මම හිටියේ කෝපාවිෂ්ට වෙලා. ඒ කෝපය පස්වැනි දරුවා නවකතාව තුළට රිංගුවා (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 5)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 5 කොටස.

කතාවක ‘හඬ’

යථාර්ථවාදී නොවන ප්‍රබන්ධ ලිවීමේදී ප්‍රශ්න කීපයක් මතුවෙනවා. ප්‍රධානම එක තමයි, ඒක නොහික්මුණු එකක් විය නොහැකියි – එහෙම වෙන්න කොහාමටවත් බැහැ. පටන්ගන්නටත් පෙර නොදැමුණු තත්වයකට පත්වූ යථාර්ථවාදී නොවන කතාවක් ලියන්න ඔබට බැහැ.

ඔබ තෝරාගත යුත්තේ බොහොම සාමාන්‍ය තත්වයක්. මෙන්න මේ වගේ දේකින් තමයි පටන් ගන්න වෙන්නේ: ‘ෆ්‍රෙඩ් මුළුතැන්ගෙයි වාඩිවී ටයිෆූ තේ කෝප්පයක් පානය කරන අතර, ඔහුට ඇත්ත වශයෙන්ම පාපන්දු ක්‍රීඩා කරන්නට යාමේ උවමනාවක් තිබුණි. එහෙත්…’ ආදී වශයෙන්. විද්‍යා ප්‍රබන්ධයක් වුණත් පටන්ගන්නේ එහෙමයි. ‘මගෙ දෙයියනේ, බකමූණෝ කෑගහනවා, අවතාර සජ්ඣායනා කරනවා’ වගේ දේවල් ලියන්නෙ නැහැ.

හොඳයි, මට උවමනා වුණේ බොහොම සාමාන්‍ය – මධ්‍යම පාංතික, කිසිම විශේෂත්වයක් නැති – පවුලක්. මොකද, කොහොමටත් අසාමාන්‍ය වූ පවුලකට තවත් අසාමාන්‍ය දරුවෙක් එකතු කරන එකේ කිසිම තේරුමක් නැහැ – එහි කැපී පෙනෙණ කිසි දෙයක් නැහැ. ඉතින් මම මේ ඉතාමත් සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලෙන් පටන් ගත්තා. දරුවො හතරදෙනෙක් ඒ පවුලේ ඉන්නවා – බොහොම සාමාන්‍ය ළමයි. මේ පවුලට උවමනා කරන්නේ සාමාන්‍ය පවුල් පරිසරයක්, සාමාන්‍ය ළමයි, සාමාන්‍ය දේවල්. ඔන්න ඒ පවුලට මේ දරුවා ඉපදෙනවා. අම්මාගේ කුසේ ඉඳිද්දිම ඔහු පෙන්වනවා තමා කොතරම් අසාමාන්‍යද කියලා. ඔහු බොහොම ශක්තිමත්. මේ අසරණ ගැහැනියට හරිම වේදනාකාරී ගැබිණි කාලයක් ගෙවන්න වෙනවා අර දරුවා ගර්භාෂය තුළ ප්‍රචණ්ඩ විදියට හැසිරීම නිසා.

මට එහෙම අදහසක් ආවේ කොහොමද කියලා කිව්වොත් – මම කල්පනා කළේ වෙනස් සත්ව විශේෂයකට අයත් බීජ මගින් ගැබ් ගැන්වූ සත්තු ගැන. උන්ට උන්ගේ ගැබ් තුළ වෙනස් දෙයක් තිබෙන බව දැනෙන්න ඇති නේද? මම කියන්නේ, ටිකක් හිතලා බැලුවොත් – මට තේරෙන්නෙ නැහැ, වතාවක් කැලිෆෝර්නියාවෙදි බැල්ලියක් සහ බැළලියක් ඒ විදියට ගැබ් ගන්වනු ලැබුවා. ඒ කලලය වර්ධනය නොවුණ එක ගැන මට සන්තෝෂයි. ඒත් හිතලා බලන්න, බැල්ලිය හරි, බැළලිය හරි, වෙනස් සත්වයෙක් තමන්ගේ ගැබේ දරා ඉන්න එක; ඒ ගැන හිතනකොට ඉතාම බියකරුයි. එහෙම නැතිනම් එකිනෙකට වෙනස් වඳුරු විශේෂ දෙකක් එකතු කළොත් – බැබූන් කෙනෙක් වගේ – හිතාගන්නත් බැරි තරම් භයානකයි. ඒ වගේ දෙයක් වුණොත් අපි කරන්නේ මොකක්ද? ඉතින් මගේ වීරවරිය – ඉතා අපහසු ගැබිනි කාලයක් ගෙවන අසරණ ගැහැනිය – ඉන්නවා, ආරම්භයේ සිටම වෙනස් කෙනෙකු වූ දරුවා ඉන්නවා – ඒක එතැන ඉඳන්ම වෙනස්.

මම පස්වැනි දරුවා නැමැති මේ කතාවට අදාල නියම හඬ ඉදිරිපත් කරන්නේ කොතැන්සිටද? ඔබට කිසියම් මොහොතකදී සංඥාවක් දෙන්නට සිදුවෙනවා – මේ කතාවේදී එය වෙන්නේ අර අසණ ගැහැනිය එයාගේ ගැබිනි බව ලබන්නට පෙර – දෙන්නා ඉන්නවා ඒගොල්ල මිලදී ගන්න බලාපොරොත්තුවන ගෙදරට ඇවිත් – ඒ ගෙයි තියෙනවා මොකක් හරි බලවත් වටපිටාවක් – ඒ දෙන්නා ඉන්නේ නිදන කාමරයක් බවට පත්වන්නට නියමිත කාමරයක. එතැනදි ඒ දෙන්නා ලිංගිකව හැසිරෙනවා. එයාලට පිටුපසින් තියෙන්නේ අඳුරු සෙවණැලි සහිත දර්ශන පථයක්. ඒකෙ මොනවාහරි අමුත්තක් තියෙනවා – හරියට කැලේක ඉන්නවා වගේ.

ඒගොල්ලන්ට දරුවෙක් ලැබෙනවා; මම කලින් කිව්වා වගේ, වෙනස් ආරම්භයක් ඇති දරුවෙක්. ඉතින්, එයාගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට අමුතු හැඟීමක් දැනෙද්දීම ලිංගිකව හැසිරෙන අවස්ථාවේ ඉඳලා තමයි අර ‘හඬ’ මම පොතට රැගෙන එන්නේ. දැන් මම ටිකක් වෙනස් පැත්තකට යන්න හදන්නේ – මම කියන්න යන්නේ මොකක්ද කියල ඕනෑම ලේඛකයෙක් තේරුම් ගනීවි.

පස්වැනි දරුවා ලියන්න ඉස්සරින්, මට කණ්ඩායමක් එක්ක යන්න ලැබෙනවා ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය නිසා සරණාගත වෙච්ච මිනිස්සු බලන්න. ඒක බලවත් ඉච්ඡාභංගයක් ගෙන දීපු අත්දැකීමක්; මොකද, රුසියානුවෝ ඇෆ්ගනිස්ථානයේ කරන්නෙ මොකක්ද කියන එක ලියන්න කෙනෙක් හොයාගන්න විදියක් නැහැ. මිනිස්සු – කොමියුනිස්ට්වාදියෝ – සෝවියට් සංගමය විවේචනය කළේ නැති නිසා, ‘නැත’ බෝඩ් එකක් එල්ලිලා තිබුණා කොමියුනිස්ට් කාලපරිච්ඡේදයට ඉහළින්. ඉතින්, පාකිස්ථානයේ මිනිස්සු කිව්වේ, ඔයගොල්ලන්ට මේකෙන් එළියට කිසිම කතාවක් අරගෙන යන්න බැහැ, ලියලා වැඩක් නැහැ, කවුරුවත් ඒක පළකරන්නේ නැහැ, කියලා.

මම එතැනින් ආවට පස්සෙ හොයාගත්තා, මම කියන්නේ අපේ බොහොම අපූරු පුවත්පත්… නිව්ස්වීක් වගේ ඒවා; මට මහා කනගාටුවක් දැනුණා – ඔවුන් සෝවියට් සංගමය විවේචනය කරන කිසිදු කතාවක් පළ කරන්නේ නැහැ. මම හිටියේ පුදුම තරහකින්, පුදුම ඉච්ඡාභංගත්වයකින් – මේවා අපේ බොහොම හොඳ පුවත්පත් – ඒත් මම දැනගත්තා ඒවා කොතරම් පහසුවෙන් මුදලට යටකරගන්න පුළුවන්ද කියන එක. මම හිටියේ කෝපාවිෂ්ට වෙලා.
ඒ කෝපය පස්වැනි දරුවා තුළට රිංගුවා. දැන් බොහොමයක් ලේඛකයෝ මෙය හඳුනාගනීවි – නවකතාවට සම්බන්ධයක් නැති බලවත් හැඟීමක් නවකතාවට රිංගලා එය තුළ පැතිරී යන්න පුළුවන් කියන දේ. එහි ඇති ජවය, එහි ඇති ශක්තිය ඒක වෙන්න පුළුවන්. පස්වැනි දරුවා ලියද්දී මගේ ශක්තිය වුණේ, අපේ පුවත්පත් වනාහී ඇත්තටම මොනවගේ ඒවාද කියලා දැනගත්තාට පස්සේ – මොකද, මම එය දැනගත්තේ ඒ අවස්ථාවේදීයි – මට ඇතිවුණ කෝපය, වියරුව, සහ ලැජ්ජාව.

ඉතින්, මම යම් ලේඛකයකුට කිව්වොත්, ‘අර ඔබ ලියාපු පොත – ඒකේ මොකක්දෝ දෙයක් මට දැනෙනවා – මොකක්ද ඒ පිටුපස තියෙන ආවේගය?’ කියලා, ඔවුන් කියාවි, ‘ආ, ඔව්. ඇත්තටම ඒකට ඒ පොතේ කිසිම සම්බන්ධයක් නෑ.’ ඔවුන් කියාවි, ‘මම කෙනෙකුට ආදරය කළා. ඒ හැඟීම පොතේ හැම තැනකම තියෙනවා,’ එහෙම නැතිනම් ‘මම බොහොම දුකෙන් හිටියේ, මගේ හොඳම මිතුරාගේ මරණය නිසා. ඒක පොතටත් කාන්දු වුණා.’ කියලා.
මෙන්න මේක… මේ ගැන කිසිවකුට දැනගැනීමේ හැකියාවක් නෑ. එය දන්නේ ලේඛකයාම විතරයි. පාඨකයා දන්නේ නෑ, පාඨකයාට දැනගන්න විදියක් නෑ…

හරියට රන් සටහන්පොත වගේ. රන් සටහන්පොත කියන්නේ ඉතාමත් සජීවී, ඊටම ආවේණික ජීවයකින් පිරී තිබෙන කතාවක්. ඒකට හේතුව වුණේ, මම ඒක ලියපු කාලය පරස්පර විරෝධීතා, වෙන්න බැරි දේවල් බොහොම පැවති කාලයක්. ඒ තමයි සෝවියට් සංගමය මොන තරම් බිය උපදවන තැනක්ද කියලා හැම සහෝදරයෙකුටම දැනගන්න ලැබුණු කාලය. ඒක බලාපොරොත්තු කඩවීම්, දුක, කෝපය ආදියෙන් පිරුණු කාලයක්. ඒක රන් සටහන්පොත කෘතියේ පෙනෙණවා; ඒක තමයි එහි තියෙන ජවය. මම එක දන්නවා, ඒක දන්න වෙනත් මිනිස්සු ඉන්නවා; ඒත් වර්තමානයේ ඒ පොත කියවන අය… ඒගොල්ල හරි වෙනස්. ඒගොල්ල රන් සටහන්පොත නැවත මුද්‍රණය කරනවා – අවුරුදු ගණනාවකට පස්සේ. මම දන්නවා ඇයි ඒගොල්ල එහෙම කරන්නේ කියලා. ඒ පොතේ අර හැඟීම් සමුදායම අන්තර්ගතයි. මම කියනවා වගේ, ඔබ මේ කතාව ඕනෑම ලේඛකයෙකුට කියන්න, ඔහුට එය හරියටම තේරෙනවා.

බෙන් කියන්නේ මම!

දැන් මම කිව්වා පස්වැනි දරුවා නවකතාවට වස්තුබීජ වුණේ මොනවද කියලා. පස්වැනි දරුවා එක්ක කොහෙත්ම සම්බන්ධයක් නැති හැඟීම් සමුදායකුත් ඒවා අතර තියෙනවා. ඒකෙන් තමයි කතාවට ජීවය දෙන්නේ. ඒත් පොත පිටවුණාට පස්සේ බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වුණා. මට මහා ගොඩක් ලියුම් ලැබෙන්න ගත්තා, හරියට දැලකට මාළු අහුවුණා වගේ. ආබාධ ඇති දරුවෝ ඉන්න, ඕටිස්ම් කියන තත්වය ඇති දරුවන් සිටින, මොකක් හෝ ප්‍රශ්නයක් ඇති දරුවන් ඉන්න අයගෙන් තාමත් මට ඒ විදියට ලියුම් ලැබෙනවා. ඒ අය කියනවා, ඔබ මගේ අත්දැකීම ලියා තිබෙනවා කියලා. ඉතින් එහෙම දුක්ඛදායක ලිපියක් එවාපු කෙනෙකුට මට පුළුවන්ද උත්තරයක් ලියන්න, ‘නෑ නෑ ඒකෙ තියෙන්නේ අතීතයේ හිටපු බහිරවයෙක් ගැන, මේක වර්තමානයේ දෙයක් එක්ක කිසිම සම්බන්ධයක් නෑ, මේ කතාව ඈත අතීතයට ‍හෙළූ බැල්මක්, කියලා? ඔබට බෑ එහෙම කියන්න මිනිසුන්ට. ඉතින් මම ඔවුන්ට ලියනවා, මම බලවත් ලෙස කනගාටු වෙනවා ඔබට ඕටිස්ම්, නැතිනම් ඇස්පර්ජර් සහලක්ෂණය, නැතිනම් තවත් මොකක්හරි තියෙන දරුවෙක් ඉඳීම ගැන. ඒක මොනතරම් අමාරු දෙයක්ද! මට සැබැවින්ම කනගාටුයි, වගේ දෙයක්. ඔබට වෙන පැත්තකට අරගෙන යන මේ වගේ ලියුම් ලියන්න ඔබට සිද්ධ වෙනවා. ඔබ ලියන දේ පොතත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

මට පසුගිය සතියේ කාන්තාවකගෙන් ලියුමක් ලැබුණා; ඈ කියනවා ඈට ඕටිස්ම් තත්වය ඇති දරුවන් දෙන්නෙක් – එක්කෙනෙකුට පස්සේ තව කෙනෙක් – සිටිනවාය කියා. මගේ නවකතාව කියවද්දි ඈ තේරුම් ගත්තා ඒ මව සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ ඒ දරුවා – පස්වැනි දරුවා – එක්ක මොනතරම් අමාරු කාලයක් ගෙවන් ඇතිද කියලා. ඈට සිද්ධවුණා ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් විදියට හදා වඩා ගන්න; ඒත් ඈට ඒක කරන්න බැරි වුණා.
ලස්සනම දේ තමයි – අපි පොඩ්ඩක් ආපහු ගියොත් – මම පස්වැනි දරුවා නවකතාවේ මුල් පිටපතේ අනිත් දරුවන් ගැන වැඩිමනත් සඳහනක් කරලා තිබුණේ නැති එක. ලියලා ඉවර වුණාට පස්සේ ඒක කියවලා මම කල්පනා කළා, දෙයියනේ, උඹට පිස්සුද? මේ දරුවා නිසා එයාගේ සොහොයුරු සොහොයුරියනුත් වද විඳිනවා. දෙමව්පියෝ නරක කාලයක් ගෙවනවා තමයි, ඒත් ඒක අර අසරණ සොහොයුරු සොහොයුරියන්ගේ විඳවිල්ල එක්ක බැලුවාම එතරම් ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මට ඒක ලියන්න වුණා. දැන් ඒ කතාවේ හැඩය දිහා බැලුවාම ඒක අම්මා සහ ඒ දරුවා අතර සම්බන්ධය හා සමානවම, ඔහුත් ඔහුගේ සොහොයුරු සොහොයුරියනුත් අතර සම්බන්ධයේ කතාවද වෙනවා. මොකද, ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එක් විදියකින් නැතිනම් වෙනත් විදියකින් ඔහුව කොහොමහරි පවුලට ගලපාගන්න.

මට හිතාගන්න බැහැ, කතාවේ මුඛ්‍ය තේමාව නොසලකා හැරලා මම කොහොමද ඒ ආකාරයෙන් ලිව්වේ කියන එක. ඒක සම්පූර්ණයෙන්ම මගේ මනසින් පිටමං වෙලා තිබිලා තියෙන්නේ. මේ දරුවා එක්ක අර ගැහැනිය ලබන අත්දැකීම තුළ එහෙම පිටින්ම ගිලිලා තමයි මම ඉඳලා තියෙන්නේ – මොකද, සිදුවෙන දේ ගැන කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ; ඇගේ සැමියාටවත්, කිසිම කෙනෙකුට උවමනාවක් තිබුණෙ නැහැ මොකක්ද වෙන්නේ කියල තේරුම් ගන්න. දොස්තරලාටත් උවමනාවක් තිබුණෙ නෑ ඒක වටහා ගන්න. ඈ හිතන දේ, ඈ අවංකවම සිතූ දේ – මේ ඉන්න ළමයා ආගන්තුකයෙක් කියන එක – කියාගන්න ඈට පුළුවන්කමක් තිබුණෙ නෑ.

මේ නවකතාවට නවයොවුන් වියේ ළමයි බොහොම කැමති බව දැනගැනීම මට මහා පුදුමයක් වුණා. මම පාසලකට ගිය වෙලාවක ගුරුවරයෙක් මට කියනවා, ‘ඔබ දන්නවද, ළමයි මේකට හරිම ආසයි,’ කියලා. මම ඒ ගැන පුදුම වුණා. ඒත් දැන් මට පුදුම හිතෙන්නෙ නැහැ. මට ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් ලැබෙන ලියුම්වල මෙහෙම තියෙනවා: ‘මම පස්වැනි දරුවා නවකතාව උගන්වනවා. ඒක හැම වෙලාවකදීම හරිම සාර්ථකයි. ළමයි දන්නෙ නෑ ඒ ගැන මොනවා හිතන්නද කියලා’.

එය සතුව ඒ වගේ ගුණයක් තියෙනවා. ඉතින් මම ඒක කොහොමටවත් තේරුම් ගත්තේ නෑ. බෙන් කියන්නෙ – ඔබ ඔහුව මධ්‍යම පාංතික පවුලක ළමයෙක් විදියට ගත්තොත් – බොහොම අවලස්සන, නොගැලපෙන, ආදරේ හිතෙන්නෙ නැති ජීවියෙක්. අවුරුදු 50,000 කට ඉහත, කඳු බෑවුමක පිහිටි ගුහාවක බොහොම හුරු පුරුදු ලෙස වාසය කරන්නෙක් හැටියට ඔබ ඔහු දිහා බැලුවොත්, ඔහු කිසිසේත්ම අමුතු කෙනෙක් විදියට පේන එකක් නෑ. ඔහු ඉන්නේ වැරදි තැනක, එච්චරයි. බෙන් නපුරෙක්ය කියලා මිනිස්සු කියනකොට මට ඒක තේරුම්ගන්න බැරි වුණා, මොකද, එතැන තියෙන්නේ ඔහු එතැනට අයිති නැති වීමේ ප්‍රශ්නයක්. ඒ වගේම, අපට අයිති නොවන මිනිසුන්ව ඉවසන්න අපට බෑ. අපි ඔවුන්ට කොහොමටවත් කැමති නෑ.

ඔන්න මම උතුරු ලන්ඩනයේ පාසලකට ගියා; මෙහේ ඉඳලා වැඩි දුරක් නෑ. ලස්සනම දේ තමයි, හැම සිසුවෙක්ම, සිසුවියක්ම කළු, දුඹුරු, සහ ආසියානු ළමයි. සුදු ළමයි තුන්දෙනෙක් විතර හිටියා. මේ අදහසට ඔබ හුරු පුරුදු කෙනෙක් නොවේනම්, ඊට හුරුවීම අවශ්‍ය වේවි – ඒක අහලා මම කිසියම් කම්පනයකට පත්වුණා. එකිනෙකට වෙනස් සංස්කෘති කරට කර හැප්පෙන මේ වගේ තැනක ජීවත්වීම මොනවගේ එකක්ද? ඔන්න එතැන සාහිත්‍ය පාඩමක් තිබුණා. ගුරුවරයා කිව්වා, ‘ළමයි පස්වැනි දරුවා නවකතාවට ආදරෙයි’ කියලා. එතැන හිටියා හරිම ලස්සන ගෑනු ළමයෙක් – චෙරි මල් සුරංගනාවක් – ඈ ඒ තරම්ම ලස්සනයි. ඒ දරුවා කියනවා, ‘මම ආදරෙයි පස්වැනි දරුවා කතාවට. බෙන් කියන්නේ මම! ඒ මම මයි!!’ ඉතින් මම කිව්වා, ‘ඒක හරි වැඩක් නේ – බෙන් කියන්නෙ ලස්සන ගෑනු ළමයෙක් නෙවෙයි, ඔයා දන්නවනෙ,’ කියලා. ඒ පාර ඈ කියනවා, ‘මම තමයි බෙන්!’
මම ගැඹුරින් හිතන්න පටන් ගත්තා. හොඳයි, කවුද, නවයෞවනයින් කියන්නේ? ඒගොල්ලො හැඩ නැහැ, හරියට වැඩක් කරගන්න බැහැ, ඒගොල්ලන්ට අනිත් අය එක්ක හොඳට පෑහෙන්න දන්නෙ නැහැ. එයාලා කවදාවත්, කවමදාවත් පරිනත වෙන එකක් නැති බව ඒගොල්ලො හිතනවා. එයාලා කිසිම තැනකට, කිසිම දේකට ගැලපෙන්නෙ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ තමන්ව බෙන්ට සමාන කරගන්නවා.
ඉතින්, අඩුගානේ මට සොයාගන්න පුළුවන් වුණා, ළමයි මොකද බෙන්ට කැමතිවෙන්නේ කියන කාරණේ.

(ඊළඟ දිනයට ‘තොරතුරු සහ සිහින’)

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...