රැවුල නිසා විශ්වවිද්‍යාලය තහනම් කෙරුණු සිසුවාට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් : මේක විනය තීරණයක් – රජයේ නීතිඥ

Share post:

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය අද (04) විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 14දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බව පැවසීය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගය සඳහා පෙනීසිටීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විභාගයට හා දේශනවලට පෙනීසිටීමට අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නීතිමය බලයක් නැහැ

ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම කරන බවත්, එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සේවාදායකයාට ලබන 09දා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

විනය තීරණයක්

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතියට අනුකූලව කටයුතු කරන බව රජයේ නීතිඥවරිය පැවසුවාය.

විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ විරුද්ධත්වය පළකළාය.

කෙසේ වෙතත් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දුන්නේය.

එසේ තිබියදී අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බව විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ශිෂ්‍යයාට අගෝස්තු 09දා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

  • උපුටාගැනීම : bbc.com/sinhala

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...