‘කල්පිත කවියෙකුගෙ කල්පනා කවුළු’ – නඳුන් යසිත දසනායක
නඳුන්ගේ නව කාව්‍ය එකතුව පිටවූ පුවත ඇසූ විගස විදර්ශන පොත්හලට ගියෙමි. ඒ ඔහුගේ කවි එකතුව කියවීම පමා නොකළ යුතුම යයි සිත බල කරන හෙයිනි. වරක් කියවීමි. දෙවරක්, තෙවරක් යළි යළි කිහිප වරක් කියවීමි. දැනුදු ඒ කෘතිය මගේ පිටෙහි එල්ලාගෙන යන සාගත බෑගයෙහිය. නදුන් යනු පාඨකයාහට බරට වැඩ පවරන කවියෙකි. ඔහු කිසි විටෙක සිය කවිය ප්‍රවර්ධනය කිරීමට නොවෙහෙසෙයි. ඒ වෙනුවට ඔහු අපට කවි දී පසෙකට වී බලා සිටියි. නව කවක් පබඳියි. එහෙයින් අපට ඔහු සාද සාමීචි වල නිතර හමුනොවෙයි. එහෙත් එසේ හමුනොවූ පමනින් අපට ඔහුගේ කවිය මග නොහැරෙයි. එය විටින් විට අප ඇහැරවයි. කරදර කරයි.
නදුන්ගේ කවි තුළින් මිනිස් හැඟුම් ස්බර්ශ කරන සියුම් ආකාරයන් සුවිශේෂීය. ඔහුගේ කවියක් කියවා හමාර කල පසුව සිත රඳනා සිහින් රිදුමක් වැනි හැඟීම වදනට පෙරලිය නොහැකිය. එසේම ඒ කවිය පාඨකයා හට වරින් වර මේ කවියෙ අර්ථය මේ විධිහට වෙන්න බැරිද යනුවෙන් වෙනස් මානයන් යෝජනා කරනා තරම් පුළුල් ය. ඉදින් ඒ අනුව පාඨකයා කවිය වෙත යළි යොමු වන්නේ නම් එහිදී ඔහුට කවියා නොපවසා එහෙත් සිය වදන් තුළ සඟවා ඇති නෙක කටු සටහන් හරහා බොහෝ මං විවර කරගත හැකි වෙයි.
විදිලි එළි විහිදෙනා රෑ රිදී සිතුවම් අඳී ගගනත නම් කවිය කිහිප වරක් කියවද්දී මට එහි වෙනත් නිර්මාණයක ඡායාව දැනේනනට විණි. ඒ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ වෙඩි නොවදින ළමයි සිනමා පටයයි. මුළු කවිය පුරාම මා හට දැනුනේ ඒ සිනමා පටයේ ඇතැම් දර්ශනයන්ය. මිය ගිය සිය බිළිඳා තුරුළු කරගෙන යන තරුණ මව සමග මට යළි සිහිපත් වූවේ දයාසේන ගුණසිංහයන්ගේ රන් තැටියක කඳුළු කවිය ය. එහෙත් අප කවියා ඉන්දිකගේ සිනමා පටය නරඹා නැත. මේ අත්දැකීම නදුන් සිය කවිය තුළ ගෙන එන්නේ රූප පෙලහර මවන්නට සමත් සිනමාකරුවකු පරිදිම සියුම් දක්ෂතාවකිනි. ඒ කවිය යනු කියවා හමාර කළ පසුවද රිදුම නතර නොවනා ඇවිස්සුමකි. ගින්නකි. වේදනාවකි.
ඔහු සිය කවි තුළ කැටි කරන ඇතැම් පද පෙලක් වුව මුළු කවියකට වඩා පුළුල් පරාසයක් ආවරණය කරන්නට සමත්ය. නදුන් මේ සංක්ෂිප්තබවෙහි වපසරිය විසල් කරනා ආකාරය සැබැවින්ම ප්‍රශස්තය.
ස්ටේෂමේ සීසීකඩ විසිරෙන පරෙවි පිහාටු ගඳ මැද
දුම්රිය එනතෙක් හිඳින මගී මුහුණු ලාලසාවෙහි
පෙම්බරියන් අතින් අල්ලාගත් සංචාරක පෙම්වතුන් අතර
නිවී යන සැන්දෑ එළිය ගිනිකූර අතින් අල්ලාගෙන
විසිරුණු සෙනග පීර පීරා මම ඔබ සොයමි
මෙහි පෙම්බරියන් අතින් අල්ලාගත් සංචාරක පෙම්වතුන් අතර යන පේලිය වෙන්ව ගත්තද ඒ වදන් කිහිපය තුළින් පැවසෙන සමාජ සිත්තම ඉතා විසල් නොවන්නේද? සංචාරක පෙම්වතුන් යන්නෙන් දනවන අදහස හරහා පාඨකයාහට බොහෝ දුර සිය පරිකල්පනය ගෙන යා හැකිය.
දන්කෝගේ හදවත යනු මැක්සිම් ගෝර්කි විසින් රචිත කතාවකි. එහි එන දන්කෝ සිය හදවත පලා අන්ධකාරයෙහි මග පෙන්වයි. නදුන්ගේ කණමැදිරි පියාපත් යනුද එවන් දන්කෝමය පුවතකි. මනුෂ්‍යත්වය වෙනුවට මූල්‍යමය ගනුදෙනු ආදේශ කරන්නට බල කරනු ලබනා සමාජයක මිනිසත් කමෙහි ශේෂයන් හදවතෙහි මණ්ඩි මෙන් බැඳෙනයුර ඒවා යළි යළි ජීවිතයට එබී ජීවිතය සරු කරනයුර නදුන්ගේ කවිය හරහා දැකිය හැකිය. ඔහුගේ කවිය සැබැවින්ම ඒකාකාරීත්වයේ යාන්ත්‍රීකරණයේ මලකඩ කඩා හැර ජීවිතය සොයන්නට කරනා පෙළඹුමකි.
සිහින නැතිවන බවද
යළිත් ඉපදෙන බවද
මේ කුඩා වැසි වනාන්නතර ගම මැදින්
ලෝකය දිනා යා යුතු බවද
කියා අඳුරට නික්ම ගිය
කුඩා කණමැදිරි එළිය
තවම මට සිහිවෙයි…
නදුන්ගේ කවිය ජීවිතය කෙරේ වන ආශාව දල්වයි. අපේක්ෂා භංගත්වය වෙනුවට නව අපේක්ෂා දල්වන්නට පෙළඹුමක් සපයයි. ඔහු ඒ පෙළඹුම කරනුයේ මේ හතරැස් ආකෘතිගත ජීවිතයෙන් මිදී නිදහසේ නව දිවියක් සොයනු පිණිසය. ඒ අලුත් ගමනකි. වෙනස් මගකි.
භූකම්පනයකින් පසුව
ඉරිතලා ගිය තැනක
භූවිෂමතා වෙනස් වුණු
භූමියකි මම
දැන් මම ඉරිතලා ගිය බැවින්
අලුත්වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි….
උල්පතකින් ඇහිඳන් ආ කටුවක්ය – ඒ නදුන්ගේ කවි අතර අපූර්වතම කවියකි. කිසිදු අවධානයක් නොලැබෙන වීසි කර දමන ලද කොණ්ඩ කටුවක් මතින් ඔහු නිමවන කවිය නිර්මාණකරුවෙකුගේ පරිකල්පනයෙහි පුළුල් බවට කදිම සාක්ෂියකි. නදුන්ගේ කවි අතර ඉසියුම්බවින් පොහොසත්ම කවියක් ලෙස මට දැනෙන තවත් කවියක් වනුයේ නඩත්තු කරමි තව උරහිසේ මල් පඳුර ය. කන්ද සහ කථකයා අතර වන අදහස්මය ගනුදෙනුවක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන කවිය අවසන ඔහු කියවන්නා තුළ ඇති කරන කම්පනය අතරෙහි වුව ජීවිතය හමුවීම් සහ වෙන්වීම් ගැන කෙරෙන විවරණය කියවන්නාද ගැඹුරු හැඟුම් සුළියකට මැදි කරයි.
නදුන් යනු අපට ඉන්නා දක්ෂතම කවීන් අතරද ඉදිරියෙන්ම සිටින්නෙකි. තවමත් ඔහුට ලැබිය යුතු අවධානය ලැබී නැත. එහෙත් ඊට කම් නැත. නදුන්ගේ කවිය අදට නොව හෙටටය.
- චූලානන්ද සමරනායක