රැවුල නිසා විශ්වවිද්‍යාලය තහනම් කෙරුණු සිසුවාට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් : මේක විනය තීරණයක් – රජයේ නීතිඥ

Share post:

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය අද (04) විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 14දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බව පැවසීය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගය සඳහා පෙනීසිටීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විභාගයට හා දේශනවලට පෙනීසිටීමට අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නීතිමය බලයක් නැහැ

ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම කරන බවත්, එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සේවාදායකයාට ලබන 09දා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

විනය තීරණයක්

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතියට අනුකූලව කටයුතු කරන බව රජයේ නීතිඥවරිය පැවසුවාය.

විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ විරුද්ධත්වය පළකළාය.

කෙසේ වෙතත් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දුන්නේය.

එසේ තිබියදී අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බව විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ශිෂ්‍යයාට අගෝස්තු 09දා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

  • උපුටාගැනීම : bbc.com/sinhala

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...