නෙත්තිකුමාර නිවසේ සිටි රාජ්කුමාරිට පොලිසියෙන් පහර දුන් බවට සැක රබර් බටයක් අධිකරණයට : අපි දෙන්නටම බටයකින් ගැහුවා – ඇසින් දුටු සාක්ෂිකරු

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ලබන අගෝස්තු 25දා ලබාදීමට නියමිත ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (26) මේ බව දැනුම් දුන්නේය.

මේ අතර වැලිකඩ පොලිස් ස්ථානයේදී අදාළ කාන්තාවට පහරදීමට යොදාගත් බවට සැකකෙරෙන රබර් බටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එම බටය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එම රබර් බටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.

එසේ ම මියගිය කාන්තාව අවසන් වශයෙන් සේවය කළ බව පැවසෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි නිවසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අජිත් විජේසේනගෙන් ඊයේ (26) සාක්ෂි ලබාගැනීම ද සිදු විය.

අත්අඩංගුවට ගැනීම

‘මම ඒ ගෙදර ආරක්ෂක නිලධාරියා වශයෙන් වැඩ කරනවා. මැයි මාසෙ 11 වැනිදා වැලිකඩ පොලීසියේ නිලධාරීන් දෙන්නෙක් මම වැඩ කරන ගෙදරට ආවා. සිවිල් ඇඳුමෙන් තමයි ආවෙ සුදු පාට කාර් එකකින්. මුලින්ම එක නිලධාරියෙක් ගෙදරට ආවා. ඇවිල්ලා කුමාරි කියලා කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම කිව්වා ඉන්නවා කියලා. හොරකමක් සම්බන්ධයෙන් එයාව අපි හොයනවා කියලා පොලිස් නිලධාරියා කිව්වා. මම ඒ අයව මැඩම්ට සම්බන්ධ කළා. පොලිස් නිලධාරීන් දෙන්නා රාජකුමාරිව එක්ක ගියා. එයාව එක්කරගෙන යන වෙලාවෙ කාන්තා පොලිස් නිලධාරිනියන් හිටියෙ නෑ. දවල් 12.10ට විතර තමයි අරන් ගියෙ.’ යනුවෙන් මෙහිදී සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

අමානුෂික ලෙස පහර දීම

මේ අතර පසුගිය ජුනි 21දා විවෘත අධිකරණයේදී සාක්ෂි දෙමින් ආර්. රාජ්කුමාරි ව ගෘහ සේවිකාවක ලෙස නෙත්තිකුමාරගේ නිවෙසට යොමු කළ මහේන්ද්‍රන් සුරේෂ් පවසා තිබුණේ පොලිස් නිලධාරීන් ඇයට අමානුෂික ලෙස පහර දුන් බවයි. තමන් ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු බව ද ඔහු පවසා තිබිණි.

නෙත්තිකුමාරගේ නිවසේ සේවය ජක තවත් කාන්තාවක මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කර ගැනීමෙන් පසු කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසා ඇත. තමන් ද ජීප් රථයේ නංවාගෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නෙත්තිකුමාරගේ නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්, ඇය ව එහිදී අත්අඩංගුවට ගත් බවත්, තමන් සහ රාජ්කුමාරිව එක ම මාංචුවක ආධාරයෙන් වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබේ.

වැලිකඩ පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී රාජ්කුමාරි මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත්, රැගෙන එන අතරවාරයේදී ඇය විසින් මුද්දක් සහ සුවඳ විලවුන් කුප්පියක් සොරා ගත්තාද යනුවෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත් සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

පොලිසිය වෙත රැගෙන ආ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බටයක් ආධාරයෙන් අමානුෂික ලෙස පහර දුන් බවත්, තමන්ට ද ඒ අයුරින්ම පහර දුන් බව‍ත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර ඇත.

Related articles

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...