ධාවන පථයේ වසන්තය

Share post:

උසේන් බෝල්ට් ද.. ලයනල් මෙසී ද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයා කියන ප්‍රශ්ණය ඇහුවොත් උත්තර දෙන්න ටිකක් අපහසුයි.
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වෙන්නෙ පාපන්දු. ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙද්දි ගැහැණු පිරිමි භේදයක් නැතුවම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන විශාල පිරිසක් ලංකාවම පුරාම ඉන්නව.

ක්‍රිකට් ක්‍රීඩාව තරම් නැතත් මලල ක්‍රීඩාව කියන්නෙත් ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ..ආදරය ලබන ක්‍රීඩාවක්.
සුසන්තිකා… දර්ශා… සුගත්.. ශ්‍රියානි වගේ නම් කිසිම දවසක ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අමතක වෙන්න පුළුවන් කමක් නෑ.
මලල ක්‍රීඩාව ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවෙ හන්ගේරියාවේ බුඩාපෙස්ට් නුවර ලෝක මලල ක්‍රීඩා ශූරතාව තවත් සති දෙකකින් පමන ආරම්භ වීමට නියමිත නිසයි.

මේ වෙද්දිත් ඇමරිකා ඒක්සත් ජනපදය… ජැමෙයිකාව… ඕස්ට්‍රේලියාව.. ජපානය වැනි ඈත රටවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවො යුරෝපයේ විවිධ රටවල් පුරාම පුහුණුවීම් වල යෙදෙනව දකින්න පුළුවන්.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය මගින් සංවිධානය කරන මේ ලෝක මලල ක්‍රීඩා ශූරතාව දහනව වන වරටත් පැවැත්වෙන්නෙ අගෝස්තු 19- 27 කියන දවස් නවය ඇතුලත හන්ගේරියාවේ අග නගරයේදීයි.

ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියෙන් පරිභාහිරව ලෝක මලල ක්‍රීඩා ශූරතාවක් පැවැත්විය යුතු බවට මුලින්ම අදහස් ඉදිරිපත් වෙන්නෙ 1950 දශකයේ පමන සිට වුවත් මුල්ම ලෝක මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වෙන්නෙ 1983 දී පින්ලන්තයේ හෙල්සින්කි නගරයේදියි.

1983 සිට 1993 දක්වා කාලය තුල සෑම වසර හතරකට වරක්ම ලෝක මලල ක්‍රීඩා ශූරතාව පැවැත්වුනත් 1993 සිට සෑම වසර දෙකකට වරක්ම මේ ශූරතාවය පැවත්වෙනව.

ජවන හා පිටිය ඉසව් 49 ක් සඳහා රටවල් 200 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟාවලිය සඳහා සහභාගි වීමට නියමිතයි.
කොහොමද මේ තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවාගන්නෙ කෙනෙකුට අහන්න පුළුවන්.

සෑම ඉසව්වකටම පරිසාධන මට්ටක් නියම කරල තියනව. ඔනෑම රටක ඕනෑම ඉසව්වක මේ පරිසාධන මට්ටම ඉක්මවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකුට ( උපරිමය තිදෙනෙක්) අදාල ඉසව්වට සහභාගිවෙන්න අවසර ලැබෙනව.

ඒ එක්කම ගියවර මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් ඕනෑම ක්‍රීඩකයෙකුට.. ක්‍රීඩිකාවකට තමන්ගෙ ඉසව්වට සහභාගි වෙන්න පුළුවන්.
තවත් එක් ඇතුල් වීමේ දොරටුවක් නිර්මාණය වෙනව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවයේ ජයග්‍රහනය ලබා ගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා.
කෙසේ නමුත් මේ අවසර දීම් දෙකත් සමගම එක් රටකට එක් ඉසව්වක් සඳහා සහභාගි කරවිය හැකි උපරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව හතරක් බවයි ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සඳහන් කරන්නෙ.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ගැන කතාබහ කරන විට අනූව දශකය ගැන කතා නොකරම බැහැ.

අනූව දශකයේදී අපිට නිතරම අහන්න ලැබුනෙ හැත්තෑව දශකය අග භාගයේ ජාත්‍යන්තර තරඟ ජයග්‍රහනය කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන.
ඩබ්ලිව් විමලදාස… සුනිල් ගුණවර්ධන.. කෝසල සහභන්දු.. ඒ ප්‍රේමචන්ද්‍ර… කේ ජී භද්‍රා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පස්සෙ අනූව දශකයේ මලල ක්‍රීඩාව ඉතාමත් ඉහල මට්ටමකට ලඟා වෙන්නෙ ජාතික පාසැල් ක්‍රීඩා පිටිය හරහා කිව්වොත් කිසිවෙක් විරුද්ධ වෙන්නෙ නෑ.

ශ්‍රියන්ත දිසානායක.. රංජිත් සුභසිංහ… තිලකා ජිනදාස.. ජයමිනි ඉලේපෙරුම.. ඉනේකා කුරේ .. විජිතා අමරසේකර… ධම්මිකා මැනිකේ.. කේ ඒ කරුණාරත්න වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුපසින් විශිෂ්ඨ දෙවෙනි පෙලක් මේ කාලයේ බිහිවෙමින් තියනව.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය… වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය.. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය වගේ මධ්‍ය මහා විද්‍යාල එක්ක බම්බලපිටිය ශාන්ත පීතර.. වෙන්නප්පුව ජෝශප්වාස්… මාතර රාහුල… කොළඹ ආනන්ද.. ගල්කිස්ස ශාන්ත තෝමස්… කොළඹ කාන්තා විද්‍යාලය … මහනුවර ත්‍රිත්ව… කෑගල්ල ජෝශප් බාලිකා .. කුරුණෑගල ජෝන් කොතලාවල වැනි විදුහල් රාශියකින් මේ කාලය වෙද්දි දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනව.

සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරඟ ජයග්‍රහනය කිරීම ඉතාම අසීරු කාර්‍යයක්. හේතුව මේ තර්ඟාවලියේ තරඟකාරීත්වය ඉතාම තියුණුයි. මෙන්න මේ තරඟ කාරීත්වය හරහා විශිෂ්ඨයන් බිහිවෙනව.

1991 දී කොළඹ පැවැත්වෙන සාෆ් ක්‍රීඩා උළෙල හරහා මලල ක්‍රීඩාවට නව ජවයක් ලැබෙද්දි කොළඹ කාන්තා විද්‍යාලයේ දමයන්ති දර්ශා … ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රියානි කුලවංශ… ඇත්නාවල කනිටු විදුහලේ සුසන්තිකා ජයසිංහ… ජෝශප් වාස් විද්‍යාලයේ රොහාන් ප්‍රදීප් කුමාර .. නෝර්ටන්බ්‍රිජ් විදුලිපුර විදුහලේ සුගත් තිලකරත්න මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන චරිත බවට පත්වෙන්නෙ පාසැල් ක්‍රීඩා පිටිය හරහායි.
හරිජන් රත්නායක.. මහේෂ් පෙරේරා.. අනූශා ජයවීර.. සුජීවා නිල්මිණි ජයසේන.. වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්ථා පිහිටුවන්නෙ පාසැල් ක්‍රීඩා පිටිය නියෝජනය කරමින්.

මගේ මතකය නිවැරදි නම් ශ්‍රියානි කුලවංශ කියන නම ජනප්‍රිය වෙන්නෙ මහවැලි ක්‍රීඩා උළෙලේ උස පැනීම තරඟය හරහා.

ඉහත නම් සඳහන් කල ක්‍රීඩික ක්‍රීඩිකාවන් එක්කම සහය දිවීම් තරඟ නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විශාල තරඟයක් නිර්මාණය වෙනව.
මේ තරඟකාරීත්වය නිසාම ආසියානු ක්‍රීඩා තරඟ වලදි ලාංකික සහය දිවීමේ කන්ඩායම් ජයග්‍රහණ රාශියකට හිමිකම් කියනව.
සමහර විචාරකයන් මේ කාලයේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේ ආසියාවේ ජැමෙයිකාව විදිහට.

1994 ආසියානු ක්‍රීඩා තරඟාවලියේ මීටර් 200 ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා කියන ක්‍රීඩිකාවන් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමත් සමගම මලල ක්‍රීඩාව ගැන බොහෝ දෙනෙක් කතා බහ කරන්න පටන් ගන්නව.
ක්‍රීඩා සංගම් නිළධාරීන් හා ජාතික තරඟ වාර්ථා උසුලන ක්‍රීඩකයන් ජපානයේදි අතුරුදන් වෙද්දි දර්ශා හා සුසන්තිකාගේ ජයග්‍රහන ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වෙනව.
අනෝමා සූරිය ආරච්චි… ප්‍රදීපා හේරත්.. ශශිකලා නිම්මි සොයිසා.. තමරා සමන් දීපිකා වැනි ක්‍රීඩිකාවන් දර්ශා සහ සුසන්තිකා සමග ආසියානු කලාපයේ සහාය දිවීමේ ශූරියන් බවට පත්වෙනව මීටර් 100x 4 තරඟය නියෝජනය කරමින්.
සුගත් තිලකරත්න හා රොහාන් ප්‍රදීප් කුමාරට අමතරව ප්‍රසන්න සම්පත් අමරසේකර.. රෝහිත පුශ්පකුමාර.. රංග විමලවංශ.. වී රත්නකුමාර.. මනුර ලංකා වැනි ක්‍රීඩකයන් මීටර් 400 x4 තරඟයෙන් ආසියානු මට්ටම ජයග්‍රහනය කරමින් ඔලිම්පික් තරඟාවලිය දක්වා ගමන් කරනව.

මේ බොහෝ ජයග්‍රහන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගන්නෙ තමන්ගෙ කැපවීමෙන් හා උනන්දුවෙන් මිස රජයෙන් හෝ ඉහල නිළධාරීන්ගේ දිගුකාලීන වැඩපිලිවෙල හරහා නොවන බවයි මගෙ පෞද්ගලික අදහස.

ඒ එක්කම පුහුණු කරුවන්ගේ උනන්දුව හා කැපවීම නිසාම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයහ්‍රහන වාර්ථා කරනව ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුනත්.
අසූව දශකයේ මුල් කාලයේදී ලංකාවේ කෙටි දුර ධාවන ශූරියක් වූ නිර්මලා කුමාරිට ධාවනය සඳහා පාවහන් ‍යුගලක් ( ස්පයික්ස්) අරගෙන දෙන්නෙ ප්‍රසිද්ධ නළුවෙක් වූ ගාමිනී ෆොන්සේකා විසින්.

දෙනියායේ ශ්‍රියාලතා දිගු දුර ධාවනයේ යෙදෙන අතරෙම තේ දළු නෙලන්නෙ ජීවත් වීමට වෙනත් මාර්ගයක් නොමැති නිසා.

ශ්‍රී ලංකා යුධ හමුදාව බොහොමයක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගෙ මලල ක්‍රීඩා සංචිතයට ඇතුලත් කර ගැනීම අසූව දශකයේ අග සිටම සිදුවෙනව.
ඒ මගින් මලල ක්‍රීඩාව තවදුරටත් ආරක්ශා වෙනව වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගෙ පුහුණුවීම් කරගෙන යාම සඳහා යම් ආකාරයක පහසුකම් ලැබෙනව.
ඒ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවට ස්තුති වන්ත විය යුතුයි.

නැවත වරක් මලල ක්‍රීඩා පිටිය ගැන උනන්දුවක් ලාංකිකයන් තුල ඇතිවෙන්නෙ යුපුන් අබේකෝන්… තරුෂි කරුණාරත්න .. කාලිංග කුමාරගේ වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ ජයග්‍රහන ලබාගනිමින් සිටින නිසයි.

විශේෂයෙන්ම වලල රත්නායක විදුහලේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වන තරුශි කරුණාරත්නට බොහෝ දුර යාහැකි බව දකින්න පුළුවන්.
මීටර් 800 ඉතාම අසීරු ඉසව්වක් වගේම වේගය… දරාගැනීමේ ශක්තිය.. බුද්ධිය සහ උපක්‍රමශීලී බව උපරිමයෙන්ම අවශ්‍ය ඉසව්වක්. තරුශිගේ ධාවන විලාසය හේතුවෙන් අතිරේක ශක්තියක් වැය කෙරෙන බව පෙනුනත් ඉදිරියේදී ඇයගෙන් විශිෂ්ඨ දස්කම් දැකගත හැකි බවට සැකයක් නෑ.
ලෝක මලල ක්‍රීඩා පිටිය ගැන අවධානය යොමුකලොත් මෙවර ලෝක ශූරතාවලිය ඉතාම තියුණු මුහුනුවරක් ගන්නෙ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ඇතිවෙලා
තියන උසස් තරඟකාරීත්වය නිසයි.

උසේන් බෝල්ට්ගෙන් හිස්වුනු මීටර් සීය ඉසව්ව සඳහා බ්‍රිතාන්‍යයේ ශාර්නල් හියුස් ( Zharnel Hughes).. කෙන්‍යාවේ ( Ferdinand Omanyala).. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රෙඩ් කර්ලි (fred kerley) අතර තියුණු තරඟයක් අපේක්ශා කරන්න පුළුවන්.

මේ නම් අතරට ඇතුල්වෙන අළුත්ම නම බොට්ස්වානා රාජ්‍යයේ ලෙට්සිල් ටෙබොගෝ. ( letsile tebogo).
තවමත් දහනම වන වියේ පසුවෙන ටෙබෙගෝ මීටර් 100, 200, 400 ඉසව් තුනටම දස්කම් පාන විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.
කාන්තා මීටර් සීය ඉසව්ව සඳහා ඉතිහාසයේ කිසිම දවසක නොදැකපු තරම් ඉතාම තියුණු තර‍ඟයක්
ඇතිවෙලා තියෙන්නෙ ජැමෙයිකාවේ ශෙලී-ඈන් ෆ්‍රේසර්(Shelly Anne fraiser) … ශෙරිකා ජැක්සන් ( Sherika Jackson) … අයිවරි කෝස්ට් රාජ්‍යයේ මාරි ජොසේ තාලු ( Marie-Jose Talu) .. එක්සත් ජනපදයේ ශා කාරි රිචර්ඩ්සන් ( Sha-Kari Richardson)… බිතාන්‍යයේ ඩීනා ඈශර් ස්මිත් ( Dina Asher Smith) වැනි ක්‍රීඩිකාවන් තමන්ගේ උපරිමයට ලඟා වෙමින් සිටින නිසයි.

පිරිමි මීටර් දෙසීය සඳහා එක්සත් ජනපදයේ නෝවා ලීල්ස් ( Noah Lyles) ඉදිරියෙන්ම පසුවෙන්නෙ උසේන් බෝල්ට්ගේ වාර්ථා කිහිපයක්ම බිඳ දමමින්. ඒ එක්කම තරුණ ක්‍රීඩකයෙක් වූ එක්සත් ජනපදයේ එරියන් නයිටන් ( Errion Knighton) විශිෂ්ඨ ධාවන විලාසයක් පෙන්නුම් කරනව.
පිරිමි මීටර් 400 ඉසව්ව තරඟකාරී විය හැක්කේ ලෝක වාර්ථාව හිමි දකුණු අප්‍රිකාවේ වෙයිඩ් වෑන් නිකර්ක් (Wayde VAN NIEKERK) කාලයකට පසු සුපුරුදු ධාවන විලාශයට අවතීරන වීම නිසයි.

අණතුරක් හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් ධාවන පිටියෙන් ඉවත් වී සිටි වෑන් නිකර්ක් හා බහමාස් රාජ්‍යයේ ස්ට්ටීවන් ගාඩිනර් ( Steven Gardiner) අතර තියුණු තරඟයක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ශකයන්ට ලැබෙනවට සැකයක් නෑ.

අවාසනාවට බොහෝ බලාපොරොත්තු තබා සිටි එක්සත් ජනපදයේ මයිකල් නෝර්මන් සුපුරුදු දක්ශතා අතර නොසිටීමත් බ්‍රිතානයේ මැතිව් හඩ්සන් ආබාධයකට ලක්වීමත් මීටර් 400 ධාවන ඉසව්වට බලවත් පාඩුවක් විදිහට දක්වන්න පුළුවන්.

මීටර් 400 කාන්තා ඉසව්ව සඳහා සිඩ්නි මැක්ලාෆන් ( Sydney McLaughlin) අවතීර්ණ වීමත් සමග මේ ඉසව්ව සඳහා විශේෂ අවධානයක් ලැබෙනව. ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයේ මාරිලේඩි පාව්ලිනෝ… බහරේන් රාජ්‍යයේ සල්වා එඩ් නසර්… එක්සත් ජනපදයේ බ්‍රිටන් විල්සන්… අයර්ලන්තයේ රශීඩා අඩිලේකේ.. වැනි ක්‍රීඩිකාවන් අතර නිර්මාණය වී ඇති තරඟය හේතුවෙන් විශිෂ්ඨ සටනක් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩියි.

පහුගිය වසරේ ලෝක කණිශ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී අවධානයට ලක්වූ ඉන්දියාවේ රූපල් චෞද්‍රි ගේ දස්කම් ගැන කිසිවක් වාර්ථා නොවීම අවාසනාවක්.
විදේශ පුහුනුවීම් හෝ විදේශ ක්‍රීඩා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට දක්වන අකමැත්ත මත හිමා දාස් වැනි ක්‍රීඩිකාවන්ට පවා ජාත්‍යන්ටර මට්ටමට ලඟාවීමට නොහැකිවීම අවාසනාවක්.

එක්සත් ජනපදයේ අතින්ග් මූ ( Athing Mu)… බ්‍රිතානයේ කීලි හොග්කින්සන් ( Keely Hodgkinson) කෙන්‍යාවේ මේරි මෝරා ( Mary Morra) මීටර් 800 ඉසව්වේ රන් පදක්කම සඳහා ඉදිරියෙන්ම කියවෙනව.

වේගවත් ක්‍රීඩිකාවන් වූ අතින්ග් මූ හා හොග්කින්සන් අභිබවා යන්න මේරි මෝරා භාවිතා කරන උපක්‍රම මේ තරඟයේදී බොහෝ විට වැදගත් විය හැකියි.
කාලයක් නැගෙනහිර යුරෝපීය රටවල් හා ඇමරිකා එක්සත් ජනපදය අතර මලල ක්‍රීඩා ඉසව් සඳහා තියුණු තරඟයක් නිර්මානය වෙලා තිබුනු බව අපිට මතකයි.

නමුත් තහණම් උත්තේජක භාවිතයට පැනවුනු නීති රීති සමග බොහොමයක් රටවල මලල ක්‍රීඩාවට තිබුනු ස්ථානය අහිමිවෙලා තියනව.
විශේෂයෙන්ම දේශපාලනයේ ගොදුරක් විදිහට තහණම් උත්තේජක උගුලේ සිරවුණු රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන මතක් කල යුතුමයි.
අති දක්ශ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරඟ අහිමිවීමට එරට දේශපාලකයන් සෘජුවම වගකිව යුතුයි.
මලල ක්‍රීඩා ගැන වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා කල යුතු දේ බොහොමයි.

එඩ්වින් මෝසෙස්ගේ ( Edwin Mosses ) විශිෂ්ට ගණනය කිරීම්… උස පැනීමේ ඉසව්ව නව මගකට යොමුකල ඩික් ෆොස්බරි Dick Fosbury .. ඉතියෝපියානු හා කෙන්‍යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගු දුර දිවීමේ ආධිපත්‍ය පිලිබඳව…
විශේෂයෙන්ම මලල ක්‍රීඩා පාවහන් නිර්මාණය කරමින්… ලෝකයට ජොගින්ග් හෙවත් සෙමින් දිවීමේ කලාව හඳුන්වා දෙමින් මලල ක්‍රීඩාව ලෝකයේ ඉහලටම ඔසවා තැබූ පුද්ගලයෙක් ගැන, ලොව පැරනිම ධාවන වාර්ථා මෙන්ම නොබිඳෙන තරඟ වාර්ථා හා තහණම් උත්තේජක භාවිතය ගැනත් ඉදිරියේදී කතා බහ කරමු.

Malcolm Sang

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...