කොතෙක් නම් පියසටහන්
මෙතැනින් තබා යන්නැති ද
අමතකව නොව උවමනාවෙන්
ආ පසු නැවත අහුලගෙන
ලිහ ලිහා ප්‍රේමනීය වෙන්නට
මහා වැසි ඇදහැලෙන කාලෙට
ගලායන දිය මකන්නට ඇති
මහපොළව තබාගත් මතක දල සටහන
ආයේ ආයෙත් අලුත් පිය ලකුණු
සරා විත් මෙහි රැඳෙන මිහිරිය
බලාගත හැකි වීය හැමකල
බොහෝ පෙම්වත් මූණු
බිම බලන් උන්නට
හිත තිබුණේ ඉහළ අතුඉති වල
රොබරෝසියා කියන්නේ
නෙළාගන්නා මලකට නොවේ
සියදිවි නසාගන්නා මලකට
පෙම්වතුන් දැන නොදැන
පයට පෑගෙන මලකට
අවසාන හුස්ම පොද නික්මෙනා තුරුම
උරහිස් හෙල්ලෙනා මලකට
ඇවිත් ගිය, යළි නාව
ඇතැම්විට යළි ආව
මගේ සෙවනැල්ල යට
නොතේරෙන මුණුමුනුවෙ
වදන් පියවිළි අතුල
දුරාවාරයේ කඳුළු බිඳු
වැව් දියට මුසුකල
සහස් පෙම්වතුන’තර
ඇය ආවේ තනියම
ලා පාට ඇඳුමැති
මල් පෙති මුහුණ මත
තේරුම් ගන්න බැරි
ප්‍රෙහේලිකා හැඟුමන් තවරගෙන
අපි පෙමින් සුවපත්වුණේ
මා බඳට වාරුවී කිසිත් නොකියා ඉඳීමෙන්
ඇගේ හිස ළදැල්ලෙන් පිරිමැදීමෙන්
මල් දරන කාලෙට ඇය හැඬුවේ
මලේ සිය දිවි නසා ගැනුමට
ගසේ හුදකලා දරාගැනුමට
කලක් නොපෙනී ගියේ
ඇයි කියා නොදැන ගෙන
සෑම දවසකම මුල හිස ඔසවා බැලුවේ
ඇගේ මුදු පා මතුවෙතැයි ප්‍රෙහේලිකාමය මුහුණින්
කඳුළු උපදින දෙනෙතින්
අකාල විරාමයකට පසුව
ඇය ආවේ ප්‍රෙහේලිකා විසඳගෙන
මුල් දිනුම දිනාගෙන
කෙට්ටු උරහිසක දැවටිගෙන
අජානේය යකඩ අසු පිටින්
ජෝඩුවක් සේ අළෙව් වීගෙන
කඳුළු නැති වියලි ඇස්
අංජන ලතු උලාගෙන
මොනර සිකි ඇඳුමකින් පිල් විදාගෙන
හරියට කැලැන්ඩර දිනය අමතක වුණත්
කියන්නට ඇහැකි ඒ දිනය මට
කළුපැහැති මතකයෙන් පෙරාගෙන
ඒ, මා ඇදවැටෙන්නට කලින් දා
මගේ උපයෝගිතා ආදරය
ශූන්‍යත්වයට ලඟා වුණ දා
එදා මං හිතන්නේ දවස, අඟහරුවාදා .