ටෙලිනාට්‍ය කලාවට විශිෂ්ට ගණයේ තිර රචනයන් ලියූ අරුණ ප්‍රේමරත්න

Share post:

මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රියම ටෙලිනාට්‍යක් කොඩි ගහ යට. කතාව, සාර්ථක රඟපෑම් සහ දෙබස් වැනි කාරණා රැසක්‌ නිසාම ඉතාම ඉහල ප්‍රේක්ෂක ඇගයීම් ලබා ගැනීමට සමත්වී තිබෙන ටෙලිනාට්‍යක් මෙය. රංගන ශිල්පී ජගත් මනුවර්ණගේ පළමු දීර්ග වෘතාන්ත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙය වීමත් සුවිශේෂී කාරණයක්. ඔහුද ඉතා හොඳින් තම කාර්ය සිදු කර ඇති බව පෙනී යනවා.

සාර්ථක ටෙලිනාට්‍යකට හොඳ අධ්‍යක්ෂණයක් සේම හොඳ තිර රචනාවක්ද අත්‍යවශ්‍යම කාරණයක්. තිර රචනයේ අඩුපාඩුවක් සිදු වුනොත් එය කතාවේ ගලා යාමට මෙන්ම රස වින්දනයටද බාදාවක් ඇති කරනවා. කොඩි ගහ යට ලියවෙන්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ සිටින දක්ෂතම තිර රචකයෙකු විසින්. ඔහු නමින් අරුණ ප්‍රේමරත්න. ටෙලි තිර රචනයට කිසි සේත්ම ආධුනිකයෙක් නම් නොවේ. ලාංකීය ටෙලිනාට්‍ය මම ඉහලින්ම තබන ටෙලිනාට්‍ය දෙකක තිර රචකයා ඔහුයි. ඒ සෙනේෂ් දිසානායක බණ්ඩාර අධ්‍යක්ෂණය කල රළ බිඳෙන තැන සහ ආනන්ද අබේනායකගේ බැද්දේ කුලවමිය ටෙලිනාට්‍යන්.
අරුණ ප්‍රේමරත්න රචනා කල රළ බිඳෙන තැන යනු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ වෙනස්ම මුහුණුවරක් ගෙන දුන් ටෙලිනාට්‍යක්. 2006/07 දී විකාශනය වුනු මෙම ටෙලිනාට්‍ය පවුලක්‌ ඇතුලත අපි හොඳින් දන්න සහ කතා කිරීමට පැකිලෙන කතා සංකල්පයක් ඉදිරිපත් කලා. අරුණ ප්‍රේමරත්නගේ පිටපත ඉතා විශිෂ්ට ලෙස එම කතාවේ චරිත වල මනෝභාවයන් ඉස්මතු කර තිබුනා. ලාංකීය ටෙලිනාට්‍ය චරිත වල මනෝවිද්‍යාත්මක පැතිකඩක් එතරම් සාර්ථකව ඉදිරිපත් කල මුල්ම අවස්ථාව එයද කියලත් හිතුනා. 2007 වසරේ සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවල් වල හොඳම ටෙලි නාට්‍ය ඇතුළු සම්මාන රැසක්‌ මෙය ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. එපමණක් නොවේ අරුණ ප්‍රේමරත්න හොඳම තිර රචනය වෙනුවෙන්ද සම්මාන ලබනවා. එය ඔහුට හිමි විය යුතුම ඇගයීමක්.

ඉන් අනතුරුව මේ වසන්ත කාලයයි, චෙස්, බැද්දේ කුලවමිය සහ සකුණ පියාපත්ද ඔහුගේ සාර්ථක තිර රචනයන්. විශේෂයෙන්ම මේ වසන්ත කාලයයි සහ චෙස් ටෙලිනාට්‍ය තුලින් ඔහුට ඉතා හොඳ ශානර විවිදත්වයක් සහ මෙහෙයවීමක් තිබෙන බව පෙන්නුම් කල නිර්මාණ දෙකක්. කොඩි ගහ යට යනු මෑත කාලයේ බිහිවුණු හොඳම crime ගණයේ ටෙලිනාට්‍යක් නම්, චෙස් යනු ඉතාම විශිෂ්ට ගණයේ thriller ටෙලි නාට්‍යක්. චෙස් විකාශනය වුනේ 2013/14 දී. අද තරම් සමාජ මාධ්‍ය ප්‍රභලව නොතිබුණු කාලයක් නිසා මෙය බොහෝ පිරිසිකට මගහැරී තිබෙන ටෙලිනාට්‍යක් වන්නට පුළුවන් (හැකි නම් යූටියුබ් ඔස්සේ නරඹන්නට යෝජනා කරන නිර්මාණයක්‌ ). චෙස්, මේ වසන්ත කාලයයි සහ බැද්දේ කුලවමිය වෙනුවෙන්ද අරුණ ප්‍රේමරත්න හොඳම තිර රචනය සඳහා සම්මාන ලබනවා.

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට ඉතා විශිෂ්ට ගණයේ තිර රචනයන් ලියපු ඔහුව සැබවින්ම අගය කල යුතු පුද්ගලයෙක්.

රමිත විමුක්ති

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...