ප්‍රධාන වශයෙන් ආර්ථිකය සහ දේශපාලනය යන විෂයයන් සම්බන්ධයෙන් විචාරාත්මක ලිපි සපයන මාධ්‍යවේදියෙකු වන උපුල් වික්‍රමසිංහ ලියූ ‘මකර දේශයේ සිට’ කෘතිය අගෝස්තු 08 අඟහරුවාදා පස්වරු 3 ට කොළඹ, මහජන පුස්තකාලයේදී ජනගත කිරීමට නියමිත ය.
මේ, ඒ සම්බන්ධයෙන් ලේඛකයා සමග thetime.lk කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
පොතේ නම ‘මකර දේශයේ සිට.’ චීන ආධිපත්‍යය ගැන ලෝකය පුරා සංවාදයක් පවතින වෙලාවක ඔබ පොතට මේ නම දැම්මෙ ඇයි … ?
අපි අහලා තියෙන විදිහට මකරා කියන්නෙ කල්පිත සතෙක්. ඒ වගේම වෙනත් සතුන්ට නැති හැකියාවන් තියෙන සතෙක්. මකරා කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ චීනය. මකරා ඒ තරමටම චීනයත් සමග බැඳිච්ච කල්පිත සතෙක්.
චීනයේ ගෘහනිර්මාණවල වුණත් ගොඩක් වෙලාවට මේ මකර රූප දකින්න පුළුවන්. චියු යුආන් කියන කවියා සමරන වෙනම උත්සවයක් තියෙනවා. ඒකෙ නමත් මකර ඔරු උත්සවය. මේ උත්සවය දවසෙ චීන ජාතිකයො ගංගාවල ඔරු තරග පවත්වනවා. මේ ඔරු බොහොමයක් හදලා තියෙන්නෙ මකරාගෙ ශරීර හැඩය අනුව. ඉතින් මම මේ පොතට මකර දේශයේ සිට කියලා නම දැම්මෙ චීනය මකරත් එක්ක ඓතිහාසිකමය සංස්කෘතිකමය වශයෙන් තියෙන අනන්‍යතාව නිසා.
අපි දන්නවා චීන ජාතිකයන් විශ්වකර්ම වැඩ කරන්න උපන් හපන් ජාතියක් කියලා. චීන මහා ප්‍රාකාරය, ත්‍රී ගෝර්ජස් වේල්ල මේ වගේ නිර්මාණ ඒකට සාක්කි සපයනවා. ඉතින් මකරා කියන්නෙත් කටින් ගිනි පිඹින්න පුළුවන් අහසින් පියාඹන්න පුළුවන් සතුරු සේනා විනාශ කරන්න පුළුවන් සතෙක්, අපූරු සතෙක්. මේ ගැළපීමත් මගේ පොතේ නමට හේතුවක් වුණා. මොකද මම චීනෙදි දැක්ක විශ්වකර්ම නිර්මාණ ගැන පොතේ තොරතුරු ඇතුළත් වෙනවා. ඉතින් මට ඕනෙ වුණේ චීනෙට මකරත් එක්ක තියෙන සංස්කෘතිකමය හා ඓතිහාසිකමය බැඳීමට වගේම චීන ජාතිකයන්ගෙ විශ්වකර්ම නිර්මාණ හැකියාව කියන මේ දෙකම සංකේතවත් කරන්න පුළුවන් නමක් දෙන්න. ඉතින් ඒ නිසා මම මේ නම තෝරගත්තා.
මාධ්‍යවේදියෙක් විදිහට ඔබ චීනයේ කළ සංචාරයත් එක්ක මේ චීන ආධිපත්‍යය කියන කාරණය විග්‍රහ කරන්නෙ කොහොමද … ?
ඇත්තටම චීන ආධිපත්‍යය කියන කාරණය ඉතාම අලුත් එකක්. ඒක මේ 21 වැනි සියවසේ මුල පටන් ගත්ත එකක්. ඒක දේශපාලනිකමය වශයෙන් ගත්තත් ඓතිහාසිකමය වශයෙන් ගත්තත් ඔප්පු වෙන සිද්ධාන්තයක්.
චීනය කියන්නෙ නිදාගෙන හිටපු ජාතියක්. ඔබ දන්නවා 19 වැනි සියවසේදි ජපානය දෙපාරක් චීනය ආක්‍රමණය කරනවා. පළමු හා දෙවන අබිං යුද්ධවලදි බ්‍රිතාන්‍යය චීනය ආක්‍රමණය කරනවා. චීනය ප්‍රංශ ආක්‍රමණවලටත් මූණ දුන්නා. 18, 19 සියවස් කියන්නෙ බාහිර ආක්‍රමණවලින් චීනය හෙම්බත් වුණු කාලයක්. චීනෙට ඈත අතීතයේ ඉඳන්ම ලෝකෙත් එක්ක තිබුණෙ වෙළෙඳ සම්බන්ධතා. ඒකට හොඳම උදාහරණය තමයි පැරණි සේද මාවත. ඒ කාලෙදි චීනය ලෝක බලවතෙක් නෙවෙයි.
චීනයට ලෝක බලවතෙක් වෙන්න පාර කැපුවෙ ඩෙන් ෂියෝපින්ග්. ඒ, 1978 දි හඳුන්වා දුන්නු ආර්ථික ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති එක්ක. මාඕ සේතුංගෙ ආර්ථික ප්‍රතිපත්ති හා සංස්කෘතික විප්ලවය නිසා හතර ගාතේ ඇදවැටිලා තිබුණු චීන ආර්ථිකය පිබිදෙන්න ගත්තෙ ඩෙන්ගෙ මේ ප්‍රතිසංස්කරණත් එක්ක. චීනය ටිකෙන්-ටික නැගිටින්න ගත්තා. ජපානයත් පහුකරගෙන ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට පත්වුණාට පස්සෙ බටහිර ලෝකය චීනය අනතුරක් විදිහට දැක්කා. ඒක අද චීන ආධිපත්‍යයක් දක්වා දුර ගිහින් තියෙනවා.
මම හිතන්නේ 18, 19 වැනි සියවස්වල නිදාගෙන හිටපු චීනය දැන් ඇහැරිලා. ලෝක බලවතෙක් වීමේ නොතිත් අරමුණින් අද චීනය වැඩ කරනවා. එදා 19 වැනි සියවසේ ඇමෙරිකාවට එරෙහිව සෝවියට් දේශය ගෙන ගිය ලෝක දේශපාලන භූමිකාව 21 වැනි සියවසේ චීනය විසින් ගෙන යනු ලැබීම මේ චීන ආධිපත්‍ය සංකල්පයේ අවසාන තාර්කික ප්‍රතිඵලය වෙයි කියන එක තමයි මගේ පුරෝකථනය.
පුළුල් විෂය පරාසයක් ආවරණය කරමින් පුවත්පත්වලට ලිපි ලියන ඔබ, චීනයේ සංස්කෘතික ජීවිතය ගැන තේරුම් ගැනීම සහ එය සන්නිවේදනය කිරීම ලංකාවට මොන වගේ වැදගත්කමක් අත්කර දෙයි කියලා හිතනවද … ?
ඇත්තටම අපි අනෙකාගේ සංස්කෘතිය තේරුම් ගන්න, ඒකට ඇතුළු වෙන්න ආසයි. අපි මේ තත්ත්වය ලංකාව ඇතුළෙ සාකච්ඡා කළොත් බහුතර සිංහල සමාජයට දෙමළ ප්‍රජාවගේ දේශපාලන ඉල්ලීම් සහ අයිතිවාසිකම් ගැන ප්‍රශ්න තිබුණත් දෙමළ ජනයාගේ සංස්කෘතිය දැනගන්න ඒක විඳගන්න ආසයි. මුස්ලිම් සංස්කෘතියත් එහෙමයි. ඉතින් මම හිතන්නේ අපි වෙන රටවල සංස්කෘති දකින්න කියවන්නත් ආසයි.
දැන් අපිට චීනය කියන්නෙ අමුතු හෝ අලුත් රටක් නෙවෙයි. හැමතැනම චීන අවන්හල් තියෙනවා. චීන ජාතිකයො ඉන්නවා. ඉතින් මම හිතන්නෙ ලංකාවෙ මිනිස්සු චීන ජාතිකයන්ගේ සංස්කෘතිය දැනගන්න දකින්න කැමතියි. මට ඕන වුණේ චීනය ගැන මම ලබපු අත්දැකීම් සහ චීන සංස්කෘතිය ගැන තොරතුරු ඉදිරිපත් කරන්න.
ලේඛකයෙක් වෙන එක කණගාටුවට කරුණක් කියලා සමාජගත කරපු පොළොවක, ඔබ ඔබ ගැන තෘප්තිමත් ද … ?
ඇත්තටම මම තෘප්තිමත් නෑ. මට ලේඛකයෙක් වෙන්න ඕන කියලා හීනයක් තිබුණු කාලෙ මම ගොඩක් තෘප්තිමත් මිනිහෙක්. ඒ වෙනුවෙන් වටිනාකම් එකතු කරගන්න කැපකිරීම් කරන්න මට ආසාවක් හැකියාවක් තිබුණා. ඒත් එතනින් එහා ස්ටෙප් එකේ ඉඳන් අපිට මූණදෙන්න වෙන ප්‍රශ්න එමටයි. සාමාන්‍යයෙන් මේ වගේ පොතක් ලියද්දි එළිදකිද්දි මිනිස්සු හිතන්නෙ (සමහරු මූණට ම අහනව) මම චීනෙ සල්ලි බලාගෙන මේ දේවල් කරනවා කියලා. නැත්නම් ලංකාවෙ චීන තානාපති කාර්යාලයෙන් මට ගෙවනවා කියලා.
මම ඒ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මම චීනයෙ මාස 10ක කාලයක් ජීවත් වුණා. ප්‍රාන්ත 11කට වැඩි ප්‍රමාණයක ඇවිද්දා. සංස්කෘතික ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. මම පොතක් ලියන්න නිමිත්තක් හොය-හොයා හිටියෙ. ඉතින් මට ඒක චීනෙදි හම්බ වුණා. ඉතින් මම එතැනින් මගේ පළවැනි පොත ලියන්න පටන් ගත්තා. මම හිතන්නෙ අපිට අත්දැකීම් තමයි වටින්නෙ. වටපිටාව කොච්චර අමාරු කර්කෂ වුණත් අපිට කරන්න පුළුවන් දේ කරන්න ඕන කියන මතයෙ මම ඉන්නවා.