යාපනය අර්ධද්වීපයේ භූගත ජලයේ අනාගතය!

Share post:

ලෝකයේ පවතින ජලයෙන් මිරිදිය ජලය ඇත්තේ සියයට තුනක් පමණි. එයින් සියයට දෙකක ජල ප්‍රමාණයක් ඝනමය ලෙස පවතියි. භාවිතයට සුදුසු වන්නේ ඉතිරි සියයට එකක් වූ ජල ප්‍රමාණයයි. එයින් කොටසක් අපතේ යන වැසි ජලය ලෙසද තවත් කොටසක් ජලය ලබාගත නොහැකි ප්‍රදේශවලද තිබෙන අතර භාවිතයට ගත හැකි ජලය ඇත්තේ සියයට 0.08 ක් පමණි. කෘෂිකර්මාන්තය  ගෝලීය වශයෙන් විශාලතම ජල භාවිතය සිදු වන්නේ කෘෂිකර්මාන්තයටයි. මෙම අංශය ජලයෙන් සියයට 85 ක් භාවිතයට ගනු ලබයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත්තේ ලෝකයේ මිලියන 783 ක ජනතාවක් ආරක්ෂිත පානීය ජලය නොමැතිව ජීවත් වන බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පතෙන් සියයට 65 ක් කෘෂිකර්මාන්තය සඳහා ද සියයට 35 ක් සමාජ අවශ්‍යතා සඳහා ද යොදා ගත හැකි අතරඑමඟින් නව රැකියා නිර්මාණයට මෙන්ම වාරිමාර්ග කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකි වේ.

මෙවැනි තත්ත්වයක් මත ඓතිහාසික යුගයේ සිටම යාපනය අර්ධද්වීපයේ මිනිස් ජීවිතයට හා සංවර්ධනයට පදනම වූයේ භූගත ජල සම්පතයි. උතුරු පළාතේ මුළු ජනගහනයෙන් සියයට 70ක් යාපනය අර්ධද්වීපයේ සංකේන්ද්‍රණය වී ඇති අතර අර්ධද්වීපය සංකේන්ද්‍රිත වගා කලාපයක් වීමට හේතුව මෙහි පවතින භූගත ජල සම්පතයි.

යාපනය අර්ධද්වීපයේ මෙවැනි දුර්ලභ සම්පතක් තිබුණද එය ඉදිරියේදී අර්බුදවලට මුහුණදීමේ තත්ත්වයන් ඉහළ යමින් පවතින බවට පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

මෑතකාලීන දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ භූගත ජලය සහ මතුපිට ජලය යන දෙකම ගුණාත්මකභාවයෙන් අඩුවෙමින් පැවතීම කනස්සල්ලට කරුණක් බව යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂඨ කථිකාචාර්ය නාගමුත්තු ප්‍රදීපරාජා පවසයි.

අස්ථිර වර්ෂාපතනය, අධික උෂ්ණත්වය, මතුපිට ජල මූලාශ්‍රවල අධික වාෂ්පීකරණ අනුපාතය සහ භූගත ජලය අධික වාෂ්පීකරණය සහ මිනිසුන්ගේ අනිසි භාවිතය හේතුවෙන් ජල ප්‍රමාණය හා ගුණාත්මක භාවය පහත වැටෙමින් තිබෙනබව ඔහු පෙන්වා දෙයි. ඒ අතරම වත්මන් තත්ත්වය තුළ ජල ඉල්ලුම වැඩි වී තිබියදී ජල නැවත පිරවීමේ කටයුතු අඩු නිසා උතුරු ප්‍රදේශය ජල හිඟය නැමැති දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔහු පවසයි.

‘බොහෝ වෙරළබඩ ළිං සහ දූපත් ළිංවල දැනටමත් කිවුල් ජලය සෑදී ඇත. යාපනයේ වැසිකිලි ජලයෙන් යටවන අසූචි වළවල් බවට පත්වී ඇත. ඒ නිසා ළිං ජලය එම අපජලය මිශ්‍ර වේ. නාගරික ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් සිදුවේ. එසේම කෘෂිකාර්මික හා කාර්මික කටයුතු නිසා ළිං ජලය දූෂණය වීම මෑත කාලයේ වැඩි වැඩියෙන් දක්නට ලැබුණා.’ ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම “මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ උතුරු පළාතේ විවිධ ප්‍රදේශ සැලකිය යුතු ලෙස ජල හිඟයකට මුහුණ දෙති. වාර්ෂිකව, මැයි මාසයේ ආරම්භ වන නිරිතදිග මෝසම් කාලය ආරම්භයේ සිට සැප්තැම්බර් අවසානය දක්වා උතුරු පළාතට ඉතා සුළු වර්ෂාපතනයක් ලැබේ. මේ නිසා භූගත ජලය සහ මතුපිට ජලය යන දෙකම නැවත ආරෝපණය කිරීමේ හැකියාව ඉතා අඩුය.” ජ්‍යේෂඨ කථිකාචාර්ය නාගමුත්තු ප්‍රදීපරාජා වැඩිදුරටත් පැවසීය.

මෑත කාලයේ අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශවල භූගත ජලය ලවණීකරණයේ ගැටලුව තීව්‍ර වූ අතර එය භයානක තත්ත්වයක් බවට සැකයක් නැත. මෙම අභියෝගයට නිසි ලෙස මුහුණ දීමට නම් යාපනය අර්ධද්වීපයේ භූගත ජල සම්පත්, භාවිතය, කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳව අධ්‍යයනයන් රැසක් සිදු කළ යුතුය.

“1965 දී යාපනයේ පිහිටුවන ලද ජල සම්පත් මණ්ඩලය විසින් උතුරේ පොළව යට ඇති ලවණ ජලය සහ නළ ළිං කැණීමේ සහ වාරිමාර්ග සංවර්ධනයේ ශක්‍යතා පිළිබඳව අධ්‍යයනයන් කිහිපයක් සිදු කළ නමුත් ඒවා අද දක්වා විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නැතිබව” යාපනය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අයි.සිවචන්ද්‍රන් පෙන්වා දෙයි.

‘යාපනය අර්ධද්වීපයේ ජල සම්පත මුහුණ දෙන ගැටලු සහ ඒවා විසඳීමට ඇති මාර්ග ගැන සිතා බැලීම පෙර නොවූ විරූ අවශ්‍යතාවයක්’ යැයි ඔහු පවසයි.

මෙහිදී දැනට පරිසර විද්‍යාඥයන් යාපනය අර්ධද්වීපයේ ජලධරයන් හට ( වල්ලෙයි – නාවක්කුලි ප්‍රදේශයේ සුන්ඩිකුලම් ) මුහුදු ජලය ආක්‍රමණය වීම වැලැක්වීම, අර්ධද්වීපයේ ජලධර ගැඹුරු කිරීම සහ වැසි ජලය රඳවා තබා ගත හැකි පස නිර්මාණය කිරීම, අර්ධද්වීපයේ ජලධරවල සහ ගොඩබිමෙහි වැසි ජලය රඳවා තබා ගැනීම, ජනතාවට අවශ්‍ය ජලය සැපයීම සඳහා පොදු ජල සැපයුම සිදු කිරීම සහ භූගත ජලය දූෂණය වීම වැළැක්වීම, භූගත ජලය දූෂණය වීම වැළැක්වීමට සහ පොදු සනීපාරක්ෂක යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

දිගුකාලීන පසු විපරම්

උතුරු පළාතේ ජල මූලාශ්‍ර වඩා හොඳින් කළමනාකරණය කර ගැනීම සහ යාපනය අර්ධද්වීපයේ මිරිදිය මූලාශ්‍ර සංරක්ෂණය කිරීම පිළිබඳ ප්‍රශ්නය මෑත කාලයේ තීව්‍ර වුවද, මෙම අදහස ආරම්භ වන්නේ මීට වසර 350 කට පමණ පෙර ඕලන්ද පාලකයන්ගේ කාලයේ සිටය.

ලන්දේසි අණ දෙන නිලධාරී., කෙන්රිල් වැන්රීඩිල් (Uiwayain Rnanesadaina Ein Sunananadana) විසින් තොන්ඩේයිමනාරු සහ නාවක්කුලි ජල පෝෂක ප්‍රදේශවල ගංවතුර පාලන වේලි ඉදිකිරීමෙන් යාපනය අර්ධද්වීපයේ මිරිදිය ජල සම්පත ආරක්ෂා කර ගත හැකි බවට ඔහු යෝජනා කළේය.

1879 වර්ෂයේදී උතුරු පළාතේ ආණ්ඩුකාර ට්වින්හැම් වේල්ලක් ඉදිකිරීමේ උත්සාහයක නිරත වූ අතර, 1883 දී ඉන්දුනීසියාවේ හරකාටෝ ගිනි කන්ද පුපුරා යාමෙන් ඇති වූ බලපෑමෙන් යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යට විය. මේ නිසා ආණ්ඩුකාරවරයා මුහුදට වේලි දැමීමේ ව්‍යාපෘතිය අතහැර දැමුවේය.

1916 දී උතුරු පළාතේ ආණ්ඩුකාර හොරේස් බර්ග් විසින් කාවච්චේරී මාර්ගය  හරහා වේල්ලක් ඉදිකොට වඩමාරච්චියේ මිරිදිය ආරක්ෂා කිරීමට සමත් විය. නමුත් ප්‍රතිපාදන නොමැතිකම නිසා ව්‍යාපෘතිය වසර 4කින් ඇනහිටින ලදී.

1930-1940 කාලය තුළ උතුරු පළාත් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු වෙබ් විසින් තොණ්ඩමනාර් සහ අරියාලෙයිහි වේල්ලක් සැදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. නමුත් දෙවන ලෝක සංග්‍රාම තත්ත්වය නිසා එය ප්‍රමාද වී 1947 දී නැවත ආරම්භ කර 1953 දී අවසන් විය. ලී වේලි සහ මුහුදු ජලය ඇතුළුවීම නිසා මේවාට හානි සිදුවී ඇත.

ඉන්පසුව, බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආනෙයිරවූ නීරේරි, තොන්ඩයිමනාරු නීරේරි සහ උප්පාරු නීරේරි (නාවක්කුලි) මිරිදිය ජලාශ බවට පත් කිරීමේ යෝජනා සලකා බැලීම සඳහා ඉදිරිපත් කරන ලදී. මේවා අනුගමනය කරමින්, 1930 ගණන්වල ජාතික රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූ බාලසිංහම්, කිවුල් ජලය සහිත වැව් වල ලවණ ඉවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනා කළේය.

1950 දී වාරිමාර්ග ඉංජිනේරුවෙකු වූ ආරුමුගම් යාපනය සඳහා ජල සම්පත් සංවර්ධන සැලැස්මක් යෝජනා කළේය. මෙම ව්‍යාපෘතිය පසුව ‘ආරුමුගම් ව්‍යාපෘතිය’ සහ ‘යාපනය සඳහා ගංගා ව්‍යාපෘතිය’ ලෙසින් හැඳින්විණි.

ආරුමුගම් ව්‍යාපෘතියට අනුව උතුරු පළාතේ සුවිසල් භූමි ප්‍රදේශයකින් ආරම්භ වී උතුරු දෙසින් පුදුකුඩිරිප්පු සිට නුවර පාරට නැගෙනහිරින් ගලා බසින ගංගාවල ජලය ආණියාරු ජලධරය වෙත මිරිදිය වැවක් බවට පත් කිරීමට යෝජනා වී ඇත. නමුත් මේ වනතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නැත.

වර්ග කිලෝමීටර් 77 ක ආනෙයිරවූ වේලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියහොත් වන්නි ප්‍රදේශයේ සිට වර්ග කි.මී. 940 ක භූමි ප්‍රදේශයේ වැසි ජලය කනකරායන් ඇතුළු කුඩා ඇළ දොළ හරහා ගලා ගොස් නැගෙනහිර දෙසින් සුන්ඩිකුලම් හරහා ආනෙයිරවූ වැවට එක් වන අතර බටහිර පෙදෙසින් ආනෙයිරවූ හරහා මුහුදට එක්වේ. මේවා බැම්මකින් අවහිර කිරීමෙන් ආනෙයිරවූ වැවේ විශාල මිරිදිය ප්‍රමාණයක් ගබඩා කර ගත හැකිය.

ආනෙයිරවූ වීදී පද්ධති මාර්ගය බටහිර වෙරළ තීරයේ මුහුදු ජලය ආනෙයිරවූ වැවට ගලා යාම වළක්වයි. සුන්ඩිකුලම් ප්‍රදේශයේ ඉදිකරන ලද බැම්ම සහ අතිරික්ත ජලය බැහැර කිරීමේ යාන්ත්‍රණයට හානි සිදුවී ඇති අතර ඒ හරහා මේ වනවිට මුහුදු ජලය ඇතුළු වෙමින් පවතී. එය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුය. මුහුදු ජලය රඳවා ගැනීමේ වේලි ස්ථර දෙකකින් ඉදිකිරීමෙන් නියඟ කාලවලදී මුහුදු ජලය පොළොවට එක්වීම වලක්වා ගත හැකිය. මෙමගින් ආනෙයිරවූ වැවේ මිරිදිය පවත්වා ගත හැකිය.

එමෙන්ම ආනෙයිරවූ මිරිදිය වැව මුල්ලියාන් ඇළ සමඟ වඩමාරච්චි දකුණු ප්‍රදේශයට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ද අසම්පූර්ණයි. එයද සම්පූර්ණ කළ යුතුය.

තොන්ඩයිමානාරු, උප්පාරු

අලියාවෙල ප්‍රදේශයේ ගිම්හානයේදී වැටෙන වැසි ජලය මරුතංගේනි, සෙම්බියන්පත්තු, නාගර් කෝවිල, අම්බන්, කුඩත්තනෙයි හරහා ගලා ගොස් පායින්තොඩි, පරුත්තුරයි, කොඩිගාමම් මාර්ගය හරස් කරන පාලම හරහා ගලා ගොස් මාන්ඩාන් හරහා මුහුදට ගලා යයි.

මුහුදට මිශ්‍ර වන ඇළ යනු ඊසාන දිග මෝසම් සමයේදී ඇති වන තද මුහුදු සුළඟින් ධීවර දිය අගල් ගසාගෙන යෑම වැළැක්වීම සඳහා දෙමළ රජු තොන්ඩයිමාන් විසින් කපා දැමූ ඇළකි. මෙය ඔවුන් තොණ්ඩිමනාරු ලෙස හැඳින්වූහ. වත්මන් භෞතික සංවර්ධනය තුළ මෙම මුහුදු ඇල වසා දැමීමෙන් වැසි ජලය නඩත්තු කළ හැකිය.

ඒ සමගම එය වන්නාතිපාලම් හරහා ගලා ගොස් පුත්තූර්, නීර්වේලි, කෝප්පායි හරහා ගොස් කයිතඩි කෝප්පායි පාලම හරහා ගොස් කයිතඩි සහ නාවක්කුලි ප්‍රදේශයේදී මුහුදට එක්වේ. මෙය උප්පාර් යනුවෙන් හැඳින්වේ.

මෙහිදී තොන්ඩේයිමානාරු බැම්ම සහ නාවක්කුලි බැම්ම පිළිසකර කළ යුතුව ඇත. මේවාට ද්විත්ව ස්ථර බාධක ද අවශ්‍ය වේ. උප්පරු ජලධරය සහ වඩමාරච්චි ජල විල සම්බන්ධ කිරීමෙන් ආනෙයිරවූ  සිට අරියාලෙයි දක්වා වර්ග කිලෝමීටර් 170ක දැවැන්ත මිරිදිය වැවක් නිර්මාණය කළ හැකිය.

ඒ හැරුණු විට යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව ඇති තවත් සමහර වැව් විශාල ද්‍රව්‍යමය වියදමකින් තොරව ලවණ ඉවත් කිරීමට හැකියාවක් ඇත. උදාහරණයක් ලෙස, මණ්ඩයිතිව් සහ වේලනෙයි ප්‍රදේශ වෙන් කරන කලපුවේ ජලය පහසුවෙන් මිරිදිය බවට පරිවර්තනය කළ හැකිය. පන්නෙයි තාම්බෝදී සහ අරලි තාම්බෝදී යන මුහුදු පාලම් සම්පූර්ණයෙන්ම වසා දැමීමෙන් යාපනය නගරයේ නිරිතදිග කොටසේ දැවැන්ත ජල ගැලීම් ඇති කළ හැකිය.

මෙවැනි මිරිදිය ව්‍යාපෘති මගින් මිරිදිය ලබා ගැනීමේ හැකියාව වැඩිකර ඉඩම්වල ලවණතාවය ඉවත් කර සරු වගා බිම් බවට පත් කළ හැකිය. ඉඩම් හා ජල හිඟයෙන් පීඩා විඳින යාපනය අර්ධද්වීපයට මෙය ආශිර්වාදයක් වනු ඇත.

  • ආර්. රාම්

(‘யாழ். குடாநாட்டின் தரைக்கீழ் நீரின் எதிர்காலம்’ ලිපියේ සිංහල පරිවර්තනය උපුටාගත්තේ www.journo.lk වෙබ්අඩවියෙනි.)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...