ටෙලිනාට්‍ය කලාවට විශිෂ්ට ගණයේ තිර රචනයන් ලියූ අරුණ ප්‍රේමරත්න

Share post:

මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රියම ටෙලිනාට්‍යක් කොඩි ගහ යට. කතාව, සාර්ථක රඟපෑම් සහ දෙබස් වැනි කාරණා රැසක්‌ නිසාම ඉතාම ඉහල ප්‍රේක්ෂක ඇගයීම් ලබා ගැනීමට සමත්වී තිබෙන ටෙලිනාට්‍යක් මෙය. රංගන ශිල්පී ජගත් මනුවර්ණගේ පළමු දීර්ග වෘතාන්ත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙය වීමත් සුවිශේෂී කාරණයක්. ඔහුද ඉතා හොඳින් තම කාර්ය සිදු කර ඇති බව පෙනී යනවා.

සාර්ථක ටෙලිනාට්‍යකට හොඳ අධ්‍යක්ෂණයක් සේම හොඳ තිර රචනාවක්ද අත්‍යවශ්‍යම කාරණයක්. තිර රචනයේ අඩුපාඩුවක් සිදු වුනොත් එය කතාවේ ගලා යාමට මෙන්ම රස වින්දනයටද බාදාවක් ඇති කරනවා. කොඩි ගහ යට ලියවෙන්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ සිටින දක්ෂතම තිර රචකයෙකු විසින්. ඔහු නමින් අරුණ ප්‍රේමරත්න. ටෙලි තිර රචනයට කිසි සේත්ම ආධුනිකයෙක් නම් නොවේ. ලාංකීය ටෙලිනාට්‍ය මම ඉහලින්ම තබන ටෙලිනාට්‍ය දෙකක තිර රචකයා ඔහුයි. ඒ සෙනේෂ් දිසානායක බණ්ඩාර අධ්‍යක්ෂණය කල රළ බිඳෙන තැන සහ ආනන්ද අබේනායකගේ බැද්දේ කුලවමිය ටෙලිනාට්‍යන්.
අරුණ ප්‍රේමරත්න රචනා කල රළ බිඳෙන තැන යනු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ වෙනස්ම මුහුණුවරක් ගෙන දුන් ටෙලිනාට්‍යක්. 2006/07 දී විකාශනය වුනු මෙම ටෙලිනාට්‍ය පවුලක්‌ ඇතුලත අපි හොඳින් දන්න සහ කතා කිරීමට පැකිලෙන කතා සංකල්පයක් ඉදිරිපත් කලා. අරුණ ප්‍රේමරත්නගේ පිටපත ඉතා විශිෂ්ට ලෙස එම කතාවේ චරිත වල මනෝභාවයන් ඉස්මතු කර තිබුනා. ලාංකීය ටෙලිනාට්‍ය චරිත වල මනෝවිද්‍යාත්මක පැතිකඩක් එතරම් සාර්ථකව ඉදිරිපත් කල මුල්ම අවස්ථාව එයද කියලත් හිතුනා. 2007 වසරේ සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවල් වල හොඳම ටෙලි නාට්‍ය ඇතුළු සම්මාන රැසක්‌ මෙය ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. එපමණක් නොවේ අරුණ ප්‍රේමරත්න හොඳම තිර රචනය වෙනුවෙන්ද සම්මාන ලබනවා. එය ඔහුට හිමි විය යුතුම ඇගයීමක්.

ඉන් අනතුරුව මේ වසන්ත කාලයයි, චෙස්, බැද්දේ කුලවමිය සහ සකුණ පියාපත්ද ඔහුගේ සාර්ථක තිර රචනයන්. විශේෂයෙන්ම මේ වසන්ත කාලයයි සහ චෙස් ටෙලිනාට්‍ය තුලින් ඔහුට ඉතා හොඳ ශානර විවිදත්වයක් සහ මෙහෙයවීමක් තිබෙන බව පෙන්නුම් කල නිර්මාණ දෙකක්. කොඩි ගහ යට යනු මෑත කාලයේ බිහිවුණු හොඳම crime ගණයේ ටෙලිනාට්‍යක් නම්, චෙස් යනු ඉතාම විශිෂ්ට ගණයේ thriller ටෙලි නාට්‍යක්. චෙස් විකාශනය වුනේ 2013/14 දී. අද තරම් සමාජ මාධ්‍ය ප්‍රභලව නොතිබුණු කාලයක් නිසා මෙය බොහෝ පිරිසිකට මගහැරී තිබෙන ටෙලිනාට්‍යක් වන්නට පුළුවන් (හැකි නම් යූටියුබ් ඔස්සේ නරඹන්නට යෝජනා කරන නිර්මාණයක්‌ ). චෙස්, මේ වසන්ත කාලයයි සහ බැද්දේ කුලවමිය වෙනුවෙන්ද අරුණ ප්‍රේමරත්න හොඳම තිර රචනය සඳහා සම්මාන ලබනවා.

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට ඉතා විශිෂ්ට ගණයේ තිර රචනයන් ලියපු ඔහුව සැබවින්ම අගය කල යුතු පුද්ගලයෙක්.

රමිත විමුක්ති

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...