“සවුදි අරාබිය අන්තවලින් පිරි ලෝකයකි. වසරේ එක් කාලයක පවතින දැවෙන උණුහුම සහ එහි අවසානයේ හටගන්නා ගල්ගැහෙන සීතල අතර දෝලනය වන කාන්තාර දේශගුණය මෙන් එහිදී හමුවන මිනිසුන්ගේ ගුණාංගයන් ද සීමාන්තිකය.” -‘කැකෑරෙන වැලි’ ,මොහාන් ධර්මරත්න
සවුදිය …. සවුදි අරාබිය යැයි කියවෙන විටම අපේ හිතට නැඟෙන්නේ මහා දාහයකින් ගිනි වැදුනු කතරක්…ගිනියම් හිරු කිරණ මඟහරිමින් කෙම්බිම් සොයා ඇදෙනා මිරිඟු දිය වන් බොර තෙල්.. තෙල් නිධි…ඒවාටත් අමතරව අභ්‍යන්තරික භූ තලය වසාගත් රන් ආකර… නෙත් කෙවෙනි අවුලුවා සදා අන්ධකාරයේ තැබිය හැකි දුහුවිලි කුණාටු…. දහවල් දාහයෙන් කැකෑරුන රුහිරු, ඇට ඇටමිදුළු අස්සේ කකියවන හීතලෙන් මුදවාලන, ඔටුවන් මත නැඟී වාලුකා මරුකතර හරහා සිදුවන රාත්‍රී සංචාර….මේ ආදී වූ සිනමා පට වල මෙන් දිගහැරෙන ඝෝර, කටුක භූ විෂමතා වලින් හෙබි තවමත් රාජකීය අණසකට යටත්ව සෙසු ලෝකය හා ගණුදෙනු කරනා සුවිසල් බලවත් රාජ්‍යයක්. ඒ සවුදි අරාබිය.
ලපටි වියේදී අප විනෝදාස්වාදයෙන් රසවිඳි ‘ඇලඩින් ගේ පුදුම පහන’ , ‘අලි බබා සහ හොරු හතලිහ’ වැනි විශේෂයෙන් දකුණු ආසියාතික දරුවන් ප්‍රිය කල කතාන්දර මෙන්ම පසුව එම රාජ්‍යයන් අලලා බිහිවූ සිනමා නිර්මාණයන් හරහා වැඩිමනත් හුරුවක් අරාබිකරය සම්බන්ධයෙන් අපට ලැබුනි.
ඒ කෙසේවෙතත් ලංකාව නම් අප රටට දහදිය, කඳුළු , රුහිරු ශ්‍රමය ලෙස වැටුප් කර අප දන්නා කාලයක පටන් තවමත්
රාජ්‍ය ආර්ථිකයේ වැඩි දායකත්වය දරමින් විදේශ විනිමය උපයා සපයා දෙන්නේ අරාබිකරයේ සේවයේ නියුතු අපේ සොයුරු, සොයුරියන් ය. එහිදී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට වඩා බහුලව නුපුහුණු ශ්‍රමිකයන් රාශියකගේ දෛනික ශ්‍රමය තවදුරටත් මේ කැකෑරෙන වැල්ලට කාණ්දු වෙයි. ඇතැම්විට ජීවන බර කරපින්නා ගත් දහසකුත් ආත්මයන් මේ කැකෑරෙන වැල්ලේ රහසිගත ව හුදකලාවේ සැඟව යන අවස්ථා ද බොහෝය. නිශ්චිත ව නම් කල නොහැකි ගණයන්ට යටත් රාජකාරි වලින් යුතු ගෘහ සේවයේ යෙදෙන ආසියානු කාන්තාවන් අපමණ හිරිහැර අඩම්තෙට්ටම් වලට නිරන්තරයෙන් ම ලක් වෙමින් පුහුණු නුපුහුණු ලෙසින් එම ශ්‍රම බලකායේ වැඩි දායකත්වයක් දරයි. කම්කරු, විදුලි කාර්මික ආදී පහළ රැකියා තනතුරුවල සිට ඉහළ ඉංජිනේරු , කළමණාකරු තත්ව දක්වා විවිධ වෘත්තීය සුදුසුකම් යටතේ ලංකාව ඇතුලු බොහෝ ආසියාතිකයින් කටුක පහසුකම් සහිතව නමුදු ඉහළ වැටුප් ආදායම් සොයා නොනැවතී සවුදිය වෙත ඇදෙනු තවමත් දැකිය හැකියි.
අරාබිකරයේ ‘කැකෑරෙන වැල්ල’ හා සමඟින් එහි දිවිගෙවන්නවුන්ගේ ජීවිත ගැන එහි සේවයට ගොස් පෙරළා පැමිණෙනවුන්ගෙන් අපි අතීතයේ අසා දැනගත්තද ඇතැම් තොරතුරු සාවද්‍ය විය හැකි අවස්ථාවන්ද පවතින්නේ අදාල පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය එහි සියුම්ව සංවේදීව යටපත්ව තිබිය හැකි නිසාවෙනි. වරින් වර ජන මාධ්‍ය හරහාද පුවත් ලෙස අරාබි විත්ති අප අහුලා ගත්තද සවිස්තරාත්මක අවබෝධාත්මක අත්දැකීමක් අපිට එයින්ද ලබාගනු උගහටය.
නමුත් පසු කාලීනව මා හට, ෂෝන් සැසොන් Jean Sasson විසින් රචිත Princess: A True Story of Life Behind the Veil in Saudi Arabia නම් කෘතිය ඇතුලු ඒහා බැඳුණු අනෙකුත් කෘතීන් වලට තුති වන්නට සවුදි වාලුකා කතර වසාගත් මිරිඟු වේලය යම්තාක් ඉවත්කර එහි සැබෑ තතු ඔවුන්ගේම ජීවන අන්දරයන් හරහා උකහා ගත හැකිවිය…
එහෙත් එම කෘතින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබූ අතර ඉන් සමහරක් සිංහලයට පරිවර්තනය ව ඇති බව අනතුරුව දැන ගත්තද ලාංකීයකු අරාබි රාජ්‍යය අලලා සිංහල භාෂාවෙන් ලියන ලද කෘතින් අප අතර බොහොම අල්පය.
එවැනි අධ්‍යයනික අවශ්‍යතාවක් මතු වුනු අවස්ථාවක දී ඒ කැකෑරෙන සිහිනය අවසානයේ කෙසේ හෝ උදාපත් විය.
මින් පෙරද කෘතින් ගණනාවක් ම ලාංකීය පාඨකයන් ට පිරිණමන ලද දක්ෂ කතුවරයකු ලෙස හඳුනාගත් මොහාන් ධර්මරත්නගේ “කැකෑරෙන වැලි” මේ සුවිශේෂී කෘතියයි. 2022 වසරේ බුක්ස්බේ booksbay ප්‍රකාශනයක් ලෙස නිකුත් කරන ලද මේ නිර්මාණය හුදෙක් ලේඛකයාගේ සවුදි රාජ්‍යයේ සේවයේ නියුතු කාලයේ ලද පුද්ගලික අත්දැකීම් අලලා සම්පාදනය කල ගවේෂණාත්මක කෘතියකි.
ආරම්භයේ පටන් සවුදි අරාබියේ ඓතිහාසික පසුබිමේ සිට භූගෝලීය, ආගමික, සාමාජීය, සංස්කෘතික , ආර්ථික සහ නොයෙකුත් අප නොසිතන තරම්වූ කාරණා මාතෘකා ලෙස උලුප්පා දැක්වීමට තරම් ඒවාට ප්‍රබල හැකියාවන් ආරෝපණය කරමින් ඒවා මෙම කෘතිය පුරාවට සීරුවෙන් පෙළ ගස්වා තිබේ.
ගිලිහී ගිය සිය බලය ඔටෝමන් රාජ්‍යයෙන් සහ අනෙකුත් අරාබි ගෝත්‍රිකයන්ගෙන් නැවත අත්පත් කරගැනීමට 1899 සිට 1912 දක්වාම සවුද් පෙළපත සටන් වැදිණි. 1902 දී අබ්දුල් අසීස් ඉබන් අබ්දුල් රහ්මාන් ඉබන් සවුද්ගේ වහාබි හමුදාවෝ සවුදි අරාබියේ වර්තමාන අගනුවර වන වන රියාද් ආක්‍රමණය කර ජය ගථ. 1913 වර්ෂයේ සිට, අල්-හසා සහ කතීෆ් යටත් කරගනිමින් අබ්දුල් අසීස් අහිමිවී ගිය සිය රාජධානිය නැවත අත්පත් කරගැනිම ආරම්භ කළේය. මේ අතරතුර, 1914 දී පළමුවැනි මහා ලෝක සංග්‍රාමය ඇරඹිණි. අරාබි අර්ධද්වීපයෙන් ඔටෝමන් අධිරාජ්‍යය අතුගා දැමීමේ අශාවෙන් සිටි බ්‍රිතාන්‍යය, ඊට අවශ්‍ය ආයුධය ඇත්තේ අරාබි අර්ධද්වීපය තුළ ම බව වටහා ගත්තාය.
පි.අ.34
අරාබිකරය සම්බන්ධව අධ්‍යයනික හැදෑරීමකට හෝ එහි සේවයේ නිරත වීමට අපේක්ෂාවෙන් සිටින හෝ කලක් එහි ජීවත් වීමෙන් ලද අත්දැකීම් පුනරාවර්ජනය කිරීමට අවැසි වූවන්ටද මේ කෘතිය පුරාවට හිඳීමෙන් ඉඩ හසර නිසඟයෙන්ම ලැබෙනු ඇත.
ලෝකයේ මුළු ඛනිජ තෙල් සම්පතෙන් හතරෙන් එකක් ම අනාවරණය කරගැනීමේ සහ පාලනය කිරීමේ වගකීම සවුදි ඇරම්කෝව විසින් ඉටුකරනු ලබයි. එය විසින් සවුදි අරාබි භූමිය තුල ප්‍රථම වානිජ පරිමාණයේ බොරතෙල් නිධිය සොයාගනු ලැබුවේ 1938 දී ය. මේ වන විට ඔවුන් විසින් අනාවරණය කරගෙන සිටින තෙල් සහ ගෑස් නිධි සහිත භුමි කලාප 90 ක් වන අතර, එයින් හතරෙන් එකක් පමණ ම සොයා ගනු ලැබුවේ 1989 න් පසුවය. සවුදි අරාබියේ දේශීය අවශ්‍යතා සඳහා රස්තනූරා, රියද්, ජිද්දා, රබිග් සහ යන්බු යන ඛනිජතෙල් පිරිපහදු වලින් පෙට්‍රෝලියම් නිෂ්පාදනයන් සිදු කෙරේ.
පි.අ.36
බහු වාර්ගික සංක්‍රමණිකයන් සවුදි රාජ්‍යය තුල මුහුණ දෙන නානාවිධ අභියෝග හා බැඳුනු කෙටි මෙන්ම විස්රාත්මක සටහන් සරල බසින් ඉදිරිපත් කිරීම ඕනෑම වර්ගයේ පාඨකයෙකු හා පෑහේ.
” ඔබ ඇත්තටම සවුදි ජාතිකයෙක්ද, නැතිනම් සංක්‍රමණිකයෙක්ද?” මම ඔහුගෙන් ඇසුවෙමි.
” මම අල්-හසා වල මුල්ම සවුදි පරපුරකින් පැවත එන කෙනෙක්….” අලි පිළිතුරු දුන්නේය. සිය නිජබිම වන අල්-හසා ගැන බොහෝ තොරතුරු පැවසීමෙන් පසුව, මා කිතුනුවෙක්දැයි අලි මගෙන් ඇසීය.
“බෞද්ධයෙක් කියලා කිසිම වෙලාවක කියන්න එපා ….” මා ලංකාවෙන් පිටවීමට පෙර විදේශ රැකියා නියෝජිතායතනයෙන් මට එසේ උපදෙස් දී තිබිණි. ” කවුරුහරි ඇහුවොත් කියන්න ක්‍රිස්තියානිකාරයෙක් කියලා.. “
එහෙත් ඒ මොහොතේ මගේ ආගම සම්බන්ධයෙන් අලි ට බොරු කීමට හිත හදාගන්නට මට නොහැකි විය. ” මම බෞද්ධයෙක්…” මම අලි ට කීවෙමි. ඔහු මගේ දකුණත අල්ලාගෙන සහෝදරත්වයෙන් එය දැඩිව ග්‍රහණය කළේය.
“මම මුස්ලිම් ..” මඳ සිනා පාමින් අලි කීවේය. “අල්ලා, ජේසු, බුදුන්… මේ හැමෝම සාමයෙන් ජීවත්වෙන්න කියා දුන් අය.. හරිනම් අපි සහෝදරවරු වෙන්න ඕනේ…” මගේ අත අල්ලාගෙන අලි කීවේය.
පි.අ.64/65
අපට ලෙංගතු මෙන්ම ආගන්තුක වූ අරාබියේ විත්ති සජීවී ලෙස ගෙන හැර දක්වන අතරම සේයාරූ එක් කිරීමෙන් කෘතියේ රසවත් බව නොනැසී පවත්වාගෙන යාමට කතුවරයා කටයුතු කර ඇත.
‘අලිබබා සහ හොරු හතළිහ” කතාව ලොවට දායාද කළේ හෆූෆ් නගරයයි. හෆූෆ්හි තවමත් ආරක්ෂා වී තිබෙන වැලිගල් සහිත ගුහා සංකීර්ණයක් ඇත. මිනිස්සු විශ්වාස කරන්නේ මේවා ‘අලිබබා සහ හොරු හතළිහ’ කතාවේ එන හොරුන්ගේ හොරබඩු නිධන් කර තිබු ගුහාවල් හැටියටයි. මේ ගුහා ඇතුළත මිනිසෙකුට කෙලින් ඇවිදීමට තරම් විශාල වන අතර , ඇතැම් ගුහා තුළ විශාල ප්‍රමාණයේ බසයක් වුවද සඟවා තැබිය හැකිය. ඒ පැත්තේ වෙසෙන අරාබි ජාතිකයන් පවසන්නේ නිදන් සොයමින් මේ ගුහා තුළට රිංගා ඈතට ගිය කිසිවකු නැවත එලියට නොපැමිණි බවය.
පි.අ. 181
ධනයෙන් බලයෙන් ආඩ්‍යවූ මෙම රාජ්‍යය තුල විමසිලිමත් ඇසකට හසුකර ගතහැකි සංවේදී විෂමතාවන් හා අඳුරු පැතිකඩක විහිදීගිය සවුදි නිරුවත විවිධ මානයන් ඔස්සේ කතුවරයා පාඨකයා දැනුවත් කිරීම හරහා සමාජයට ඉදිරිපත් කිරීමට එක් පසෙකින් සූක්ෂම ව කටයුතු කර ඇත.
සවුදි අරාබිය යටිතල පහසුකම් අතින් කොතරම් දියුණුවක් ලබා සිටින්නේද යන්න පිළිබඳව සවුදි ජාතික ඇරම්කෝ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු තමා සමඟ පුරසාරම් කී බවට හස්නයින් වරක් මා සමඟ කීවේය. අවුරුදු පනහකට පෙර ඔවුන්ගෙන් මහාමාර්ග, සන්නිවේදන ක්‍රම සහ කර්මාන්ත පැවැති ස්වරූපය සහ අද වනවිට ඒවා කෙතරම් දියුණු වී වර්ධනය වී තිබෙන්නේද යන්න ගැන ඔවුහු සාකච්ඡා කොට ඇත. එවිට හස්නයින් ඔවුන්ගෙන් විමසා ඇත්තේ පසුගිය අවුරුදු පනහ තුළ සවුදි අරාබිය විශ්ව විද්‍යාල කීයක් ගොඩනඟා තිබෙන්නේද කියා ය. එක්දහස් නවසිය තිස්ගණන් වල සිට සවුදි අරාබිය පොළොවෙන් පිටතට ඇද ගනිමින් සිටින මහා වස්තු සම්භාරයට සාපේක්ෂව අද වනවිට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල පනහක් පමණ රාජධානිය පුරා ගොඩනැඟී තිබිය යුතු වූවත්, එහි ඇත්තේ විශ්වවිද්‍යාල දෙකතුනක් පමණක් වීම ලජ්ජාවට කරුණක් යැයි හස්නයින් ඔවුනට පවසා ඇත.
බොහොමයක් නුගත් සවුදි ජාතිකයෝ විදේශික සේවකයින්, විශේෂයෙන්ම ආසියාතිකයින් වෙත දක්වන්නේ මානාධික ආකල්පයකි.ඉන්දියානුවන්, පකිස්ථානුවන්, ලාංකිකයන් සහ බංග්ලාදේශීන් යනු ඔවුන්ගේ වැඩ කරවා ගැනීමට ගෙන්වාගෙන තිබෙන වහලුන් පිරිසක් හැටියට ඔවුහු දකිති. මේ විදේශිකයා කරදරයට පත්කිරීමට, ඔවුන්ගෙන් සොරකම් කිරීමට, ඔහුට ගැහැට ගෙනදීමට පමණක් නොව ඔහුව ඝාතනය කිරීමට පවා අනුල්ලංඝනීය අයිතියක් තමාට ඇතැයි ඔවුහු සිතති. කාලාන්තරයක් තිස්සේ සමාජයක් ලෙස වහලුන් ප්‍රවාහනය, වෙළඳාම සහ ගෘහයන් සහ වෙනත් ස්ථානවල සේවයට වහලුන් යොදාගැනීමෙන් ලැබූ මානසික අභාෂය එමඟින් මනාව චිත්‍රණය කරයි.
පි.අ.220
තවත් බොහෝ පරම්පරා ගණනාවක් ඉදිරියට ද සවුදිය පුරනු හැකි ආර්ථිකයකට හිමිකම් කියන මේ ධනකුවේරයන්ගේ ආගම නැමති කඩතිර අතරේ සැඟවගත් වරින් වර පුපුරා හරින සමාජීය පීඩනය හා අසහනකාරී මිනිස් පැවතුම් එකින් එක ලෙහා දක්වමින් වාලුකා කතරේ කැකෑරුම සජීවී බසකින් තීවෘව ගෙන දැක්වීමට මෙම කෘතිය සමත් ව ඇත.
ක්‍රිස්තු වර්ෂ දෙදාහ වනවිටත් කැමරාවක් අඩංගු ජංගම දුරකථන සවුදි අරාබියේ තහනම් භාණ්ඩයක් විය. එය නීත්‍යානුකූල කළ සැනින් කැමරා දුරකථනය සෑම සවුදි ජාතිකයකුගේම අතේ සාමාන්‍ය භාණ්ඩයක් බවට පත් විය. මා දැනසිටි බොහොමයක් සවුදීහු සිය දුරකථනයේ අසැබි වීඩියෝ දර්ශන තබාගෙන සිටියහ. ඔවුන් ඒවා නැරඹීමට කෙතරම් ඇබ්බැහි වී සිටියේද යන්න විශ්වාස කිරීමට පවා අපහසුය. අනෙක් අතට, ඔවුන්ගේ දුරකථනවල රිං ටෝන් ලෙස යොදා තිබුණේ ඉස්ලාමික යාඟ්දාවන් ය. ඇවිදින පල්ලි වැනි සවුදි ජාතිකයෝ මෙවැනි දුරකථන සාක්කුවේ දමා ගෙන යති.
(….)ගල්ෆ් මුහුදේ පිහිටි බහරේන් දිවයින සවුදි අරාබීනට ළඟම ඇති සමාජ හා සංස්කෘතික ක්ෂේම භූමියයි. ‘බහරේනය මොනවගේ රටක්දැයි’ වරක් සවුදි ජාතිකයෙකුගෙන් විමසූවිට ඔහු දුන් පිළිතුර වූයේ, ‘ඒක නිදහස් රටක්’ යන්නයි. තවත් එක් මුස්ලිම් රටක් වන බහරේනය සවුදි ජාතිකයාගේ දැක්මට අනුව ‘ නිදහස් රටක්’ වූයේ කෙසේද? ඔවුනට අවශ්‍ය සෑම දෙයක්ම බහරේනයේ ඇත. සවුදි අරාබියේ දී ලබාගත නොහැකි ඕනෑම දෙයක් බහරේනයේදී ඔවුනට ලබාගත හැකිය. සෑම බ්‍රහස්පතින්දාවක්ම දමාම් හි වීදි දිගේ ඇදෙන දීර්ඝ වාහන පේලි ‘ෆහඩ් රජ දියමංකඩ’ හෙවත් බහරේන් පාලම වෙත දිවෙනු දැකිය හැකිය. සෑම වර්ගයකම මද්‍යපානයන් සහ ගැහැනුන් සමඟ විනෝද වීමට සවුදීහු සති අන්තයේ බහරේන් බලා යති.
පි.අ.230
සවුදි හෝ සවුදි නොවන බව නොසලකමින් එක් කොන්ත්‍රාත්තු සේවකයකු සඳහා ඇරම්කෝව රියාල් දෙදහසේ සිට හාරදහස දක්ක්වා ඔවුන් යොදවා ඇති ආයතනවලට ගෙවනු ලබයි. එම මුදල සේවකයාගේ අතට යනවිට එහි මුල් අගයෙන් සීයට විස්සේ සිට හතළිහ දක්වා ප්‍රමාණයට හැකිළෙන්නේය. මේ ගැටෝ කේක් කෑල්ලේ රතු චෙරි ගෙඩිය සහිත ලොකුම කොටස සවුදි ඇරම්කෝවට සේවකයන් සපයන කොන්ත්‍රාත්කරුවා කඩාගනියි. මෙය වර්තමාන සවුදි අරාබියේ බොහෝ දියුණු ව්‍යාපාරයකි. ‘සවුදිකරණය’ ව්‍යාපෘතියට පින්සිදු වන්නට , ඇතැම් සූක්ෂම සවුදි ව්‍යාපාරිකයෝ කොන්ත්‍රාත් පදනමින් ඇරම්කෝවට සේවකයන් සැපයීම හරහා ප්‍රකෝටිපතියන් ලෙස යලි ඉපදී ඇත.
පි.අ.216
‘කැකෑරෙන වැලි’ ලෙස මොහාන් ධර්මරත්නයන් නම් තබන ලද මෙම කෘතිය හුදෙක් සිය අරාබියේ සේවයෙහි නියුතු කාල සීමාවේ දී ඔහු විසින් විනෝදාස්වාදය පිණිස තබන ලද සටහන් එකතුවක් ලෙස හඳුන්වා දී තිබුනද එය සැබවින්ම සවුදි අරාබිය පිළිබඳව සැකවින් ලියන ලද අත් පොතක් ලෙස මෙම කෘතිය රසවිඳින පාඨක ඔබ සිතනු නොඅනුමානය. සවුදිය සියලු ආකාරයෙන් හකුළුවා කැටිකොට සම්පාදනය කරන ලද පිටු 232 කින් සමන්විත එවන් සවිස්තරාත්මක ග්‍රන්ථයක් ඔබට හමු නොවනු ඇත.
කැකෑරෙන වැලි- සවුදි සටහන්
මොහාන් ධර්මරත්න
සීමාසහිත බුක්ස් බේ(පුද්) සමාගම