භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ
මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 8 කොටස.
මට තේරෙන්නෙ නැහැ. හුඟක් දේ ගැන අපි දන්නෙ නැහැ. ඔබ දන්නවද, අප තුළ ක්‍රියාත්මක වන බොහෝ දේවල් අපට තේරෙන්නෙ නැහැ. ඒකයි ඇත්ත. අප එය මතක තියාගන්න ඕන, මොකද, මේ හැම දෙයක්ම මහා අබිරහසක් – ඇත්තටම. එය තමයි මාව අරගෙන ආවේ (යහපත් ත්‍රස්තවාදියා) ලියන්න.
විවාහ කතාව අවුරුදු දහයක් තිස්සේ මගේ හිතේ කැරකෙමින් තිබුණා. අඩුම වශයෙන් අවුරුදු දහයක්වත් – ඒ තරම් කාලයක් යනතුරු මට ඒක ලියන්න පුළුවන් වුණේ නැහැ. යහපත් ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් වුණේ ඊට එහෙම පිටින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්. මම මිතුරෙක් එක්ක දුරකථනයෙන් කතා කරමින් හිටියා – හැරඩ්ස් බෝම්බ ප්‍රහාරය ගැන; ඒක ඒ දවස්වල මොන තරම් විශාල සිද්ධියක්ද කියලා අද වෙනකොට කාටවත් මතක නැහැ. හැරඩ්ස්වල සිද්ධ වුණේ බොහොම අවුල්සහගත, අදක්ෂ බෝම්බ ප්‍රහාරයක්.
අපි දන්නා එක්තරා ගෑනු ළමයෙක් හිටියා; ඈ ටිකක් තේරෙන කාලයේ ඉඳලා කිව්වේ අමුතු කතා. යහපත් ත්‍රස්තවාදියා නවකතාවේ ඇලිස් බවට පත්වුණේ ඇයයි. ඒ මන්ද කියනවානම්, ඈ කියනවා, ‘විප්ලවය ඒවි. අපට මිනිස්සු මිලියන හතලිහක් විතර මරන්න වෙනවා’. එහෙම නැතිනම්, ‘විප්ලවය ආවම අපට සිද්ධවෙනවා…’ ඔන්න ඔය වගේ විප්ලව කතා; හැබැයි එහෙම කියන ගමන් ඈ බළල්ලු, බල්ලෝ, වයසක මිනිස්සු, තල්මස්සු, ඔය ඕනෑම කෙනෙක්ව බලාකියා ගන්නවා. මේක මට පෙනුණේ තනිකරම, විප්ලවවාදී ව්‍යාපාරයක සාරය මෙතැන තියෙනවා නොවේද කියල. ඔවුන්ටත් තියෙන්නේ මේ වගේ ද්විත්ව වැඩපිළිවෙලක්. එකක් ධනපතියන් 30,000 ක් විතර දෙවුර හකුළුවන තරම් සුළු මොහොතකදී විනාශ කරලා දාන ගමන්, අනිකෙන් ඒගොල්ල ඉබාගාතේ යන බළල්ලු රැකබලාගන්නවා.
දැන් අපි කාලයක් තිස්සේ දන්න මේ ගෑනු ළමයා ඒ දවස්වල, කොහේ හරි ඉන්න ‘විප්ලවකාරයෝ’ රොත්තක් බලාකියා ගත්තා; ඈ ඔවුන්ට කන්න බොන්න දුන්නා, රැක බලා ගත්තා, ඔවුන් වෙනුවෙන් මුදල් ඉපයුවා, ඔවුන්ට රැකවරණය දුන්නා, ඔය විදියේ මහ ගොඩක් දේවල් කළා. ඒ ඔක්කොම කළේ, විප්ලවය ආවම මිනිස්සු මිලියන දහයක් මරා දමන්නත් ලෑස්ති පිට.
ඉතින්, මමයි මගේ මිත්‍රයයි හැරඩ්ස් බෝම්බ ප්‍රහාරය ගැන අවඥාවෙන් කතා කළේ, ‘මොන යකාටද මේ වගේ මෝඩ ලේ වැගිරීමක් කරන්න හිතෙනවා ඇත්තේ?’ කියලා. එතැන මහා ලේ ගොඩක්, එහෙම පිටින්ම අවුල් ජාලයක්… වැඩකට නැති මිනී මැරීමක්. ඒ කාලේ අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව මේ වගේ දේකට බොහොම ලේසියෙන් තමන්ගේ නම ගාවාගන්න කැමති වෙනවා; ඒත් ඒගොල්ල ක්ෂණිකවම කිව්වා, ‘නෑ, ඒක කළේ අපි නෙවෙයි,’ කියලා – අපිනම් මේ වගේ ජරා වැඩක් කරන්නෙ නෑ කියන ස්වරයකින් තමයි ඒ අය ඒක ප්‍රතික්ෂේප කළේ. මම කියන්න අදහස් කළේ, ඒගොල්ල හැරඩ්ස් ප්‍රහාරය වගේ දෙයක් කරනවා නම් ඒක හරියාකාරව කරාවි. ඉතින් අපි කිව්වේ, ‘මම කියන්නම් මේක කාගේ වැඩක්ද කියලා – ඇලිස් තමයි මේ වැඩේ කෙරුවේ! ඇත්ත වශයෙන්ම, වෙන කවුද? ඒ වගේ මෝඩ, අදක්ෂ, අවුල්සහගත දෙයක් වෙන කවුද කරන්නේ?’
මම දුරකථනය තියලා කල්පනා කළා. මගෙ දෙයියනේ! මෙන්න කතාව!
මම ඒක ලියන්න පටන් ගත්තා. විවාහ නවකතාව ලියන්න අවුරුදු දහයක් ලෑස්ති වෙවී හිටපු මම, පස්වැනි දරුවා ලියන්න කොයිතරම් කාලයක් ලෑස්ති වුණාද කියලාවත් නොදන්න මම, කෙලින්ම යතුරුලියනය ළඟට ගිහිල්ලා යහපත් ත්‍රස්තවාදියා ලියන්න පටන් ගත්තා – කිසිම විවේකයක් ගන්නෙ නැතිව. ඒ මොකද? මම කියන්න දන්නෙ නෑ. මේක හරි අමුතු සෙල්ලමක්, මේ වැඩේ එහෙම පිටින්ම අමුතුයි.
පොතක් ලියන්න යන වෙලාව, කතාවක් හිතන්න යන කාලය, කතාව පිළිබඳව කෙතරම් ගැඹුරට සිතිය යුතුද, කතාව මොන මට්ටමින් තිබිය යුතුද… විවාහ නවකතාවෙදි මම ලේඛකයකු හැටියට මට යන්න පුළුවන් උපරිම ගැඹුරට ගියා. යහපත් ත්‍රස්තවාදියා කියන්නේ බොහෝදුරට මතුපිටින් යන කතාවක්. එක්තරා යුගයක මම කොමියුනිස්ට්වාදියෙක්. කොමියුනිස්ට් කණ්ඩායම් ගැන, වාමාංශික කණ්ඩායම් ගැන, ඔය වගේ හැම ජාතියකම කණ්ඩායම් ගැන මම දන්නවා. ත්‍රස්තවාදී කණ්ඩායම්වල භාවිත කෙරෙන භාෂාවට අතිශයින් සමානයි ඒ කෘතියේ භාෂාව. මම හිතන්නේ, මම දැන් යහපත් ත්‍රස්තවාදියා ගැන බොහොම රසවත් දෙයක් කියන්න ඕන.
යහපත් ත්‍රස්තවාදියා පළ කරපු හැටියෙම මට ලියුම් මහ ගොඩක් ආවා. පළවැනි ලියුම ඉතාලියේ රතු බලකායෙන්. (Red Brigade – ඉතාලියේ සිට ක්‍රියාත්මක වන මාක්ස්-ලෙනින්වාදී අතිවාම සන්නද්ධ කණ්ඩායමකි.) මිනිස්සුන්ට රතු බලකාය මතකද කියලා මම දන්නෙ නැහැ. ඒගොල්ල ත්‍රස්තවාදී කණ්ඩායමක්, ත්‍රස්ත ව්‍යාපාරයක්. අතිශයින්ම ප්‍රචණ්ඩ, බිහිසුණු, අණුකම්පා විරහිත කණ්ඩායමක්. මට ලැබුණු ලියුමේ මෙහෙම තිබුණා – ‘මම රතු බලකායේ සාමාජිකයෙක්ව හිටියා.’ – ඒත් ඔහු යම් හේතුවක් නිසා ඉන් ඉවත් වෙලා ගිහින්. ඔහු කියනවා, ‘මාත් එක්ක වැඩ කළ හැම කෙනෙක්ම එක්කෝ මැරිලා, නැතිනම් හිරේ. මම වෙන්න ඇති ඊළඟ මිනිහා.’ ඔහු ආයෙත් මෙහෙම කියනවා, ‘මම දන්නෙ නැහැ ඔබට මේක වැටහේවිද කියලා; ඒත් යහපත් ත්‍රස්තවාදියා කතාවේ ඔබ ලියලා තියෙන්නේ රතු බලකාය බරපතල ලෙස හිතන්න ඉස්සරින් වැඩ කළ විදිය. ඒගොල්ල එහෙමයි – වැඩ අවුල්, මෝඩයි, ආධුනිකයි. ඊට පස්සේ ඒගොල්ල වෙනස් වුණා…’ ඔහු කියාගෙන යනවා, ‘භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ’ කියලා – මට ඒක කොහොමටවත් අමතක වෙන්නෙ නැහැ – ‘භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ. ඊට පස්සේ ඔවුන් දරුණු මිනීමරුවෝ බවට පත් වුණා.’
භාෂාව, පොත් දහස් ගණනක තියෙන ඒ භාෂාව, ඒ හැම දෙයක්ම; ‘විප්ලවය ආවම අපි මිලියනයක් මිනිස්සු මරලා දානවා’ ජාතියේ භාෂාව. ඒ භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ. ඔබ හිතලා බැලුවොත්, බොහොමයක් එකිනෙකට වෙනස් සංගම්, සමාජ, පංති ආදියට ඔවුන්ගේම වූ භාෂාවක් තියෙනවා. මම අදහස් කරන්නේ, උදාහරණයක් විදියට ඉහළ සමාජ පංතිය නිතරම වෙනත් කිසිම කෙනෙකුට අනුකරණය කරන්න බැරි භාෂාවක් නිර්මාණය කරනවා. නැගෙනහිර ලන්ඩනයේ ඉන්න කණ්ඩායම් – ඒගොල්ලත් එහෙමයි; ඒ අය භාෂා නිර්මාණය කරනවා. සමහර තරුණ කණ්ඩායම් ඉන්නවා, ඒගොල්ල හදන භාෂාවල් වෙනත් කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැහැ.
මම අනිවාර්යවෙන්ම නගන ප්‍රශ්නයක් තමයි, මේ භාෂා ඔවුන් මත බලපැවැත්වෙන්නේ කොහොමද කියන එක. මොකද; ඒවායින් සමහර භාෂා ඉතාමත් රළුයි, ක්‍රෑරයි. ඒවායින් යම් බලපෑමක් ඇති නොවෙනවා කියලා හිතන්න බැහැ. මගේ ප්‍රශ්නය, මොනවගේ බලපෑමක්ද? ඔන්න තවත් ලියුමක – යහපත් ත්‍රස්තවාදියා නවකතාව ගැන අයර්ලන්තයෙන් ලියුම් මහ ගොඩක් ආවා; මොකද, ඒ දවස්වල ඇමරිකාවේ, යුරෝපයේ, අයර්ලන්තයේ විප්ලවකාරයෝ පිරිලා හිටියා. අයර්ලන්තේ හිටියා IRA (Irish Republican Army – අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව හෙවත් අයර්ලන්ත ගරිල්ලෝ.). මේ හාදයා මගෙන් අහනවා, ‘ඔබ ඇඳගෙන ඉන්නේ හරි නිල ඇඳුමද කියලා ඔබ හිතලා බැලුවද?’ – ඇත්තටම මම ඇඳගෙන හිටියේ ජීන්ස් වගේ එකක් වෙන්න ඇති – ‘ඔබ කතාකරන්නේ ඒ වචනවලින්ද, ඔබ ඉන්නේ ඒ ගෙවල්වලින් එකකද, එහෙනම් ඔබ විප්ලවවාදියෙක්! වෙන මොනවත් දේශපාලන වැඩක් කරන්න ඕන වෙන්නේ නැහැ.’
ඔහු කියනවා, ‘අයර්ලන්තේ ගෙවල්වල ඉන්නවා සාමාන්‍ය පෙළපාලියකට වැඩි දේකට නොගිය අය. ඒ වුණත්, ඒගොල්ල විප්ලවකාරයෝ. කාරණේ තමයි, ඒගොල්ලන්ට යම්කිසි තත්ත්වයක් තියෙනවා: ඔබ විප්ලවවාදියෙක් නම්, ඔබ නිකම්ම නිකං බැංකු ලිපිකරුවෙක්වත්, කඩේක වැඩකරන කෙනෙක්වත් නෙවෙයි, විප්ලවවාදියෙක්. ඔබ ඒ තත්ත්වය ලබාගන්න කිසිම දෙයක් කළ යුතු නෑ, ඒ භාෂාව කතා කිරීම හැර.’ මට යහපත් ත්‍රස්තවාදියා නිසා ලැබුණු ලියුම්වලින් සමහරක් ඔහොමයි.
ඔහොම ඉන්නකොට මට නියම හාස්‍යජනක ලියුමක් ආවා, ලංකාවෙන්. කාලයක් තිබුණා ඒගොල්ලන්ටත් – මං හිතන්නේ තාමත් එහෙමයි – සටන්කාමීන්ගේ ප්‍රශ්න. ඔවුන් විසින් පැහැරගෙන යාමට ලක්වූ මේ කාන්තාව මට ලියනවා. තමාව සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ බව ලියන ඈ මෙහෙම කියනවා: ‘ඔවුන් ඔබ කියනවා වගේම හොඳ අරමුණු ඇති මෝඩ හැත්තක්.’
අනේ දෙයියනේ! මට ඈ එක්ක කතාකරන්න තිබුණා නම් කියලා මට හිතුණා. ඒත් ඈ ඇගේ ලිපිනය එහි ලියලා තිබුණෙ නෑ. එහෙම එකක් වුණා නම්, ඒක මගහැරුණු අවස්ථාවක්. මම ඒ ගැන තවත් විස්තර දැනගන්න උවමනාවෙන් හිටියේ. මොකද, සති හයක් කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිහින් තබාගෙන ඉන්න පුළුවන් දිගම කාලයක්.
(මීළඟට කොටසේ සිට: ඩොරිස් ලෙසිං නොබෙල් සම්මානය පිළිගනිමින් ඉදිරිපත් කළ දේශනය.)