ඉන්දියානු ජාතිකවාදය සහ අපේ ජාතිකවාදය – (අවිඥානිකයාගේ මාවත 2)

Share post:

ඈත නිවි නිවි දැල්වෙන විදුලි පහන්. කණාමැදිරියො මිලියන ගාණක් ඉන්න ජනපදයක් වගේ. ඔව්, ටිකෙන් ටික මේ එළි විශාල වෙනවා. ටිකෙන් ටික එළි විවිධ හැඩ ගන්නවා. දැන් යාන්තමට මතුවෙන සත්ව කොට්ඨාශයක් වගේ. නැහැ ඇත්තටම ඒ ගොඩනැගිලි. ඔව් මේ දිල්ලි නගරය.

කොළඹ ඉඳලා නවදිල්ලිය දක්වා මාව අරගෙන ආපු ‘එයාර් ඉන්දියා‘ දඬුමොණරය ගුවන්තොටුපළට පහත් කළේ මිනිත්තු කිහිපයකට කලින්. ගිය වතාවේ ආපු ‘ඉන්ඩිගෝ’ එකට වඩා නම් එයා ඉන්දියා සර්විස් එක විශිෂ්ටයි. ඉස්සර ශ්‍රී ලංකන් එක ගාණට නම් නැහැ. සමහර දේවල්වලට දුක හිතෙන්නේ නිකන්ම නෙමෙයි. කාලෙකට ඉස්සර වැහෙන්න ගියපු ගුවන් සේවයක් දැන් අතිවිශාල සමාගමක්. එයාර් ඉන්දියා අයිති ටාටා සමාගමට. ගුවන් යානයේදී විස්කි වගේම කෑමත් ඇති වෙන්න ලැබුණා. ඉන්දියානු වෙජිටේරියන්. පැය තුනහමාරක විතර සෘජු ගුවන් ගමනෙ කිසිම කරදරයක් තිබුණෙ නැහැ. ගුවන් යානයක් ඉහළට නගින නිමේෂය කියන්නේ ත්‍රාසය, භීතිය, ආශාව, කුතුහලය, සතුට කියන හැමදෙයකම සම්මිශ්‍රණයක්. පිටකොන්ද හරහා යන සීතල දනවන්නේ ඒ සම්මිශ්‍රණයේ අපූරුව.

ගිය වතාවක චෙන්නායි වලදී ඉමිග්‍රේෂන් එකෙන් ප්‍රශ්න සීයක් විතර ඇහුවා. මම හිතුවා දිල්ලියෙදි ඊට වඩා අහයි කියලා. වචනයක්වත් ඇහුවෙ නෑ. තත්පර ගාණකින් මම පැමිණීම් පර්යන්තයේ. ඊළඟ අභියෝගය ටැක්සියක් හොයාගන්න එක. එළියට ආපුවම ටැක්සි සර්විස් නම් සෑහෙන්න තිබුණා. ඒත් ඒවයේ ගණන් අපේ උද්ධමන වේගය වගේ. අන්තිමට ඌබර් පිහිට තමයි. ලාජ්පත් නගර් වලට ඉන්දියන් රුපියල් හාරසීයකට ආසන්න ගාණක් තිබුණා. ලාජ්පත් නගර්වලට මම සේන්දු වුණේ ඔන්න ඔය විදියට. ඒ ඇවිත් තමයි මෙට්‍රෝවෙ කරක් ගැහුවෙ.

පහුවෙනිදා ලංකාවෙන් කාංචනා ප්‍රියකාන්ත ආවා. හවස් වෙද්දි තව කිහිපදෙනෙක් එන්න නියමිතව තිබුණා. අපිට නවාතැන් වෙන්කරලා තිබුණෙ නොයිඩා කියලා දිල්ලියෙන් ටිකක් ඈතට වෙන්න තිබුණ නිවාඩු නිකේතනයක. ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල්ස්. නොයිඩා බලා අපි ගමන් ඇරඹුවේ උදේ හයට විතර. පැය එකහමාරක ගමනකින් පස්සේ අපි නොයිඩාවලට ළඟා වුණා. කර්මාන්ත වෙනුවෙන්ව වෙන්වුණ මේ ප්‍රෙද්ශයේ කඩසාප්පු නම් එච්චර නැහැ. විවිධ රජයේ ආයතන පේළියකම තවත් එකක් විදියට අපි නවාතැන් ගත්තු ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල්ස් ආයතනයත් තිබුණා.

ගේට්ටුවෙන් ඇතුළු වෙද්දි බොහොම පිළිවෙළට සකස් කරපු අංගණයක ලකුණු පෙනුණා. ඇතුළුවන තැනම වතුර මලක් වටා සකස් කරපු මල් කවාකාර මල් පාත්තිය. දුඹුරු පැහැ උස ගොඩනැගිලි පලින් පල විසිරිලා. අපි ආපු ටැක්සිය ගේට්ටුවෙන් ඇතුළු කරන්න කලින් අපේ විස්තර සටහන් කරන්න වුණා. ඊටපස්සේ ඇතුළට ගියපු ටැක්සිය එක් ගොඩනැගිල්ලක් ඉදිරියේ නතර වුණා. මේ ආපු මග සම්පූර්ණයෙන්ම හරිත පැහැ එකක්. දකින දකින තැන විවිධ මාදිලියෙ ගස්.

උදේ පාන්දර නිසා එතරම් වගකිව යුතු නිලධාරියෙකු නැහැ. කලින් දැනුම් දීලා තිබුණ නිසා ආරක්ෂක නිලධාරියා අපේ තොරතුරු පරීක්ෂා කරලා කාමරවල යතුරු දුන්නා. කාමරවල තත්වය නම් නරක නැහැ. දිල්ලියේ ඉඳලා තියෙන දුර සහ මේ අවට ඇවිදින්න තැනක් නොතිබීම තමයි තිබුණු එකම අවුල. ටික වෙලාවකින් සෑහෙන්න බඩගින්නක් දැනුණා. ඒත් විස්තරයක් අහගන්න කෙනෙක් හොයාගන්න නැහැ. අන්තිමට ගෝවින්දා වගේ මනුස්සයෙක් ආවා. නම ප්‍රවීන්. එයා ඇවිත් තිබුණේ අපිට අදාල පහසුකම් ලැබුණද දැනගන්න. ඉතින් අපේ ආහාර ප්‍රශ්නෙට විසඳුමක් විදියට කැන්ටිමක් ඇති බව ඔහු කිව්වා. ඉතින් අපි ඒ හරිත ගස් අස්සේ තිබුණ දුඹුරු ගොඩනැගිලි අතරේ ඇවිදන් ගියා. මේ දේශගුණයෙ පොඩි හීන් රිදවිල්ලක් තියෙනවා. කැන්ටිමේ කාපු පිඟන් ගොඩගහලා තිබුණා මිසක් කෑම තිබුණෙ නැහැ. අන්තිමට ප්‍රවීන්ට අපි කිව්වා ඔහුගේ වාහනයෙන් අපිව ටවුමට දාන්න කියලා. මෙහෙදි ඉන්දියන් වාහනම වැඩි හරියක් දැක්කට ප්‍රවීන්ගෙ වාහනය BMW එකක්.

ටවුමට ආවත් කිසිම කඩයක් ඇරලා නැහැ. තැනින් තැන කුලී වැඩවලට යන මිනිස්සු කිහිප දෙනෙක් ඇරුණම තාම නගරයම පාලුවට ගිහිල්ලා. කඩ පීරගෙන අපි ගියත් එකම කඩයක්වත් විවෘත කරලා නැහැ. ඉන්දියානු මාතාවගේ දරුවන් උදෙන් නැගිටීම අමතක කරලද මංදා. දැන් වෙලාව උදේ අටත් පහුවෙලා. අපේ වාසනාවට බර්ගර් කිංග් වගේ එකක් අහම්බෙන් හමුවුණා. ඒ නිසාම යාන්තම් බඩගින්න නිවුණා. ඉන්දියන් රුපියල් 100කට ඒක නියම කෑම වේලක්.

කෑමෙන් පස්සේ දවස ගෙවාගන්නේ කොහොමද කියන එක ගැටළුවක්. අර ඉන්ස්ටිටියුට් එකේ හිරවෙලා කාලය ගෙවන එක අපරාධයක් මේ වගේ මහා රටක. ඒ හින්දම ආයෙත් මෙට්‍රෝවෙන් අපේ ගමන දිල්ලිය බලා. නොයිඩා සෙක්ටර් 34වල තමයි අපි ඉන්නේ. නොයිඩා වලට එන්නේ නිල් පාට ලයින් එක. මේක කහ ලයින් එකට සෙට් වෙන්නේ රාජීව් චෝක් වලින්. එතනින් අපි ගියේ දිල්ලිහාත් වලට. මෙට්‍රෝවෙ විවිධ මාදිලියෙ මිනිස්සු යනවා. ඉන්දියාව කියන්නේ කොච්චර විෂමතා තියෙන රටක්ද කියලා අඳුනගන්න මෙට්‍රෝ ගමන උදවුවක්. විශේෂයෙන් පංති භේදය. එකම පින්තූරයක් අරගෙන හැම විදියකම පංතිවල මිනිස්සු වෙන් කරන්න පුළුවන් දිල්ලියෙදි නම්.

දහවලට ළංවෙද්දි අපි දිල්ලි හාත්වල. බෙංගාල කිවිඳියක් වෙන ට්‍රීනා චක්‍රබොර්ති එනකන් අපිට ටික වෙලාවක් රැඳී ඉන්න සිද්ධ වුණා. ඇය තමයි මේ මාකට් එක ගැන හොඳටම දන්නෙ. චක්‍රබෝර්ති කිව්වම මිථුන් චක්‍රෙබෝර්ති තමයි මතක් වෙන්නෙ. ඇය සුන්දර සහ මිත්‍රශීලි කිවිඳියක්. පාර දෙපැත්තෙ පොඩි කඩ. පාසල් නොයන කුඩා දරුවො. කීයක් හරි ඉල්ලගෙන එන දරුවො. වෙනසක් නැති වෙහෙසකර දර්ශන.

ට්‍රීනාගේ ආගමනයෙන් පස්සෙ අපි මාකට් එකට ඇතුල් වුණා. ඇතුල් වෙන තැන ඉඳලාම තියෙන්නේ විවිධ මාදිලියෙ දේශීය නිෂ්පාදන. මාළ වළලු සපත්තු, රෙදි, ඇඳුම්, ගෙවල් අලංකරණය කරන්න ගන්න දේවල්, චිත්‍ර මේ විදියට නා නා ප්‍රකාර දේ වලින් පිරුණු විසිතුරු ලෝකයක් අර වෙහෙසකර දර්ශනය වෙනස් කළා. දිස්තෝපියානු ලෝකයක් ඇතුළෙ උතෝපියානු භූමියක් වගේ. ඉන්දියාව අනුගමනය කරන මේ ක්‍රමය අපිටත් නරකද කියලා මට විවිධ වාර වලදි හිතුණා. විශේෂයෙන් මෙතන ගණන් සාපේක්ෂව ඉහළයි. ඒත් ඔබට හෙට්ටු කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සරෝජිනී මාකට් එක වගේ නම් මෙතන හෙට්ටු කරන්න බැහැ. ටිබෙටියානු පාත්‍රයක් තියන් ඉන්න එක කඩයක සේවකයෙක් ලීයකින් ඒක වටේට කරකනවා. ඒකෙන් මතු වෙන්නෙ ඕමකාරය වැනි ශබ්දයක්. ආධ්‍යාත්මික හඬක්. ගැඹුරුයි. තවත් තැනක වැඩ දාපු සෙරෙප්පු. මෙහෙම අපි පිළිවෙළින් ගියා විවිධ කඩවලට.

ඉන්දියානු ජාතිකවාදය ක්‍රියාත්මක වෙන විදිය සහ අපේ ක්‍රමය අතර ලොකු වෙනසක් නැතත් වෙනස්ම කාරණයක් මම දැක්කා. මේ මාකට්ටුව ඇතුළෙ කඩයක් ගන්න මුදල් නැති අය වෙනුවෙන් වෙන්කරලා තිබුණ විවෘත අවකාශයක් තිබුණා. මෙතන හිටිය දෙන්නෙක්ට මගේ ඇහැ ගියා. දෙන්නම වයසක සීයලා දෙන්නෙක්. එක්කෙනෙක්, සෙල්ලම් කරත්ත විකුණන්නේ. ඉස්සර ලංකාවෙත් තිබුණා තල්ලු කරද්දි ටක ටක ගාලා ඉරටු දෙක ටින් පියනෙ වදින කරත්ත. මම ළංවෙලා ඔහුට කතා කළා. මේ කරත්තයට ඔහුම ගොතපු ඉතිහාස කතාවක් කියමින් ඔහු මේක විකුණන්නේ. හැබැයි මේවා ලංකාවෙත් අපි ඉස්සර දැකලා තියෙනවා. අනිත් කෙනා ඉතාම කුඩා වීණාවක් වැනි සංගීත භාණ්ඩයක්. තත් තුනක් තියෙන, වයලීනයක වගේ කුඩා අත්යුරුවක් තියෙන සංගීත භාණ්ඩයක් ඔහු වයනවා. මේවා විකුණන්න හදපුවා. දෙන්නම වයස හැත්තෑවවත් පැනලා ඇති. මමත් ටක් ටක් කරත්තයක් ගත්තා. ඉන්දියන් රුපියල් 100කට. මේ විදියට ඔවුන් රටට විදේශ විනිමය හොයනවා තාමත්. මම දැක්කා විදේශිකයො පවා ඒවා ගන්නවා. මෙන්න මේක තමයි වෙනස. අපි තාමත් එකිනෙකා එක්ක මරාගන්නවා ඇරෙන්න මේ වගේ සරල දේවත් කරන්නෙ නැහැ.

කොහොම වුණත් ඇටගැහිච්ච ඒ සීයාගෙ රූපය මගේ මතකයෙන් ඉවත් වෙන්නෑ. ඊට පස්සෙ අපිට කුඩ වීදියක් හමුවුණා. බොහොම සරල සංචාරක ආකර්ෂණය ගන්න පුළුවන් දේවල්. දිල්ලියෙන් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. මෙතනින් පස්සේ අපේ ගමන තියෙන්නෙ ලෝඩි ගාඩ්න් එකට.

රශ්මික මණ්ඩාවල

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...