අවු. 3ක් වයසැති හම්දිගේ මරණය : සමස්ත සිද්ධිය ම සැකසහිතයි – විශේෂඥ වෛද්‍ය : විකුණලා නෑ, වකුගඩු 2ම රෝහලේ තියෙනවා – රෝහල් අධ්‍යක්ෂ

Share post:

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ වකුගඩු ශල්‍යකර්මයකින් පසුව තුන් හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා යොමු කළ වාර්තාවේ පරස්පරතා සහ අපැහැදිලි තැන් පවතින නිසා, ඊට අදාළ සියලු වෛද්‍ය වාර්තා පදනම් කරගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බොරැල්ල පොලිසියට නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැවති විමර්ශනයේදී නීතිඥ සහ විශේෂඥ වෛද්‍ය වයි. එල්. එම්. යූසුෆ් විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර ඇත.

එම දරුවාට වකුගඩු 02ක් තිබූ බවත්, සැත්කමේදී වකුගඩු ඉවත් කළ බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇතැයි වෛද්‍ය යූසුෆ් සිය කරුණු දැක්වීම්වලදී මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ. එසේ ම දකුණු වකුගඩුව සාමාන්‍ය පරිදි ක්‍රියාකර ඇතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබුණද, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් වී තිබුණේ දරුවාට ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව ද මෙහිදී හෙළි වී ඇත.

දරුවාට උග්‍ර වකුගඩු රෝගයක් වැළඳී ඇති නිසා ඔහුගේ වම් වකුගඩුව ඉවත් කිරීමට ද මීට පෙර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව ශල්‍යකර්මය සිදුකළ වෛද්‍ය නලීන් විජේකෝන් විසින් දරුවාගේ නිරෝගී දකුණු වකුගඩුව ඉවත් කර ඇත.

ශල්‍යකර්මයෙන් පසු වම් වකුගඩුව පමණක් මව්පියන්ට පරීක්ෂා කිරීම සඳහා ලබා දී ඇති බවත්, දකුණු වකුගඩුව ඔවුන්ට පෙන්වා නොමැති බවත් වෛද්‍ය යූසුෆ් වැඩිදුරටත් මෙහිදී පවසා තිබේ. මෙම සමස්ත සිද්ධිය ම සැකසහිත වන නිසා මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කරන්නැයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව මත පමණක් රඳානොසිට හෙළිදරව් වී ඇති සියලුම කරුණු සහ සාක්ෂි පදනම් කරගෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී පොලිසියට නියෝග කර තිබේ.

වයස අවුරුදු 03ක් වූ හම්දී !

වකුගඩුවක ඇතිවූ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 03ක් වූ හම්දී, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදු කළ ශල්‍යකර්මයක දී ඔහුගේ රෝගී වකුගඩුව සමග ක්‍රියාකාරී මට්ටමේ තිබූ වකුගඩුව ද ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා පසුගිය ජුලි මස 27දා ජීවිතයෙන් සමුගත්තේය.

ඒ, ඖෂධ ප්‍රමිතිය ඇතුළු විවිධ චෝදනා රැසක් මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයට දිගින්-දිගටම එල්ලවෙමින් පවතින පසුබිමක ය.

දරුවාගේ පියා කියන්නේ කුමක්ද ?

දරුවාට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවත්, ඔහුගේ උදරයේ යට කොටසේ ගෙඩියක් වැනි දෙයක් දැකීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකිරිමට පියවර ගත් බවත් හම්දීගේ පියා වන එම්. එන්. එම්. ෆස්ලිම් පැවසුවේය.

‘දරුවට කිසිම අසනීප තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් ඔහු නිදන් ඉන්න වෙලාවට, අපි වඩාගනිද්දී දරුවාගේ යටි බඩට ආසන්නයේ ගෙඩියක් වගේ දෙයක් දැක්කා. එතකොට එයාට මාස නවයයි වයස. සාමාන්‍යයෙන් එහෙම දෙයක්‌ දැක්කම අපි කරන්නේ වෛද්‍යවරයෙක්‌ ළඟට අරං යන එකනේ. ඉතින් අපි කොළඹ පෞද්ගලික රෝහලක දී විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කළා.

ඒ වෛද්‍යවරයා දරුව ව පරීක්ෂා කරලා ස්කෑන් පරීක්ෂණ වගයක් කරන්න නියම කළා. ඒ අනුව කරපු පරීක්ෂණවල වාර්තා බලලා කිව්වා හම්දීගේ වකුගඩුවක ප්‍රශ්නයක් තියෙනවා, ඒ වකුගඩුවේ මුත්‍රා එකතුවෙලා තමයි ගෙඩියක් වගේ එළියට පේන්නෙ කියලා. එහෙම කියලා ඒ වෛද්‍යවරයා විසින්ම වකුගඩු සම්බන්ධ වෛද්‍යවරයෙක් ළඟට යොමු කළා. ඒ විශේෂඥ වෛද්‍යවරයා පරීක්ෂණ වාර්තා බලලා කිව්වා දරුවාගේ මුත්‍රා බ්ලොක් එකක් තියෙනවා, ඒක හදාගන්න, ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරමු කියලා තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යොමු කළා.

අපිව තුන්වෙනියට යොමු කළ විශේෂඥ වෛද්‍යවරයා තමයි මලික් සමරසිංහ. ඒ විශේෂඥ වෛද්‍යවරයා බලලා කිව්වා මේ බ්ලොක් එක කඩන්න කලින් දරුවා ගැන තව පරීක්ෂණ කරන්න අවශ්‍යයි කියලා, අපිට ලේඩි රිජ්වේ රෝහලට එන්න කිව්වා. පස්සේ අපි ඒ වෛද්‍යවරයාගේ රෝහලේ වෛද්‍ය සායනයේ ලියාපදිංචි වුණා. එතනදී DMSA ස්කෑන් එකක් කළා දරුවට. ඒක බලලා කිව්වා දරුවාගේ එක වකුගඩුවක් වැඩ කරනවා අඩුයි, ඒක සියයට 9ක් වගේ වැඩකරන්නේ, අනෙක් වකුගඩුව සියයට 91ක් වැඩ කරන්නේ කියලා.

ඒ අතරවාරයේ දී කොරෝනා වසංගතය තිබ්බ නිසා රෝහලෙන් කෝල් කරලා කිව්වා දරුවව අරන් එන්න එපා, එයාලා දිනයක් දෙන්නම් කියලා. එහෙම්ම අවුරුද්දක් විතර ගියා. පස්සේ බැරිම තැන රෝහලට අපි කෝල් කරලා බැලුවා. මොකද එයාගේ වකුගඩුවේ ප්‍රශ්නයක් තිබ්බ නිසා. පස්සේ අපි විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහව චැනල් කරලා දරුවව ආපහු එක්කන් ගියාම ඔහු කිව්වා නැවත රෝහලේ වෛද්‍ය සායනයට එන්න, දරුව ව ඇඩ්මිට් කරන්න බලාගෙනම කියලා.

පස්සෙ 2022 ජූනි මාසේ 22 වැනිදා දරුවා රෝහල්ගත කළා. පස්සේ දරුවාගේ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය බලන්න කියලා ජූනි 27 වෙනිදා එයාගේ බඩෙන් වකුගඩුවට බටයක් දාලා බෑග් එකක් දැම්මා. අපි හැමදාම පිටවෙන මුත්‍රා ප්‍රමාණය මැනලා වෛද්‍යවරුන්ට වාර්තා කළා. එහෙම තියෙද්දී තවත් ස්කෑන් පරීක්ෂණ දෙකක් කළා. ඒ ඔක්කෝම වාර්තා බලලා තමයි වෛද්‍යවරුන් තීරණය කළේ හම්දිගේ වකුගඩුවක් අයින් කරන්න ඕන කියලා.

“අපි වෛද්‍යවරුන්ගෙන් ඇහුවා වකුගඩුව සවුත්තු වෙලා ද කියලා. එතකොට ඔහු කිව්වේ දරුවාගේ වකුගඩුව වැඩිලා නැහැ කියලා. ඒ වගේම ඔහු කිව්වා යූරීන් බ්ලොක් එකකුත් තියෙන නිසා වකුගඩුව ඉදිමිලා තියෙන්නේ කියලා.’

රෝහල් අධ්‍යක්ෂ කියන්නේ කුමක්ද ?

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජී. විජේසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

එහිදී රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා තිබුණේ මෙම ශල්‍යකර්මය සිදුකළ දරුවාගේ වකුගඩුව ඉතාමත් විශාල වී වතුර පිරී තිබී ඇති බව ය. එමෙන්ම වකුගඩුව අස්වාභාවිකව පිහිටීම නිසා ශල්‍යාගාරය තුළට ස්කෑන් යන්ත්‍රයක් රැගෙනවිත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ස්කෑන් පරීක්ෂණයක් ද කර තිබූ බව ය.

‘එම පරීක්ෂණයේදී වකුගඩුව නරක්වී ඇති බවට සොයාගත් බව ප්‍රකාශ කළා. පසුව තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරන අවස්ථාවේ දී පෙන්වා එය සිදුකර තිබෙනවා.

අවසානයේ දී දැක තිබෙන්නේ මේ දරුවාගේ වකුගඩු දෙක එකට යාබදව තියෙන්නේ කියලා. ඒ කියන්නේ එකට ඇලිලා වගේ තිබී ඇත්තේ. පස්සේ මේ දරුවා එකම වකුගඩුවක් නැති තැනට පත්වුණේ. ඉන්පසුව දරුවා රෝහලේ තබාගෙන ඔහුට අවශ්‍ය ඩයලසීස් ප්‍රතිකාර කරමින් ඔහුට වකුගඩුවක් බද්ධ කරන්න කටයුතු කරමින් සිටියා. ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවෙනවා. සුදුසු වකුගඩුවක් හොයාගන්න ඕන. ගැලපෙනව ද කියලා පරීක්ෂණ කරන්න ඕන වගේම, දරුවා ඒ වකුගඩු බද්ධ කිරීමට සුදුසු සෞඛ්‍ය මට්ටමක ඉන්නවද කියලා සොයලා බලන්න අවශ්‍යයි.

ඒ අතරවාරයේ දී දරුවට විෂබීජයක් ශරීරගතවීමෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියා.

මේ ගැන මාධ්‍ය මඟින් නොයෙක් ආකාරයේ ප්‍රචාරයන් යන නිසා රෝහල මට්ටමින් පරීක්ෂණයක් සිදුකරනවා. ඒ අතරවාරයේ දී අපට දැනගන්න ලැබුණා මේ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා විදේශගතව ඉන්නේ කියලා. ඒ ගැන සොයා බලන විට මේ ශල්‍යකර්මය 2022 දෙසැම්බර් මාසයේදී සිදු කර තිබෙන්නේ. නමුත් ඒ වෛද්‍යවරයා විදේශ ගතවෙන්න සුදානමින් ඉදලා තියෙන්නේ 2022 වසරේ නොවැම්බර් මාසයේ සිටයි. ඒ කියන්නේ විදේශගත වීමට අවශ්‍ය වීසා ආදිය ලැබිලා තිබිලා තියෙන්නේ.

ඒ වගේම මේ වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක්. මේ වකුගඩුව අක්‍රමවත් ලෙස පිහිටලා තිබීම නිසයි දරුවාගේ වකුගඩු දෙකම ඉවත්වෙලා තියෙන්නේ.

කෙසේ වෙතත් අපි තවදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා යම් කිසි ප්‍රමාද දෝෂයක්, අත්වැරැද්දක් හෝ සිදුවෙලා තිබෙනව ද කියලා. එහෙම වෙලා තිබුණොත් ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා.

යම් කිසි පිරිසක් පෝස්ටර් බැනර් අල්ලන් හිටියා වකුගඩු ජාවාරමක් කරනවා කියලා රෝහලේ. නමුත් ඒ දරුවාගේ ඉවත් කරපු වකුගඩු දෙකම රෝහලේ පටක විද්‍යා අංශයේ තියෙනවා. මම ජූලි 31 දිනයේ දී පරික්ෂා කරලා බැලුවා.

මේක විකුණලා කියනවනම් මම සනාථ කරන්න කැමතියි ඒ වකුගඩු දෙක රෝහලේ තියෙනවා. ඕනෑ නම් ජාන පරීක්ෂණයකින් පවා ඒක සනාථ කරන්න හැකියාවක් තියෙනවා.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...