටිය හොඳම සිසුවිය. මගේ ගුරුතුමිය කිව්වා මමයි හොඳම කියල.’

තරුණ ගැහැනිය ආයෙත් කියවන්න පටන් ගන්නවා. ඈට ඒ ඡේදය අවසන් කරන්නට අවශ්‍යයි.

කුඩා දරුවන් දිහා බලන ඉන්දියානුවා ෆැන්ටා බෝතලයක් අතට ගන්නවා. ඒත් මව මෙහෙම කියනවා, ‘ෆැන්ටා ඒගොල්ලන්ගේ පිපාසය වැඩි කරනව.’
ඉන්දියානුවා දන්නවා ඔහු කරන්න යන වැඩේ හොඳ නැති බව. ඒත් ඔහු පසෙකින් කවුන්ටරය පිටුපස තිබුණු විශාල ප්ලාස්ටික් භාජනයෙන් වතුර මග් දෙකක් පුරවා ළමුන් දෙදෙනාට දෙනවා. ළමුන් වතුර බොන හැටි බලාගෙන තම මුව නටවන ගැහැනිය දිහා ඔහු බලනවා. ඔහු ඈටත් වතුර මග් එකක් දෙනවා. ඈ එය බොන හැටි බලා ඉන්න එක ඔහුට වේදනාවක්, ඈ පෙළෙමින් සිට තිබෙන්නේ ඒතරම්ම දරුණු පිපාසයකින්.

දැන් ඈ ඔහුට සිය වතුර භාජනය දෙනවා, එය පුරවා දෙන්න කියා. ඔහු අතින් වතුර බිඳුවක් හෝ ඉවත යයිද කියා තරුණ ගැහැනිය සහ ඇගේ ළමුන් දෙදෙනා ඔහු ළඟටම ගිහින් බලා ඉන්නවා.

ඈ නැවතත් පොතට නැමී හෙමින් කියවනවා. ඒ ඡේදයට ඈ හරිම කැමතියි, ඒ නිසා ඈ එය නැවතත් කියවනවා.

“සුදු ශීර්ෂාවරණයකින් කළු හිසකේ වසා, ඈ වටකරගෙන සිටි දරුවන් සමඟ විනෝද ප්‍රමෝදයෙන් සිටින අතරම, ඈ ආදරය කළ මිනිසාගෙන් විවාහ යෝජනාවක් ලැබීමට ඇති ඉඩ පිළිබඳව පිටතට පෙනෙණ තරම් කැළඹීමකින් යුතුව සිටි වරේන්කා දිස්වූයේ බොහෝ ආකර්ෂණීය ලෙසිනි. කොස්නිෂෙව් ඈ පසෙකින් ඇවිදින අතර, ඈ වෙත විටින් විට ප්‍රසාදනීය බැලුම් හෙළීය. ඈ දෙස බලන අතර ඇගේ දෙතොලින් ඔහු ඇසූ ආනන්දනීය කතා, ඔහු දැන සිටි ඈ පිළිබඳ සියලු යහපත් දේ පිළිබඳ මතකයට නැගූ ඔහුට, ඈ පිළිබඳව තමා තුළ ඇති හැඟීම ඉතාමත් දුලබ වූවක් මෙන්ම, ඈත සමයෙක සිය යොවුන් වියේදී පවා ඔහුට දැනී තිබුණු දෙයක් බව වඩ වඩාත් අවබෝධ වූයේය. ඈ සමීපයෙහි සිටීමේ සතුට ක්‍රම ක්‍රමයෙන් වඩාත් වැඩිවන්නට වූ අතර, එය කෙබඳු තැනකට ළඟා වූයේද යත්, බර්ච් ගසක හැදුණු සිහින් නටුවක් හා ඉහළට හැකිළුණු මුදුනක් සහිත විශාල බිම්මලක් ඇගේ කූඩයට දමමින් ඇගේ දෑස් දෙස බැලූ ඔහු, ඇගේ මුහුණට වද දුන් ප්‍රීතියත් බියත් මුසුවූ වේදනාව දැක ව්‍යාකූල වී, නිහඬව ඈ වෙත සිනහවක් පෑවේ වචනයෙන් කිව නොහැකි සියල්ල පවසමිනි.”

මේ මුද්‍රිත කරදහි ගොඩ, තවත් පැරණි සඟරා ගොන්නකුත්, බිකිනි ඇඳ සිටින කෙල්ලන්ගේ ඡායාරූප සහිත පත්තර පිටු කිහිපයකුත් සමග කවුන්ටරය උඩ තිබෙනවා. ඉන්දියානු කඩයේ ක්ෂේම භූමියෙන් පිටවී, සැතපුම් හතරක් ඈතින් පිහිටි ගමට යාමට ගැහැනියට වේලාව පැමිණ තිබෙනවා. පිටත පෝලිම්වල බලා සිටින ගැහැනු ගෝසා කරමින් චෝදනා නගනවා. එහෙත්, ඉන්දියානුවා තවමත් සුනංගු වෙමින් සිටිනවා. ඔහු දන්නවා ඇඟේ එල්ලුණු කුඩාවුන් දෙන්නකුත් එක්ක ගෙදර යාමට ඈ කෙතරම් වෙහෙසක් දැරිය යුතුද කියලා. ඇගේ සිත් ගත් ගද්‍යය ඔහු ඈට ගෙනයන්න දෙනු ඇති නමුත්, විශාල උදරයක් සහිත බට පතුරක් වැනි මේ කෙල්ලට එය තේරුම්ගත හැකි වේ යැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැහැ.

නගරයෙන් බොහෝ ඈත පිහිටි ඉන්දියානු කඩයක ආන්නා කරේනින් නවකතාවෙන් තුනෙන් පංගුවක් තිබෙන්නේ කොහොමද? ඒක වුණේ මෙහෙමයි.

එක්සත් ජාතීන්ගේ සංගමයට සම්බන්ධ බව පෙනෙන එක් ඇමරිකානු උසස් නිලධාරියෙක්, සාගර සහ මුහුදු කීපයක් තරණය කෙරෙන ඔහුගේ දීර්ඝ ගමනට පෙර පොත්හලකින් මේ නවකතාවේ පිටපතක් මිලදී ගත්තා. ගුවන් යානයේ ඔහුගේ ව්‍යාපාරික පංතියේ ආසනයේ වාඩිවුණාට පස්සේ ඔහු ඒ පොත කොටස් තුනකට කඩා වෙන් කළා. මේ වැඩේ දිහා බලන් හිටපු අනිත් මගීන්ගේ මුහුණුවල තිබෙන කම්පනය, කුතුහලය සහ, සමහරුන්ගේ හිනා මුහුණු දකින්නට ඔහු වටපිට සිසාරා බැලුවා. ඔහු ආසන පටි තදකරගෙන හරිබරි ගැහුනට පස්සේ අහන් ඉන්න කෙනෙකුට ඇහෙන්න උස් හඬින් මෙහෙම කිව්වා, ‘දිග ගමනක් යන හැම වෙලාවකම මම කරන්නෙ මෙහෙමයි. එතකොට ලොකු බර පොතක් උස්සාගෙන ඉන්න ඕන නැහැ.’ නවකතාව නැමෙන කාඩ්බෝඩ් කවරය සහිත එකක් වුණාට, ඇත්ත ‐ ඒක දීර්ඝ පොතක්. එයා කතා කරනකොට මිනිස්සු අහගෙන ඉන්න එක මිනිහාට පුරුදුයි. ‘දුර ගමන් යාම තමයි මං නිතරම කරන වැඩේ,’ ඔහු විශ්වාසයෙන් කිව්වා. ‘මේ කාලේ ගමන් යන එකම පවා හරිම වෙහෙසක්.’ මිනිස්සු තම තමන්ගේ වැඩක් බලාගත්තට පස්සේ ඔහු ආන්නා කරේනින් නවකතාවේ ඔහුගේ කොටස දිගඇරගෙන කියවන්න පටන් ගත්තා. මිනිස්සු ඔහුගේ මුහුණ දිහා බලාපු වෙලාවට ඔහු කියන්නේ, ‘නෑ, ඒක තමයි ගමන් යාමට තියෙන එකම විදිය.’ ඔහු ඒ නවකතාව දැන සිටියා. ඒ ඔහු කැමති නවකතාවක්. ඔහුගේ අපූරු කියවීමේ ක්‍රමය නිසා, බොහොම ප්‍රසිද්ධ පොතක් වූ එයට තුනපහ වැටුණා.

පොතේ එක් කොටසක් කියවා ඉවර වුණාම ඔහු ගුවන් සේවිකාවකට කතා කර, ඒ කොටස වඩා ලාබ අසුනක ගමන් කරන සිය ලේකම්වරිය වෙත යවනවා. මේ වැඩේ නිසා, විශිෂ්ට රුසියානු නවකතාවේ කඩා වෙන්කරපු එහෙත් කියවිය හැකි කොටසක් ගුවන්යානයේ පසුපස කොටසට එන සෑම වෙලාවකම ඒ පිළිබඳ උනන්දුවක්, හෙළාදැකීමක්, ඒ වගේම කුතුහලයක් ඒ පැත්තේ ඇති වුණා. සමස්තයක් හැටියට ආන්නා කරේනින් කියවන මේ බුහුටි ක්‍රමවේදය උනන්දුව දනවනවා වගේම එතැන හිටපු කිසි කෙනෙකුට ඒක අමතක වෙන එකක් නැහැ.

මේ අතරේ තරුණ ගැහැනිය ඉන්දියානු කඩේ කවුන්ටරය අල්ලාගෙන ඉන්නවා, කුඩා දරුවෝ ඇගේ සායේ එල්ලිලා. ඈ නූතන ගැහැනියක් නිසා ජීන්ස් ඇඳගෙනයි ඉන්නේ. ඒ වුණත් ඇය ඊට උඩින් ඇගේ ගෝත්‍රයේ ඇඳුමේ කොටසක් වන බරැති වුලන් සායක් ඇඳ සිටිනවා. ඇගේ දරුවන්ට එහි ඝන නැමිවල පහසුවෙන් එල්ලෙන්න පුළුවන්.

තමාට කැමැති, එමෙන්ම තමා පිළිබඳව කනගාටු වන ඉන්දියානුවාට ස්තුතිපූර්වක සිනාවකින් සංග්‍රහ කරන ඈ හමායන දූවිලි වලා තුළට පිවිසෙනවා.
දූවිල්ලෙන් සිරවූ උගුරු ඇති කුඩා ළමෝ හඬමින් ඈ පසුපස එනවා.

ඒක බොහොම අමාරු ගමනක්; ඇගේ පාදවලට යටවී කැඩී යන රැවටිලිකාර දූවිලි ගොඩවල් උඩින් අඩියෙන් අඩිය තබා යන මේ ගමන සත්තකින්ම අසීරුයි. අමාරු නමුත්, ඇය අමාරුකම්වලට හුරුවී සිටිනවා නොවේද? ඇගේ සිතේ කැරකෙන්නේ ඈ කියවමින් සිටි කතාවයි. ඈ හිතනවා, “ඈ මා වගේමයි. සුදු ශීර්ෂාවරණයක්. ඇයත් ළමුන් බලාගන්නවා. මා ඇය, ඒ රුසියානු කෙල්ල විය හැකියි. එතැන ඉන්න මිනිහා, ඔහු ඈට ආදරය කරනවා, ඔහු සමග විවාහ වන්නැයි සමහර විට ඔහු ඈට කියාවි. ඈට කියවන්න හැකි වුණේ ඒ ඡේදය විතරයි. ඔව්, ඈ හිතනවා, මා සොයාගෙනත් මිනිහෙක් ඒවි. මාව මේ හැමදේකින්ම ඉවතට අරගෙන යාවි. මාත් දරුවනුත්, ඔව්. ඔහු ආදරෙන් මාව රැකබලා ගනීවි.”

ඈ ඉදිරියට පිය නගනවා. වතුර කෑන් එක ඇගේ උරහිසට බරයි. ඈ ඉදිරියටම යනවා. කෑන් එකේ වතුර හෙලවෙන සද්දෙ ළමුන්ට ඇහෙනවා. බාගයක් දුර ගියාම ඈ නතර වෙලා වතුර කෑන් එක බිමින් තියනවා.

ඇගේ දරුවෝ කනිපින්දම් ගසමින් ඒකට අත තියනවා. ඈ හිතනවා දූවිල්ල ඇතුළුවන නිසා එය විවෘත කරන්න බැරි බව. ගෙදර යනතුරු කෑන් එන අරින්න විදියක් නෑ.

‘ඉන්න,’ ඈ ළමුන්ට කියනවා, ‘ඉවසන්න.’

නැවතත් නැගිට ගමන් කරන්න ඈට සිදුවෙනවා.

ඈ හිතනවා, මගේ ගුරුතුමිය කිව්වා සුපිරි වෙළඳසැලටත් වැඩිය ලොකු පුස්තකාලයක් තියෙනවා කියල, පොත්වලින් පිරුණු මහ විශාල ගොඩනැගිල්ලක්. තරුණ ගැහැනිය ඉදිරියට පියවර තබන අතර ඇගේ මුහුණේ සිනාවක් ඇඳෙනවා; දූවිල්ල ඇගේ මුහුණට වදිනවා. මම දක්ෂයි, ඈ හිතනවා. ගුරුතුමිය කිව්වා මම දක්ෂයි කියල. මම තමයි මුළු පාසලේම ඉන්න දක්ෂතම සිසුවිය කියලයි ඈ කිව්වේ. මගේ දරුවොත් මං වගේම දක්ෂ වේවි. මම ඔවුන්ව පොත්වලින් පිරුණු තැනට, පුස්තකාලෙට අරන් යනවා. ඔවුන් පාසල් යාවි, ගුරුවරු වේවි ‐ මගේ ගුරුතුමිය කිව්වා මම ගුරුවරියක් වේවි කියලා. මගේ දරුවෝ මුදල් උපයමින් මෙහෙන් බොහෝ ඈත තැනක ජීවත් වේවි. ඒගොල්ල ලොකු පුස්තකාලය ළඟ පදිංචි වෙලා හොඳ ජීවිතයක් ගෙවාවි.
අර රුසියානු නවකතා කෑල්ල ඉන්දියානු කඩේ කවුන්ටරයට ආවේ කොහොමද කියලා ඔබ අහන්න පුළුවන්.

ඒක ලස්සන කතාවක් වේවි. සමහරවිට කවුරුන් හෝ ඒක කියාවි.

ගෙදර ගියාට පසු දරුවන්ටත් දීලා ඈත් වතුර බොන සිතිවිල්ල නිසා ඍජු වූ කය ඇතිව අර අසරණ කෙල්ල ඉදිරියට යනවා. අප්‍රිකානු නියඟයේ බියකරු දුහුවිල්ල මැදින් ඈ ඉදිරියට යනවා.

තර්ජනයට ලක්වූ අපේ ලෝකය තුළ, කිසි අඩුපාඩුවක් නැති නිසා උනන්දුව හීන වූ පිරිසක් අපි. උත්ප්‍රාසය, උපහාසය ඇතිකරන්න අපි හොඳයි. අප සමහර වචන, අදහස් යොදාගන්නෙත් නැහැ, ඒවා දැන් පරණවෙලා හින්දා. ඒත්, ප්‍රබලතාව හීනවූ සමහර වචන නැවතත් පාවිච්චියට ගන්න ඇතැම් විට අපට සිද්ධ වේවි.

මිසර ජාතිකයෝ, ග්‍රීකයෝ, රෝමානුවෝ දිහාවට නැවත හැරී බැලුවොත්, සාහිත්‍ය නිධානයක් අපට ලැබෙනවා. මේ සාහිත්‍යය දැනටමත් තිබෙන දෙයක්, වාසනාවන්තයෙකුට අහුවුණොත් මේ නිධානයෙන් නැවත නැවතත් අලුත් දේ සොයාගත හැකියි. නිධානයක්. හිතන්න, එය නොතිබුණාය කියා. අප කෙතරම් දුප්පත්, කොතරම් හිස් අය වනු ඇත්ද?

අපට භාෂා, කවි, ඉතිහාස රාශියක උරුමයක් තිබෙනවා. එය කෙදිනකවත් සිඳී යන්නක් නොවෙයි. එය සැමදාම එසේ තියේවි.
අපට තියෙනවා කතන්දර බූදලයක්. පැරණි කතන්දරකරුවන්ගෙන් ‐ අප දන්නා මෙන්ම නොදන්නා අයගෙන් ‐ ලැබුණු ඒවා. කතන්දරකරුවෝ ආපස්සට, ආපස්සට යනවා, වනාන්තරය තුළ එළිමහනක්, ඒ මැද දැල්වෙන ගිනිමැලයක්, ඒ වටා ගී ගයන, නටන මහළු මායාකරුවෝ ඉන්න තැනකට. මොකද, අපේ කතන්දරවල උරුමය ආරම්භ වන්නේ ගින්නෙන්, මායාවෙන් සහ මළවුන්ගේ ලෝකයෙන්. එතැන තමයි අද එය රැඳී තිබෙන්නේ.

ඕනෑම නූතන කතන්දරකරුවකුගෙන් ඇහුවොත් කියාවි, ඔවුන්ව ගින්නෙන් ස්පර්ෂ කළ මොහොතක් හැම විටම තිබුණාය කියා. අප එය හඳුන්වන්නට කැමැති වන්නේ නිර්මාණ ආවේශය කියායි. එය ආපස්සට, ආපස්සට අපේ ආරම්භය දක්වාම යනවා, අපවත් මහපොළවත් ප්‍රතිනිර්මාණය කළා වූ මහා සුළං ඇතිවන තැන දක්වාම යනවා.

අප හැම කෙනෙකුම තුළ කතන්දරකරුවෙක් සිටිනවා. කතන්දර නිර්මාණ කරන්නකු සැම විටම අප තුළ සිටිනවා. අප හිතමු අපේ ලෝකය යුද්ධයෙන් ‐ අප හැමටම පහසුවෙන් සිතින් මවාගත හැකි බියකරු දේවල්වලින් ‐ විනාශ වූවාය කියා. අපි හිතමු ජල ගැලුම්වලින් අපගේ නගර සේදී ගියාය, මුහුදු ගොඩ ගැලුවාය කියා. නමුත් කතන්දර කියන්නා හැම විටම ඉන්නවා. මන්ද, හොඳටත් නරකටත් දෙකටම අප හැඩගස්වන්නේ, ජීවත් කරවන්නේ, නිර්මාණය කරන්නේ අපගේ පරිකල්පනයයි. ඉරී ගිය, වේදනාවට පත්වුණ, විනාශයට පවා පත්වුණ අප යළිදු ප්‍රතිනිර්මාණය කරවන්නේ අපගේ කතන්දර විසිනුයි. සිහින නිර්මාණය කරන්නා, විය නොහැකි දේ නිර්මාණය කරන්නා වන කතන්දර කියන්නා තමයි අපගේ ෆීනික්ස් කුරුල්ලා වන්නේ, ඔහු තමයි අපව හොඳින්ම නිරූපණය කරන්නේ, ඔහුයි අපගේ නිර්මාණශීලීත්වයේ මුදුන්මල්කඩ වන්නේ.

තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නට සිහින දකිමින් දූවිල්ල මැදින් වෙහෙසකර ගමනක් යන අර අසරණ කෙල්ල ‐ අප ඈට වඩා හොඳින් සිටිනවා යැයි ඔබ හිතනවාද? ඇති තරම් කන්න තිබෙන, අල්මාරි පිරෙන්න ඇඳුම් තිබෙන, හුස්ම හිරවෙන තරම් අතිරික්තයක් තිබෙන අපි?
ඒ කෙල්ලත්, දින තුනකින් ආහාරයක් නැතිව සිටිද්දී පවා පොත් සහ අධ්‍යාපනය ගැන කතාකළ ගැහැනියත් අපව නිර්වචනය කරන බවයි මා හිතන්නේ.

(මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතිය අදින් අවසන් වේ.)

මොහාන් ධර්මරත්න පරිවර්තනයක්

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...