රාජකාරියට බාධා කරමින් – පොලිසියෙන් පහර දී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනී ! (යාවත්කාලීන කිරීම් සහිතයි)

Share post:

අත්තනෝමතික ලෙස බැංකු පොළී අනුපාතය ඉහළ දැමීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති අද (28) පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී මාධ්‍යවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට පහර දී ඇති අතර, ඉන්පසු බොරැල්ල පොලිසියට රැගෙන විත් තිබේ.

පොලිසිය විවින් විරෝධතාකරුවන්ට ජාල ප්‍රහාර එල්ලකරමින් සිටියදී එය වාර්තා කිරීමට මාධ්‍යවේදියා උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට බැණ වදිමින් පොලිස් ජීප් රථයක් අසලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් ය.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමනට බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේදී පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කරන ලදි.

යාවත්කාලීන කිරීම / පස්වරු 4.40

බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් මුලදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිස් ඇප ලබාදෙන බව පැවසුවද, පසුව දැනුම් දී තිබුණේ ඔහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එහෙත් මෙතෙක් ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කර නැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් ද මේ වන විට පොලිසියට පැමිණ සිටී.

පොලිසිය හිසට කළ පහරදීම් නිසා ඔහුගේ ඇසක් දැඩි ලෙස රත්පැහැ ගැන්වී ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

යාවත්කාලීන කිරීම / පස්වරු 05.15

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස අවධාරණය කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇත.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.


මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම

විරෝධතාවක් අතරතුරදී සටහන් රේඩියෝහි අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී, අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි පිළිකුලෙන් හෙළාදකිමු.
මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදී සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේදී ද හිසකෙස්වලින් ඇද වධහිංසාවට භාජනය කරනු වීඩියෝ සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. එසේම ජිප් රියේදී පොලිසිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිසට ප්‍රහාරයක් එල්ල කර ඇත.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවලදී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත ය.
කෘර, අමානුෂි සහ අවමන්සහගත හැසිරීම්වලින් මිදීමට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබිය දී, ශ්‍රී ලංකා පොලිසිය තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදකි.
තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්නේ ඔහු ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී වන අතර මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. මාධ්‍යවේදියක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසකි.
එසේ තිබියදී කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.
එසේ හෙයින්, තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.


ස්තූතියි.

තරිඳු ජයවර්ධන
සභාපති,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.
0710661417
[email protected]
[email protected]

පිටපත්

1) සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව
2) සභාපති, ජාතික පොලිස් කොමිසම
3) නියෝජ්‍ය පොලිස්පති, පොලිස් නීති කොට්ඨාසය

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...