“එක මෝඩ පාලකයෙක් එනවා, ඔහු මේ ක්‍රමයේ තිබුණු වැදගත්කම දකින්නේ නෑ” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 7)

Share post:

කතන්දර සහ සිංදු

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 7 කොටස.

මෑතකදී නැතිවෙලා ගිය දෙයක් ගැන මට කතාකරන්න ඕන – කතන්දර සහ සිංදු ඇසුරෙන් ළමුන්ට ඉගැන්වීම. මේක අප්‍රිකානු ජනයා බොහොම මෑතක් වනතුරුම කළ දෙයක්. මේරියන් ලෙබර් කියලා කෙනෙක් – ඈ අවාසනාවන්ත ලෙස මියගියා – නවකතාවක් ලියලා තියෙනවා. එහි ඈ විස්තර කරනවා එක්තරා ගැහැනු ළමයකු, ඈ සමාජයට කලඑළි බැස්වීමට හුරු පුරුදු කිරීමට, ඈට අධ්‍යාපනයක් ලබාදීමට, ඇගේ අත්තම්මා ළඟට යැවෙන සිද්ධියක් ගැන. ඔබ දන්නවානේ, අපි පුරුදුවෙලා ඉන්නේ ගෑනු ළමයි ස්විට්සර්ලන්තය වගේ තැනකට යවන්න, අන්න ඒ වගේ.

අත්තම්මා මේ ගෑනු ළමයාට උගන්වන්නේ කතන්දර සහ සිංදුවලින්; ඇගේ ගෝත්‍රයේ ඉතිහාසය, වැඩිහිටියන් සහ ළමුන් කෙරෙහි හැසිරෙන විදිය – ඒක තනිකරම කතන්දරවලින් දීපු පරිපූර්ණ අධ්‍යාපනයක්. මට කවුරුවත් මෙහෙම කියලා නැහැ – ඒත් ඕන ඔට්ටුවක්, අපේ ශිෂ්ටාචාරය මේ වගේ අදහසකට සහාය දෙන එකක් නැහැ.

මම මේ අදහස කෙටි නවකතා හතරකට පාවිච්චි කළා; The Reason For It (ඊට හේතුව) එහි නමයි. මම සංස්කෘතියක් නිර්මාණය කළා – එය පැවැතුණේ පරම්පරා හතරයි. කතන්දර සහ සිංදුවලින් මිනිසුන්ට අධ්‍යාපනය දීම අතීතයේ තිබුණ දෙයක්. ඒක තිබුණේ අපේ සාක්ෂරතාව වැඩෙන්න ඉස්සර. ඒත් ඒ ඉගැන්වීම් ක්‍රමය නැත්තටම නැතිවුණා – ක්‍රමයේ තිබුණ වරදක් නිසා නෙවෙයි. එක මෝඩ පාලකයෙක් එනවා, ඔහු මේ ක්‍රමයේ තිබුණු වැදගත්කම දකින්නේ නෑ. ඒ නිසා ඒ මුළුමහත් ක්‍රමයම අභාවයට යනවා. ඒ වුණත් එය සියවස් හතරක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඉන් එකක හෝ දෙකක පවතින්නේ කතන්දර සහ සිංදුවලින් ඔප්නැංවුණ සංස්කෘතියක්.

මම කල්පනා කරන්නේ මේ අදහස නැවත ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියලා. ඒක ආපහු එනවා – ඔබ දන්නවද; මොකද ඒක හරිම ප්‍රයෝජනවත් දෙයක්.

යටිහිතේ යතුරු

අපේ යටිහිතේ තියෙනවා, අපවම විවර කරගත හැකි ආකාරයේ විවිධාකාර ප්‍රධාන අදහස් ගොන්නක්. ඒ වගේ එකක් කියවෙන්න විතරයි ඕන, ඒ ක්ෂණයකින් අපි ඊට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. දිය යට නගර කියන්නෙ ඒ වගේ එකක්: ඔබට මතකද, කෝර්න්වෝල්වල කෙළවරේම පිහිටි ලියොනෙස් ?(Lyonesse – බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් හි ‘ගොඩබිමේ ඉම’ (Land’s End) ලෙස හැඳින්වෙන තුඩුවේ සිට සිසිලි දූපත් දක්වා විහිද තිබුණැයි ජනප්‍රවාදයේ එන මුහුදේ ගිලී ගිය නගරය.) නැතිනම් නෝෆෝක්වල කෙළවරේ තිබුණ නගරය? මෙතැන හිතට වදින දේ තමයි උදම් රළ නගින බහින වෙලාවට ඇහෙන සීනු හඬ. මුහුද යටින් ඇහෙන සීනු හඬ. මම ඔබට කියන්නම්, ඒක හරි පුදුම දෙයක්, විශ්වාස කරගන්න පවා බැහැ. ඔබට මතක ඇති බැලාර්ඩ් (J. G. Ballard (1930-2009) – ඉංග්‍රීසි නවකතාකරුවෙකි. ඔහු 1962 දී The Drowned World (ගිලී ගිය ලෝකය) නමින් පශ්චාත්-විනාශ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලීවේය.)- ඔහු දිය යට නගර ගැන ලිව්වා. ඒක සමහරවිට – මුහුදු මට්ටම ඉහළට එනකොට නගර සහ වෙරළ දිය යටට යන, ආයෙත් මුහුදු මට්ටම පහළ වැටෙද්දි ඒවා උඩට මතුවෙන – අපේ ඉතිහාසය ඇසුරෙන් ලියූ එකක් වෙන්න ඇති. ගෝලීය උණුසුම නිසා දැන් වතුර යට නගර කියන අදහස නිතර අපේ හිත් ඇතුළේ කැරකෙනවා. ඔබ දැකල ඇති නිව් යෝර්ක් නගරය වතුරට යටවෙන හැටි පෙන්වන චිත්‍රපටි. ඒ වගේ දේවල්වල මහා අමුත්තක් තියෙනව. හරිම බියකරුයි. ඒත් ඒක පහසුවෙන්ම වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒක – දිය යට නගර – කියන්නේ ඒ වගේ එකක්.

ඔය වගේ අදහසක් මගේ හිතට ආ වෙලාවට මම එය පරණ අදහසක් කියලා බැහැර කරන්නෙ නැහැ. කවදාවත් නැහැ, මොකද ඒවා අපේ යටිහිතේ දෝංකාර නඟනවා. ඒවායේ මිනිසුන්ව ඇදගන්නා කිසියම් ගුණයක් තියෙනවා. ඒ වගේ තවත් එකක් තමයි ඔබට නැවත නැවතත් විවිධාකාර කතන්දරවල හමුවෙන අතුරුදන් වන බිත්ති. සුරංගනා කතාවල තියෙනවා නොපෙනී යන බිත්ති, මැදින් ගමන් කළ හැකි බිත්ති, මේ තියෙන – මේ නැතිවෙන බිත්ති. මේක ඇත්තටම විශිෂ්ට අදහසක් – විනිවිද පෙනෙණ බිත්ති. තවත් ඒ වගේ එකක් තමයි නිවුන්නු. මම ඔබට මතක් කරන්නම් The Private Memoirs and Confessions of a Justified Sinner (ස්කොට් ජාතික ලේඛක ජේම්ස් හොග් (1770-1835) විසින් 1824 දී ලියනු ලැබූ නවකතාවකි)(නිදොස් කළ පවුකාරයකුගේ පෞද්ගලික මතක සටහන් සහ පාපොච්ඡාරණ) නැමැති පොත – ඒකෙ ඉන්නවා නිවුන්නු, හොඳ මිනිහෙක් සහ ඔහුගේම සමාන රූපකාය ඇති නරක මිනිහා. එහි තියෙනවා මම කියන දෝංකාරය. එය ඔබව අල්ලා ගන්නවා, අල්ලලා බිමට ඔබාගන්නවා.

ඊළඟ එක අන්තිමටම කියන්න මම තියාගත්තේ, මොකද ඒකට පැහැදිළිකිරීමක් නැහැ. Marriages Between Zones Three, Four and Five (තුන, හතර සහ පස්වැනි කලාප අතර විවාහ) යන නමින් මම නවකතාවක් ලිව්වා, Canopus in Argos: Archives (Canopus in Argos: Achieves – ඩොරිස් ලෙසිං විසින් ලියනු ලැබූ විද්‍යා ප්‍රබන්ධ නවකතා පහකින් සමන්විත නවකතා මාලාව. මෙහි පළමු නවකතාව වන්නේ 1979 දී පළ වූ Re: Colonised Planet 5, Shikasta (ෂිකස්තා, අංක 5 ග්‍රහ ජනපදය) ය. ඉන් පසුව පිලිවෙලින් 1980 දී The Marriages Between Zones Three, Four and Five (තුන, හතර සහ පස්වැනි කලාප අතර විවාහ) සහ The Sirian Experiments (සිරියානු පරීක්ෂණ) ද, 1982 දී The Making of the Representative for Planet 8 (අංක 8 ග්‍රහලොවේ නියෝජිතයා නිර්මාණය කිරීම) ද, 1983 දී The Sentimental Agents in the Volyen Empire (වොල්යෙන් අධිරාජ්‍යයේ භාවාතිශය නියෝජිතයෝ) ද පළ විය.)(ආර්ගෝස් හි කැනෝපස්: අධිලේඛන) කියන නවකතා මාලාවේ එක් කොටසක් විදියට. මෙහි අන්තර්ගත අදහස වෙන්නේ, අහසේ තිබෙන කැනෝපස් තරුව – හොඳ තරුවක් – එහි තිබෙන බොහොම දියුණු ශිෂ්ටාචාරයක්. ඔවුන් සතුව තිබෙන අධිලේඛනාගාරයක් ගැන.

මම ෂිකස්තා නවකතාව ලිව්වේ; අපේ සංස්කෘතියට අයත් නැති, මා හඳුනන යම් කෙනෙකු මට කිව්වා අපේ සංස්කෘතිය කෙරෙහි වඩාත්ම බලපෑ ශුද්ධ ග්‍රන්ථ තුන වන්නේ බයිබලය – පැරණි ගිවිසුම සහ ඇපොක්‍රිෆාව – සහ කුරානය බව. කිසිදු කෙනෙක් මේ ශුද්ධ ග්‍රන්ථ තුන එකකට පසුව අනික වශයෙන් කියවලා නැහැ. මේ ආගම් එකිනෙකාට බොහොම සතුරු ආකල්පයකින් සිටින්නේ. ඔවුන් යුදෙව් බයිබලය, නව ගිවිසුම, ඇපොක්‍රිෆාව, සහ කුරානය කියවාවි; හැබැයි කිසිවෙක් ඒ සියල්ලම කියවන්නේ නැහැ, මොකද, ඔවුන් එකිනෙකාට අකැමැති නිසා. ඒත් ඇත්තටම යමෙක් මේ පොත් සියල්ලම එකකට පසුව අනික අරගෙන දිගටම කියවාගෙන ගියොත් පේනවා මේ ඔක්කොම විවිධ අවස්ථාවල පවතින එකම ආගමක්ය කියන එක. ඒවායේ තියෙන්නේ එකම අදහස්, චරිත, සහ කතන්දර. ඔබ දන්නවා මේ කතන්දර, අපේ කතන්දර – ඒවා තියෙනවා කුරානයේ සහ අනිකුත් පොත්වල. මරියතුමිය සහ ජුසේතුමා හැම පොතකම – ආ, නැහැ… යුදෙව් බයිබලයේ හැර – ඉන්නවා. කොහොම වුණත් මේ පොත් හැම එකකම තියෙන්නේ සමාන අදහස්. ඉතින් මම මේ පොත් කියවාගෙන යද්දි ඉතාමත් පුදුමයට පත්වුණා. කවදාවත් මට හිතිලා තිබුණෙ නෑ ඒවා එකක් පස්සේ එකක් එකදිගට කියවන්න. ඒත්, ඒක කළාම මට තේරුණා එහි අර්ථය මොකක්ද කියලා. ඉතින් මම හිතුවා ඒ හැම පොතකටම පොදු වූ අදහස් ටිකක් අරගන්න. ඊට පස්සේ මම ෂිකස්තා ලිව්වා.

ඉතින් ඒ කතාවේ තිබුණා පුදුමාකාර ඉතිහාසයක්. ඒක ඇත්තටම පෙනුණේ එක්තරා විදියක විශ්වසම්භවවේදයක්, නැතිනම් අලුත් ආගමක් විදියට. මම නොදැනුවත්වම ඇමරිකාවේ අලුත් ආගමක් පටන් අරගෙන තිබුණා. ඇමරිකාවේ මැද හිටපු මිනිස්සු මහා ගොඩක් ෂිකස්තාවක් හදලා තිබුණා. ඒක ‘ලොක්කා’ -නැතිනම් දෙවියෝ – එනතුරු බලාගෙන ඉන්න කොමියුනයක්. ඉතින් මම ඔවුන්ට මේ විදියට ලියුමක් ලිව්වොත්, ‘මේ බලපල්ලා, දන්නවද මේක කතාවක් විතරයි. මට ආගමක් නිර්මාණ කරන්න ඕන වුණේ නැහැ,’ කියලා, ඒක හරි නැහැ. එතකොට ඒගොල්ල කියනවා, ‘නෑ නෑ, අපිට ඔබව තේරුම්ගන්න පුළුවන්. ඔබ අපව පරීක්ෂා කරනවා,’ කියලා. ඒත්, මේ වෙනකොට ඒක දියවෙලා ගිහින් තිබීම ගැන මට සන්තෝෂයි.

ඔන්න ඕකයි ෂිකස්තාවට වුණේ. ඒ පිටුපස්සේ තිබුණා මහා ආගම් තුනක ශක්තිය. මේක සිද්ධ වුණාට පස්සේ සිදු වුණ සිත්ගන්නාසුළු වැඩේ තමයි, අනිත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෝ මට චෝදනා කරන්න පටන් ගත්තා මම විද්‍යා ප්‍රබන්ධ ලියනවා කියල. මට ඒගොල්ල කිව්වේ මෙහෙමයි: ‘අපි පටන් ගත් වැඩේ ඈ තල්ලු කරගෙන යනවා.’ මට ඇත්තටම තේරුණේ නැහැ මම විද්‍යා ප්‍රබන්ධයක් ලියනවාය කියලා, ඒත් ඉතින් එහෙම වෙලා. මම දැන් මේ පොතට මොකක් කරන්නද? මෙන්න මේකයි ලස්සනම වැඩේ. ඕනෑම දෙයක් ගන්න පුළුවන් විදියේ අධිලේඛනාගාරයක් ගැන අදහසම විතරක් බලන්න – උපරි තාරකා සංස්කෘතියේ අධිලේඛනාගාරයට, ඊට පහළ තාරකා සංස්කෘතිවලින් ඕනෑම දෙයක් අරගන්න පුළුවන්. මේක නිසා, මම අවුරුදු ගාණක් තිස්සේ ලියන්න උත්සාහ කරමින් හිටපු දෙයක් සැනෙකින් ලියන්න පුළුවන් වුණා. ඒක හරියට පස්වැනි දරුවා වගේ. සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් ගැන ලියන්න මට ඕන වෙලා තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. මට මොනවගේ දෙයක් ඕනෑ වෙලා තිබුණත්, අන්තිමේදි මම ලියනකොට ඒක කලාප බවට හැරිලා – ඒගොල්ලෝ එකිනෙකාට බලපෑවේ කොහාමද, එකිනෙකාට අනුප්‍රාණය දුන්නේ කොහොමද කියලා මම ලිව්වා.

තුන, හතර සහ පස්වැනි කලාප අතර විවාහ නැමැති නවකතාව තමයි මගේ හොඳම පොත කියලා පෞද්ගලිකව මම හිතන්නේ. එය ඊටම ආවේණික ජීවයකින් යුක්තයි. පස්සේ ෆිලිප් ග්ලාස්(Philip Glass (1931 සිට මේ දක්වා) – ඇමරිකානු රචකයෙකි, පියානෝ වාදන ශිල්පියෙකි. ඔපෙරා ඇතුළු සංගීත නිර්මාණ රැසකට දායක වී තිබෙන ඔහු සම්මාන රැසකටද හිමිකම් කියයි.) ඒක ඔපෙරාවක් බවට පත්කරලා, මුලින්ම ජර්මනියේ, ඉන් පස්සේ චිකාගෝවේ ප්‍රදර්ශය කළා. ඉන් පස්සේ මොනවත් වුණේ නැහැ – ඒවා සිදුවෙන්නේ රැල්ලට; ඒ පොතටවත්, ඔපෙරාවටවත් ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ.

ඒත් මේ කෘතිය ඒ ආර්ගෝස් හි කැනෝපස්: අධිලේඛන කතා මාලාවේ අනිත් පොත්වලට වඩා බොහෝ වෙනස් එකක්. විවාහ කෘතිය ඒ කතා මාලාවට හරියටම ගැලපුනා, හැබැයි පෙනුණේ මම එය ඒ කතා මාලාවේ කොටසක් බවට පත්කරන්න හිතාගෙන ලියපු එකක් වගේ. එය මම උවමනාවෙන්ම කළ දෙයක් නෙවෙයි. එතැනදී සිදුවුණේ, මගේ යටිහිතේ හරි, මනසේ වෙනත් කිසියම් කොටසක හරි, යතුරක් කැරකුණා. අවුරුදු දහයක් යනතුරුම මට ලියාගන්න බැරිවුණු දේවල් බොහොම පහසුවෙන් ලියන්න පුළුවන් වුණා.

මම එය ලියාගෙන, ලියාගෙන ගියා, හරිම පහසුවෙන්. ඒ ලිවීමට මම බොහොම ආදරේ කළා. මම එය ලියපු විදිය ගැන මතක් කරන්නේ ආදරයෙන්. මම තවමත් හිතනවා ඒක මගේ හොඳම පොත්වලින් එකක් කියලා. ඒත් ඇයි? දැන් තමයි අප පැහැදිළි කරගන්නේ. ඇයි මේක සිද්ධ වුණේ? කථා මාලාවක් පිළිබඳ මේ අදහස තුළ පොත් පහක් ලියවුණේ මන්ද?

(ඊළඟ කොටස”භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ”)

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...