අපරාධ රාජ්‍යයේ සඟවන ඛේදවාචක : ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන කාර්යමණ්ඩලයේ පහරදීමෙන් රෝගියකු මරුට : දින 5කට පෙර රෝහල්ගත කරන තුරු වසර 27ක් සක්‍රීය සේවයේ !

Share post:

අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී (National Institute of Mental Health – NIMH) රෝගියකු මියයෑම සම්බන්ධයෙන් එහි කාර්යමණ්ඩලයේ සිව්දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

මෙම රෝගියා මියගොස් ඇත්තේ බරපතළ ලෙස පහරදීමෙන් පසු ශරීරයේ සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙනි. මීට අදාළ සීසීටීවී දර්ශන ඇතුළු සාක්ෂි සම්පූර්ණයෙන් විමර්ශනය කිරීමෙන් පසු අදාළ රෝහල් සේවකයන් අත්අඩංගුවට ගන්නා බව මෙම මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වන මුල්ලේරියාව පොලිසියේ ඉහළ නිලධාරියෙක් thetime.lk කළ විමසීමකදී සඳහන් කළේය.

ස්ථාන 37ක සලකුණු

මියගිය රෝගියාගේ ශරීරයේ ස්ථාන 37ක බරපතළ පහරදීම් සලකුණු ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවේ සඳහන් වේ. ඔහු මියගොස් ඇත්තේ ලිස්සාවැටීමකින් බව රෝහල් කාර්යමණ්ඩලය විසින් ඥාතීන්ට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවට අනුව ලිස්සාවැටීමකින් පසු මියයාහැකි ආකාරයේ කිසිදු සලකුණක් හිසේ හඳුනාගෙන නැත.

රෝගියාගේ සිරුරේ තිබූ පැල්ලම් නිසා මරණය සැකසහිත බව ඥාතීන් විසින් පවසා තිබිණි. එසේ ම මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමට ද ඔවුන් විසින් පියවර ගෙන ඇත.

වසර 27ක් එක ම තැන සේවයේ !

අවුරුදු 48ක් වයසැති එක් දරු පියෙකු වන මියගිය පුද්ගලයා, පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වසර 27ක් තිස්සේ දිවයිනේ ප්‍රකට පෞද්ගලික ආයතනයක වගකිවයුතු ස්ථිර රැකියාවක නිරත ව සිට ඇත. වරින්-වර රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ ද, එම ආයතනයේ සේවක අයිතිවාසිකම් ඇතුළු පොදු ගැටළුවලදී ද ඔහු නිරන්තරයෙන් මැදිහත් වී තිබේ.

ලිස්සාවැටුණු බව අසත්‍යයක් !

පසුගිය 20දා රාත්‍රියේ ඔහු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 08 වැනි වාට්ටුවට  BHT/3245/2023 යටතේ ඇතුළත් කර ඇති අතර, 25දා රෝහලෙන් ඥාතීන්ට දැනුම් දී ඇත්තේ ඔහු ලිස්සාවැටීමකින් මියගොස් ඇති බවයි.

රෝහල් පරිපාලනය මගහරී

මේ සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය පාර්ශ්වයෙන් මෙතෙක් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. thetime.lk සහ තවත් මාධ්‍ය මගින් අවස්ථා ගණනාවකදී රෝහලෙන් මෙම මරණය පිළිබඳව විමසීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් නිසා මාධ්‍යයට තොරතුරු ලබාදීමට නොහැකි බව පැවසූ නිසා ය. එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ විධිමත් අවසරයකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබාදීම ආයතන සංග්‍රහයට අනුව තහනම් වන බවයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අවධාරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවක් මගින් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් ආයතනයක පරිපාලනය සඳහා ස්ථාපිත කර ඇති ආයතන සංග්‍රහයෙන් උල්ලංඝනය කළ නොහැකි බව පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.

අමාත්‍යංශයේ සැලකීම

මෙම මරණය සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු සඳහන් කළේ මෙය දිගින්-දිගටම බරපතළ ගැටළුවක් ව පවතින බවයි. මෙම විද්‍යායතනයේ කාර්යමණ්ඩලයට රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා වැඩමුළු සහ වෙනත් පුහුණු සැසි රැසක් පැවැත්වූ බව ද ඔහු පෙන්වා දුන්නේය. එසේ තිබියදීත් රෝගීන්ට පහරදීම් සම්බන්ධයෙන් වාර්තා වන බවත්, මෙවැනි මරණ වාර්තා වීම අතිශය බරපතළ බවත් ඔහු අවධාරණය කළේය. රෝගීන්ගේ රෝගී තත්ත්වය නිසා ඔවුන් සමග නිරන්තරයෙන් උපක්‍රමශීලීව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ඔහු, මේ තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යංශය ද වගකිවයුතු බව සඳහන් කළේය.

ඊට හේතුව අමාත්‍යංශ පරිපාලනය මගින් දඬුවම් මාරු ලබාදීම වැනි කටයුතු සඳහා මෙම විද්‍යායතනය තෝරාගැනීම බව ද ඔහු සඳහන් කළේය. මෙවැනි විද්‍යායතනයක මෙම රෝගීන් සම්බන්ධයෙන් විශේෂයෙන් පුහුණුව ලද කාර්යමණ්ඩලයක් අනිවාර්යෙන් ම සිටිය යුතු බව ද පෙන්වා දුන් අදාළ හිටපු අධ්‍යක්ෂවරයා, කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් වන මෙම ගැටළු නිසා රෝහල් පරිපාලනයට පමණක් චෝදනා කිරීම අනුමත කළ නොහැකි බව ද පැවසීය.

තමන් අධ්‍යක්ෂ ධුරය දැරූ විද්‍යායතනයේ යම් සිදුවීමක් සිදු වී ඇති නිසා ඊට සම්බන්ධ වන තොරතුරු සඳහන් කිරීමේදී ඔහුගේ නම භාවිත නොකරන්නැයි එම වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

සඟවන්න උත්සාහ කළා ද?

මෙම මරණය සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වමින් විද්‍යායතනයේ සේවය කරන වෛද්‍යවරයෙකු සඳහන් කළේ යම් සිදුවීමක් සිදු වී ඇති බවට හෙළිවෙමින් ඇති සාක්ෂි පිළිගත යුතු වුවද, මියගිය පුද්ගලයාගේ සිරුර රහසේ ම ඥාතීන්ට බාරදීමට උත්සාහ දැරූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. තමන් දන්නා පරිදි විද්‍යායතනයේ සිදු වන සියලු මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකුට වාර්තා කිරීම අනිවාර්ය කර ඇති බව ද පෙන්වා දුන් මෙම වෛද්‍යවරයා, ඊට හේතුව ඔවුන් විශේෂ රෝගීන් වීම බව ද සඳහන් කළේය.

අත්හැර දැමූ පුනරුත්ථාපානය !

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමුඛයෙකු වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ මානසික රෝගීන් පුනරුත්ථාපනය ලංකාව සම්පූර්ණයෙන් ම අතහැර ඇති බවයි. 70 දශකයට පෙර මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය පැලවත්ත මානසික රෝහල තුළ දී සාර්ථකව සිදුකෙරුණද, ඉන්පසු එය වසා දමා නාගරිකව පිහිටි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය රෝගීන්ගෙන් පිරවීම බරපතළ වරදක් බව ඔහු පෙන්වා දෙයි. එහිදී ඖෂධ මූලික කරගත් ප්‍රතිකාර පමණක් සිදුකිරීම සාර්ථක නොවන බවත්, ඊට සැපයෙන අවම පහසුකම් නිසා මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරී ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...