ඒක පුද්ගල මාසික ආදායම 20,577යි : නීති විද්‍යාල අධ්‍යයන ගාස්තු සියයට 1400ක් දක්වා ඉහළට !

Share post:

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු සියයට 150 සිට සියයට 1400 දක්වා විශාල ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.

මේ අනුව විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වා සියයට 150කින් ද, ආරම්භක වසරේ ගාස්තු ලෙස රුපියල් 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14කින් වැඩි කර ඇත.

විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000 සිට 15,000 දක්වා එනම් සියයට 1,500කින් ද මෙසේ වැඩි කර තිබේ. මීට අමතරව ප්‍රයෝගික පුහුණු සඳහා රුපියල් 6,000 සිට 25,000 දක්වා, එනම් සියයට 300.67කින් ද, ශිෂ්‍ය අනන්‍යතාව තහවුරු කිරීමේ ගාස්තු රුපියල් 500 සිට 7,500 දක්වා එනම් සියයට 1400කින් ද ඉහළ දමා ඇති බව සඳහන් ය.

මේ අනුව අධ්‍යයන ගාස්තු වර්ග 13ක් මෙසේ ඉහළ දමා ඇත.

මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් නීති අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් පෙනීසිටින නීති සිසුන් කණ්ඩායමක් සකස් කරන ලද ලිපියක් පහත දැක්වේ.

2023 / 01 / 05 දින නිකුත් කරන ලද 2313 / 49 දරන ගැසට් පත්‍රයට අනුකූලව නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ දැමීම පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාලීන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට කලක පටන් පැවති සංවාදයක ප්‍රතිඵලයක් ලෙස සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2023/01/05 දින නිකුත් කරන ලද 2313/49 දරන ගැසට් පත්‍රයට අනුව නීති විද්‍යාලයේ අභ්‍යන්තර අධ්‍යයන කටයුතු සඳහා අයකරන ගාස්තු සහ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වන තරඟ විභාගයට අදාළ ගාස්තු පහත සටහන්වල දැක්වෙන පරිදි ඉහළ නංවා තිබේ.

පළමුව රජයේ ප්‍රතිපාදන රහිතව ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස කාලීනව යම් සාධාරණ ගාස්තු ඉහළ දැමීමක් විය යුතු බව නොරහසකි.

නමුත් උක්ත ගැසට් පත්‍රය මගින් සියයට 150 – සියයට 1400 පමණ දක්වා වූ ඉහළ ප්‍රතිශතවලින් වැඩි කර තිබෙන බව පහත දත්ත සටහන් අධ්‍යයනය කිරීමේදී ඉතා හොඳින් නිරීක්ෂණය වේ.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා වාර්ෂික ව දළ වශයෙන් සිසුන් 5,000 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පෙනී සිටින අතර, නීති විද්‍යාලය සඳහා ප්‍රවේශ වීමේ වරම් ලබන්නේ ආසන්න වශයෙන් සිසුන් 230ට ආසන්න සීමිත ප්‍රමාණයකි. මෙය ප්‍රතිශතයක් ලෙස ප්‍රවේශ විභාගයට පෙනී සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 5කටත් වඩා අඩු අගයක් ගනී.

නවතම සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 31, එනම් මිලියන 7කට ආසන්න පුරවැසි ප්‍රජාවක් මේ වන විට දිළිඳු පුරවැසියන් බවට පත් වී තිබේ. තවද රජයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මධ්‍යන්‍ය මාසික ආදායම රුපියල් 20,577ක් වැනි අගයක් ගන්නා අතර, එම අගය නාගරික ප්‍රදේශවලදී රුපියල් 30,452 ලෙසත්, ග්‍රාමීය ප්‍රදේශවලදී රුපියල් 18,870 ලෙසත්, වතුකරයේදී රුපියල් 11,647 ලෙසත් විචලනයට ලක්වේ.

උක්ත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නීති විද්‍යාල තරඟ විභාග ගාස්තුව රුපියල් 16,200 මුදල ඒක පුද්ගල මධ්‍යන්‍ය ආදායම වන රුපියල් 20,577 සාපේක්ෂ ව සියයට 78 වැනි ඉතා ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව පෙනී යන අතර, එසේ ඉතා ඉහළ මුදලක් තරඟ විභාගය සඳහා පෙනීසිටින සිසුන්ගෙන් අය කිරීම ඉතා අසාධාරණ හා අසංවේදී ක්‍රියාදාමයක් බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

තවද මෙම තත්ත්වය යටතේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා බොහෝ දරුවන්ට ඇති හැකියාව අහිමි වී යන අතර, එය නීති ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට සෘජුව ම බලපාන සාධකයක් බවට පත්වීම අනිවාර්ය කාරණාවකි.

එසේම නීති විද්‍යාලය තීරණාත්මක ආර්ථික සීමාවක් තරණය කළ හැකි සිසුන්ට පමණක් අධ්‍යාපනය සලසන ආයතනයක් බවට ක්‍රමානුකූලව පත්වනවා සේම බහුතරයක් මෙරට දරුවන්ට තමන්ගේ නීති අධ්‍යාපන සිහිනය අතහැරීමට සිදුවන බව නොඅනුමාන ය.

මීට අමතරව එකී ගැසට් පත්‍රය මගින් නීති විද්‍යාලය තුළ අධ්‍යයන කටයුතු සිදුකරන අභ්‍යන්තර සිසුන්ගේ වාර්ෂික අධ්‍යයන ගාස්තු සියයට 257 – සියයට 316 දක්වා පරාසයකින් ඉහළ නංවා තිබේ. උදාහරණ ලෙස පළමු වසර සඳහා පෙර පැවති රුපියල් 18,900 මුදල රුපියල් 67,500ක් දක්වා රුපියල් 48,600 මුදලකින් ඉහළ නංවා තිබීම දැක්විය හැක.

මීට අමතරව අභ්‍යන්තර විභාග ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම අයකිරීම් ඉතා අධික ලෙස ඉහළ නංවා තිබේ. සමස්ත ලාංකේය සමාජයම දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක ගිලී ඇති අවස්ථාවක ජීවන වියදම, ආර්ථික පීඩනය ආදී බොහෝ දුෂ්කරතා සඳහා නීති විද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙමින් සිටී. එවන් වටපිටාවක් තුළ නීති විද්‍යාලයේ පිරිවැය සිසුන් මත ම පැටවීම ප්‍රශ්න සහගත අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරන්නෙමු.

නීති අධ්‍යාපනයට ඇති අයිතිය මූල්‍යමය සීමාවන් මත අහිමි කිරීමේ නින්දිත උත්සාහයට එරෙහි වෙමු !

නීති අධ්‍යාපනයට ඇති අයිතිය රැකගැනීම උදෙසා සටන් කරමු !

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...