තමාගේම වූ ජීවයක් තිබෙන මගේ පොත්වලින් එකක් තමා The Fifth Child -(‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 4)

Share post:

අදහස් ලැබෙන්නෙ කොහෙන්ද?

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 4 කොටස.

දැන් මම එක පොතක ඉතිහාසය ගැන, ඒක කොහොමද නිර්මාණය වුණේ කියන දේ ගැන කියන්නම්. ඒ පිළිබඳව කීමෙන් මට මේ විදියේ වෙනස්කම් ගැන වඩාත් පැහැදිළිව විස්තර කරලා දෙන්න පුළුවන්. තවත් බොහොම පොදු වැරදි වැටහීමක් තියෙනවා, මෙන්න මේ වගේ: රසිකයකුගෙන් ලැබෙනවා මෙහෙම ලියුමක් – ලෙසිං මහත්මියනි, මටත් උවමනායි ලේඛකයකු වෙන්න. මට කියන්න, ඔබට කොහෙන්ද ඔය කතාවස්තු ලැබෙන්නේ? ඔබට අදහස් ලැබෙන්නෙ කොහෙන්ද? ඔබට නිර්මාණ ආවේශය ලැබෙන්නෙ කොහෙන්ද?’

ඒකට මෙන්න මෙහෙම උත්තරයක් යවනවා: ‘ඒක එක මොහොතකින් සිදුවන දෙයක් නෙවෙයි. ඒක සිදුවෙන්න අවුරුදු ගණනාවක් යාවි’. ඒත් මට දැනෙනවා‘…කොහෙන්ද ලැබෙන්නේ?’ කියලා ඇසීමෙන්, මේ පුද්ගලයා කිසියම් තොරතුරක් තමයි බලාපොරොත්තු වෙන්නෙ – ඉතින්, සමහරවිට මේ විදියේ උත්තරයක් යවන්නත් පුළුවන්: ‘හොඳයි, ඔබට බස් එකේදි දකින්න ලැබෙන මුහුණක්, නැතිනම් උමං දුම්රියපොළකදි අහන්න ලැබෙන දෙයක් නිසා අතීත මතක මහා ගොඩක් වැලක් වගේ අවදිවෙන්න පුළුවන්. ඉතින් ඔබට හිතේවි, දෙයියනේ මේක කෙටිකතාවක් නේද! ඔන්න ඔහොමයි නවකතා, කෙටිකතා ලියවෙන්නේ. සමනලයෙක් එකපාරටම ඇවිල්ලා ඉස්මුදුණේ වහනවා වගේ ආවේශයක් නෙවෙයි ඒක – ඔන්න ඔය විදියට මම කියනවා. ‘දෙයියනේ, ඒක තමයි නිර්මාණ ආවේශය. අහා, අපූරුයි!’ අන්න එහෙමයි පිටස්තරයෙක්, නැතිනම් බලාපොරොත්තුසහගත නවකයන් මේක දකින්නේ. ඒත් සැබෑවටම නම් එය ඇතැම්විට අවුරුදු ගණනාවක මතක, සිතිවිලි සහ අදහස් මහා ගොඩක්. ඒක තුළ මහ විශාල චින්තන දහරාවක් අන්තර්ගත වෙනවා.

දැන් මම කියන්නම් The Fifth Child (පස්වැනි දරුවා) නැමැති පොත ගැන – තමාගේම වූ ජීවයක් තිබෙන මගේ පොත්වලින් එකක්. හැම පොතක්ම එහෙම නැහැ, ඒත් මේ පොත එහෙමයි. ඒ වගේම ඒක නිතරම සජීවී තත්වයට පත්වෙනවා, නැවත මුද්‍රණය කෙරෙනවා. මට මේ පොත නිසා මහා ගොඩක් ලියුම් ලැබෙනවා. මට ලියන්න ඕන වුණ දේ, අවුරුදු ගණනාවක් තිස්සේ මට ලිවීමට අවශ්‍ය වූ දේ තමයි සුරඟනන්, එහෙම නැතිනම් කුඩා මිනිස්සු ගැන තියෙන අර ජනකතාව පිළිබඳව ලියන එක. ඒගොල්ල එයාලගෙ ළමයෙක් මිනිස් තොටිල්ලක තියලා යනවා. මේ ළමයා මිනිස් දරුවකු හැටියට වැඩෙනවා. එයා දන්නෙ නෑ එයා කුඩා මිනිසෙක්, ගොබ්ලින් කෙනෙක්, කුරුමිට්ටෙක් හෝ ඒ විදියේ කෙනෙක් කියල. ඒත් කුඩා මිනිස්සු ඒක දන්නවා. ඒ ජනකතාවේ කියැවෙන ආකාරයට, තමන්ගේ ළමයා මිනිස් තොටිල්ලක, මිනිස් ගෙදරක වැඩෙන හැටි බලා ඉන්න අර කුඩා මිනිස්සුත්, ඒ බවක් නොදැන ඉන්න සාමාන්‍ය මිනිස්සුත් අතර ඇතිවන අන්තර්ක්‍රියාව තමයි මෙහි තියෙන්නේ. කතාවක් විදියට මේක නොගිණිය හැකි තරම් විවිධාකාර වෙනස්කම් සහිතව කියැවෙනවා – හැම සංස්කෘතියකම ඒ කතාව තියෙනවා – එය අප්‍රිකාවේ විවිධ තැන්වල තියෙනවා. ඔබ කොහේ ගිහිල්ලා ඇහුවත්, ‘ඔයාලගෙ මෙහෙම කතාවක් තියෙනවද?’ කියල, ඒගොල්ල ළඟ ඒක තියෙනවා, එක හැඩයකින් නැත්නම් තවත් හැඩයකින්.

යෝධයෝ සහ කුරුමිට්ටෝ

කුඩා මිනිස්සු මගේ අවධානය දිනාගත්තා. තමන්ගේ දරුවා මිනිස් තොටිල්ලක දාලා යන මේ පුංචි මිනිස්සු කවුද? ඒගොල්ල සුරංගනාවන්ද, නැතිනම් බහිරවයොද? ඒගොල්ල කුරුමිට්ටොද – කවුද එයාලා? මේ වගේ රූප – මේ සුරඟනන්, බහිරවයෝ, කුරුමිට්ටෝ හැම සංස්කෘතියකම ඉන්නවා – ඒගොල්ල ගැන කතන්දර තියෙනවා. බොහොම කාලයක් තිස්සේ මම විශ්වාස කරනවා ඒගොල්ල ඉන්නව කියල. මොකද එහෙම අය ඉන්න බැරි? අපි අතරේ විවිධ ශරීර ප්‍රමාණවල මිනිස්සු ඉන්නේ. එහෙනම් ඇයි සුරඟනන්, බහිරවයන්, කුරුමිට්ටන් සහ තවත් ඔයවගේ අය ඉන්න බැරි? මම ඔබට මතක් කරන්නද – බයිබලයේ කියැවෙනවා – ඒවා දැන් ගණන් ගන්නෙ නෑ, ඇත්තටම – ඒ කාලේ යෝධයින් හිටියා කියලා. හොඳයි, සමහරවිට යෝධයෝ ඉන්න ඇති, අපි දන්නෙ නැහැනේ හිටියෙ නැහැයි කියන්න. ඉඳහිට යෝධ ඇටසැකිලි හමුවෙලා තියෙනවා. ඒකේ තේරුම යෝධයෝ හිටියා කියන එකද? මම දන්නෙ නැහැ. ඒත් ඒ අයට මේ මෑතකදී – ඉන්දුනීසියාවෙදි, ගිය අවුරුද්දේ – හමුවෙලා තියෙනවා කුඩා මිනිසුන්ගේ – ඒ කියන්නෙ මානවයන්ගේ නෙවෙයි, මානවයන්ට ආසන්න – ඇටසැකිලි. අපිම තමයි, ඒත් කුඩායි. ඔන්න, එය තියෙන්නේ; පේනව නේද, කියල මට හිතුණා. දැන් ඉතින් කියන්නත් දෙයක්ද, ශාස්ත්‍රාලයීය උගත්තුයි විද්‍යාඥයොයි මේ ගැන වාද විවාද කරනවා. කට්ටියක් කියනවා, නෑ නෑ ඒක වෙන්න බෑ – අනිත් කට්ටිය කියනවා, එහෙම නෙවෙයි, මේක වෙන්න පුළුවන්; මේ තියෙන්නෙ ඇටසැකිල්ල. ඒක පත්තරෙත් පළවුණා. අරක හරිම සිත්ගන්නාසුළු විවාදයක්. මම හිතනවා ඔවුන්ට කිව්වේ ෆ්ලෝරස් (Homo floresiensis – වර්ෂ 2003 දී ඉන්දුනීසියාවට අයත් ෆ්ලෝරස් දූපතේ තිබී සොයාගනු ලැබූ, අඩි 3 අඟල් 7 ක් උසැති ආදිකල්පික මානව විශේෂයකි. මොවුන් ‘හොබිට්’ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වේ.) කියලා – ෆ්ලෝරස් මිනිස්සු – පුංචි මිනිස්සු.

ඔබ අහල තියෙනවද, බොහොම කාලෙකට ඉස්සර හිටියා චාර්ල්ස් ෆෝර්ට් (Charles Hoy Fort (1874-1932) – සම්මත විද්‍යාත්මක දැනුම් පද්ධතියට අනුව පැහැදිළි කළ නොහැකි අද්භූත සිදුවීම් පිළිබඳ පර්යේෂණය කරමින් පොත් ලියූ ඇමරිකානු ලේඛකයෙකි. ඔහුගේ නම අනුව යමින්, එවැනි සිද්ධි ‘ෆෝටියානු’ සිද්ධීන් හැටියටද හඳුන්වනු ලැබේ.) කියල කෙනෙක්. එයා නිතරම පොත් ලිව්වේ පුදුමසහගත, වෙන්න බැරි දේවල් ගැන. එයා කරන්නේ – අපි දැන් ’50 ගණන් දක්වා අතීතයට යනවා – පුවත්පතකින් හරි සඟරාවකින් හරි අරගත්ත, ඇත්තටම සිදුවුණා යැයි විශ්වාස නොකළහැකි දෙයක් ගැන ප්‍රවෘත්තියක් අරගෙන ඒ ගැන ලියපු එකයි. ඒක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තක්ද, බොරුවක්ද, වෙන්න පුළුවන්ද, බැරිද, ඔය කිසිවක් වැඩක් නැහැ, අච්චු ගැහුවා, දැම්මා.

ඔහු මුද්‍රණය කරපු එක් කතාවක තිබුණේ කුඩා මිනිස්සු ගැන. ඇමරිකාවේ ඇලිගේනීස් (Alleghenies – උතුරු පෙන්සිල්වේනියාවේ සිට නිරිතදිග වර්ජිනියාව දක්වා පැතිරෙන, ඇපලාචියන් කඳුකරයේ බටහිර කෙටෙස.) කියන ප්‍රදේශයේදී හමු වුණ කුඩා ඇටසැකිලි ගැන. අහා! ඔන්න බලන්න – ඔහු කියනවා ඒක වුණේ අවුරුදු ගණනාවකට පෙරදී කියලා; ඉතින් ඔන්න තියෙනවා සාක්ෂි, කියලා මම හිතුවා. කාලෙන් කාලෙට – මම විශ්වාස කරනවා ඒගොල්ලන්ට පුංචි මිනිස්සු හමුවුණා කියල දකුණු අප්‍රිකාවෙදි. ඒ වගේම, හැබෑවටම ඒගොල්ල වාද විවාද කළා, මේ අය ඇත්තටම මානවයින්ද කියල – ඇත්තටම මානවයින්ද? මම දන්නෙ නෑ ඒ අය කවුද කියලා. හැබැයි කුඩා අටසැකිලි.

දැන් පැහැදිළියි නේද? මගේ ආරම්භක අදහස වුණේ, කුඩා මිනිස්සු හිටියා කියන එක, මොන විදියකට හරි – අපි දන්නෙ නැහැ ඒගොල්ල කවුද කියන්න. ඒ අය ගැන අපේ ජනකතාවල, කතන්දරවල තියෙනවා – ඒත් ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් මිනිස්සුන්ගේ ඇටකටු හමුවෙනතුරු අපි ඔවුන් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. දැන් අපට කියන්න පුළුවන්, ඒ මිනිස්සුන්ටත් අපට වගේම හොඳ මොළ තිබුණා කියල. පේන විදියට ඒ අයත් අපි තරමටම ඥාණවන්ත මිනිස්සු; එකම වෙනස, පරිමාණයෙන් ඒ අය කුඩායි. දැනට තත්වය ඒකයි.

දැන් ඔබට පුළුවන් ලෝකය දිහා බලන්න. චාර්ල්ස් ෆෝර්ට් ගැනයි, අවුරුදු 50 කට කලින් ඇලිගේනීස් ගැන හෝ ඉන්දුනීසියාව ගැන අමතක කරන්න. ඔබ සංසන්දනය කළොත් මධ්‍යම අප්‍රිකාවේ ඉන්න, අඩි තුනක්, තුනහමාරක්, හෝ හතරක් උස යන පිග්මි මිනිස්සුයි; අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ දිගේ ජීවත්වන, බොහොම පහසුවෙන් අඩි හතක්, හතහමාරක් උස යන මිනිස්සුයි – කොහේද දැන් ඒ උස මිනිස්සු දකින්න ලැබෙන්නේ? මේ දැවැන්ත, අලංකාර මිනිස්සු… ඔබට ඔවුන්ව දකින්න පුළුවන් ඇමරිකාවෙදි, හෝටල්වල දොරටුපාලයෝ විදියට. හෝටලයේ ප්‍රවේශ ශාලාවට එන පිරිමි බොහෝදෙනෙක් හිස ඉහළට හරවලා මේ යෝධ ජීවීන් දිහා බලනවා. අපට හිතෙන විදියට ඒ අය යෝධයෝ. එයාල ජීවත් වෙන්නෙ නැගෙනහිර අප්‍රිකානු වෙරළේ. මේගොල්ල පිග්මිවරුත් එක්ක එකට තියලා බලන්න – එතකොට අපට යෝධයෝ සහ කුරුමිට්ටෝ හමුවෙනවා.

ලොරේන් අයිස්ලි (Loren Eiseley (1907-1977) – ඇමරිකානු මානව විද්‍යාඥයෙකි, අධ්‍යාපනඥයෙකි, චින්තකයෙකි, ස්වභාව විද්‍යා ලේඛකයෙකි.) කියලා ලේඛකයෙක් හිටියා. ඔහු කාලයක් බොහොම ප්‍රසිද්ධව හිටියා, ඒත් කිසියම් හේතුවක් නිසා දැන් ඔහු ගැන අහන්නවත් ලැබෙන්නෙ නෑ. ඔහු කියනවා දවසක් හැන්දෑ වෙලාවක මුහුදු වෙරළේ අඩිපාරක – රළු අඩිපාරක – ඇවිද යමින් හිටපු විස්තරයක්. ඔහු සෙමින් ඇවිදිමින් සිටියේ ගම දිහාවට. මෙහෙම යන අතරේ ඔහු දකිනවා නියැන්ඩර්තාල් ගැහැනු ළමයෙක්. මම එහෙම කියද්දි මට දැනෙනව මගේ කොඳුඇට පෙළ සීතල වෙලා යන හැටි. මම ඒක කියවද්දි මට දැනුණා, කොඳු ඇට පෙළ සීතල වෙලා, බෙල්ල පිටුපස්සේ තියෙන හිසකේ ගස් කෙළින්වෙන හැටි. ඈ හිස හරවලා ඔහු දිහාව බලනවා. එතකොට ඔහුට පේනවා ඇගේ ඇහිබැමි දාර සහ හිසේ පිටුපස පැත්ත – ඈ නියැන්ඩර්තාලයකු විය හැකියි. ඉතින්, ඔහු කියනවා – දැන් අපි හැරෙන්නේ සැබෑව දෙසට – ඔහු කියනවා, මේ ස්ථානය ඕනෑම නගරයකට දුරින් පිහිටි ග්‍රාමීය පෙදෙසෙක් විය හැකියි. මේ ගෑනු ළමයා වයසින් වැඩෙද්දි, ‘ආ, ඇලිස්ට තියෙන්නෙ අමුතු හැඩයක හිසක්, නේ?’ කියල කීමට වඩා දෙයක් කවුරුවත් කියලා නැතුව ඇති. සමහර විට කිසි කෙනෙක් ඒ බව නිරීක්ෂණය කරලත් නැති වෙන්න පුළුවන්. ඒත් මානව විද්‍යාඥයකු වන ඔහුට නම් ඈ නියැන්ඩර්තාල් කෙනෙක්.

ඉතින් මම කල්පනා කළා. පොඩ්ඩක් ඉන්න – ඒක ආරම්භ වෙන්නෙ උන්හිටි ගමන් – ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මම නියැන්ඩර්තාල්වරු ගැන ලියවුණු ලිපි කියවන්න පටන් ගත්තා. අප තුළ ඔවුන්ගේ ජාන තියෙනවා, නැද්ද? මම දැක්කා ඒ ගැන ආයෙමත් පුවත්පත්වල පළවෙන හැටි. අප තුළ ඔවුන්ගේ ජාන තියෙන බව විද්‍යාඥයෝ කියන්න පටන්ගත්තා. ඒ අයගෙන් එක්කෙනෙක්, ඇමරිකානුවෙක් කිව්වා, ජනකායක් මැද හිටගත්තොත් ඔහුට පුළුවන් අන්න අරයා, මෙන්න මෙයා, අනිත් කෙනා, තවත් කෙනෙක්; ඔන්න ඔය විදියට ඔහුට මේ මිනිසුන්ගේ නියැන්ඩර්තාල් ලක්ෂණ දකින්න පුළුවන් බව. මම කියන්නෙ නැහැ ඔහු එහෙම කළ හෝ නොකළ බවක්; ඒත් එහෙමයි ඔහු කිව්වේ.

ඉතින් දැන් මම බොහොම කැළඹීමට පත්වෙලා ඉන්නේ මම හිතන දේ නිසා – නියැන්ඩර්තාල්වරු ඉන්න පුළුවන් නම්, කුරුමිට්ටෝ, බහිරවයෝ, නැත්තං වෙන මොකෙක් හරි ඉන්න බැරි මොකද? ඔන්න ඔතැනින් තමයි ඒක ඇත්තටම පටන් ගත්තේ.

මම දන්ත ශල්‍යාගාරයට ගිහින්, වෛද්‍යවරයා හමුවෙන්න අවස්ථාව එනතුරු පොරොත්තු කාමරයේ වාඩිවෙලා ඉන්න ගමන් යම් දෙයක් කියවනවා. ඒක අපි කවුරු වුණත් කරන දෙයක් නේ. පත්තරයක තියෙනවා ‘ගර්ට්රූඩ් නැන්දාට ලියුම්’ කියලා පිටුවක්, පාඨකයින්ගේ පෞද්ගලික ප්‍රශ්න ලියන. ඒකෙ තියෙනවා මෙන්න මෙහෙම ලියුමක්: ‘මට මේක ඔයාට ලියන්න ඕනේ. කාටහරි මේක මම කිව යුතුයි. ඔබ මගේ ප්‍රශ්න විසඳන්න හෝ එවැනි කිසිවක් කරන්න අවශ්‍ය නෑ. මට ඕනෑ මේක කාට හෝ කියන්න විතරයි. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මගේ පස්වැනි දරුවා පොඩි යක්ෂ භාවයක් ඇතිවයි උපන්නේ.’ – දැන් කරුණාකරලා මතක තියාගන්න, ඈ සම්පූර්ණයෙන්ම ආගමික ස්වරූපයේ භාෂාවකින් තමයි මේක කියාගෙන යන්නෙ. පැහැදිළිවම ඈ හිතන්නේ නෑ එහි ආගමික ස්වරූපයක් තියෙන බව – ‘මගේ පස්වැනි දරුවා පොඩි යක්ෂ භාවයක් ඇතිවයි උපන්නේ. ඈ උපදින්න පෙර අපේ නිවසේ සන්තෝෂය, අන්‍යොන්‍ය එකඟතාව තිබුණා, පුංචි දෙව්ලොවක් වගේ. ඈ ආවට පස්සේ හැම දෙයක්ම යක්ෂාරූඪ වුණා – අනිත් දරුවන්ට දුක් විඳින්න වුණා.’ ඈ කියනවා, ‘සමහර වෙලාවට මම එයාගේ කාමරයට ගිහින් කොට්ටය උඩ නිදියන ඒ ආදරණීය පුංචි මුහුණ දිහා බලනවා. මට ඕනෑ මගේ දෑත් ඈ වටා යවලා ඈව වඩාගන්න. ඒත් මම දන්නවා මගේ අතට එනු ඇත්තේ මොකක්ද කියල – නයෙක් වගේ පිඹින, කෙළ ගහන පුංචි යක්ෂණියක්.’

ඔන්න ඒ සිද්ධිය – ඔවුන් කියන දේ – මට තදින් දැනුණා. ඉතින් මම හිතුවා, ‘හරි! දැන් මම මේක ලියන්න ඕන.’

(ඊළඟ දිනයට ‘කතාවක ‘හඬ’’)

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...