මනිපූර් ගිනි ගන්නවා – ඡන්දය මැයි : මෝදිට එරෙහිව විපක්ෂ සන්ධානයෙන් විශ්වාසභංගයක් !

Share post:

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ මාස දෙකකට වැඩි කාලයක් පුරා සිදුවන ජනවාර්ගික ගැටුම් මැඩපැවැත්වීමට ආණ්ඩුව අසමත් බව කියමින් අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉන්දීය විපක්ෂ සන්ධානයක් සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට විරුද්ධ පක්ෂ සන්ධානයට පාර්ලිමේන්තුවේ අවසරය ලැබී ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වෙතත් ආසන 542කින් යුත් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 301ක පැහැදිලි බහුතරයක් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) ඇති බැවින් විශ්වාසභංගයෙන් ඵලක් නොවනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහි ප්‍රථිඵලය කුමක් වුවත් මෙම ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ – විපක්ෂ විවාදයක් කිරීම පවා වැදගත් බව විපක්ෂ සන්ධානයේ සාමාජිකයෙකු වන ආම් ආද්මි පක්ෂයේ රාඝව් චාඩා මාධ්‍යයට පවසා ඇත.

එමෙන්ම ඉන්දීය අගමැතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණ ජනතාව සහ මන්ත්‍රීවරුන් විසින් මතුකරන ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට බල කළ යුතුව ඇති බව ද ඔහු සමාජ මාධ්‍ය පිටුවක සටහන් කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන කොඩිකුනිල් සුරේෂ් පවසා ඇත්තේ අගමැති මෝදිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂය විසින් කරන ඉල්ලීම ඔහු විසින් නොසලකා හරින බවයි.

‘මනිපූර් ගිනි ගන්නවා, අගමැතිතුමා ප්‍රකාශයක් කරන්න සූදානම් නැහැ. අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි.’ ඔහු මාධ්‍ය අමතා එසේ පැවසීය.

2024 මැයි මාසය වන විට මහ මැතිවරණයකට මුහුණ දීමට නියමිත අගමැති මෝදිගේ ආණ්ඩුවට මිලියන 3.2ක ජනතාවක් සිටින කුඩා ප්‍රාන්තයක් සඳහා ආරක්ෂාව සැපයීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන දේශපාලන විශ්ලේෂකයෝ, මෝදි ආණ්ඩුව දේශපාලන වශයෙන් අසාර්ථක වී ඇති බව ද පෙන්වා දෙති.

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන මනිපූර් හි දිනෙන්-දින උග්‍ර වන ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසන හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, 60,000කට වැඩි පිරිසක් අවතැන් ව ඇත.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...