“කාලයත්, ශ්‍රමයත් වැයකරලා ‘මං චිත්‍රපටියක’ කෙටිකතා පොත ලිව්වේ අපි හැමෝම වෙනුවෙන්”

Share post:

Inter view එකක් අවධානය යොමු කරන්නෙ මෑතක නිකුත් වු කෙටිකතා පොතක් ලියු සාහිත්‍යයවේදිනියක් වෙතට ඇය ‘සිත්තරා සහ සිතුවම'(2013),ප්‍රගාමි(2013),the virgin wife(2014) සුළඟ සහ රතු මල් ගස (2015) කර්මක්ෂ (2016) යන කෘතින් පාඨකයින් වෙත මුදා හැරි ලේඛිකාවක්. ඒ පමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යය කරණයේ යෙදෙමින්. රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් ගෞරවය ලැබු තැනැත්තියකි. වසර හතකට පසුව ඇය පාඨකයින් අතට ‘මං චිත්‍රපටයක’ නමින් කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරන ඇය ඉන් පාඨක සහ විචාරක අවධානය දිනා ගැනීමට සමත්ව සිටි. kbooks ප්‍රකාශන ආයතනය සිය වෘත්තීමය පසුබිමක පවත්වාගෙන යන ඇය කාංචනා ප්‍රියකාන්ත නම් වන්නිය. මේ කාංචනා ගේ inter view එකක්.

කතන්දරයක් ගෙතිම ගැන ඔබේ අදහස මොකද?

කතන්දර ගෙතීම යන්න වචනාර්ථයෙන් ගත්තොත් ඕනෑම කෙනෙක්ට මෙය කරන්න පුළුවන්. මනුෂ්‍යයා වෙනත් සත්වයන්ගෙන් වෙනස් වන එක් ආකාරයක් තමයි ඔහු හෝ ඇය සතුව පවතින නිර්මාණශීලිත්වය. නිර්මාණශීලීත්වය නිසාම මිනිසාට හැකි වෙලා තියෙනවා ප්‍රබන්ධකරණයෙහි යෙදෙන්නට. කතන්දර ගෙතීම වාචිකව වගේම ලිඛිතවත් කරන්න පුළුවන්. . දැනටත් අපි අතර පවතින සුරංගනා කතන්දර, ජනකතා , ළමා කතා, පුරාවෘත , මිත්‍යා කතා වැන්න අපිට කතන්දර විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙම බැලුවම කතන්දර කියන්නේ දිගු ඉතිහාසයක් ඇති දෙයක්.

මූලිකව කතන්දර ගෙතිමකදී අවධානය සැළසුම් ගොඩ නැගිම ගැන කියන්න පුලුවන් ද?

කතන්දර ගෙතීම යන කාරණාව සම්ප්‍රදායිකව ගත්තොත් බොහෝ වෙලාවට මේවායෙන් විනෝදාස්වාදයක් සැපයීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් නැත්නම් යම් ආදර්ශයක් ලබාදීමට බලාපොරොත්තුවන්නට පුළුවන්. ඒ කරුණුවලින් වියුක්ත වුණු තවත් කරුණු කාරණා තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේවට නිශ්චිත ආරම්භයක් තියෙනවා. නිශ්චිත අවසානයක් තියෙනවා. කෙටිකතාකරණය හුදු කතන්දරයක් ගෙතීමට එහා ගිය වැඩක්. කතන්දරයක ආකෘතිය කෙටිකතාවක ආකෘතියක් බවට පත්වන අවස්ථා තිබෙන්න පුළුවන්.

ඔබේ අවධානය කෙටිකතා වලට යොමු වීමට විශේෂ හේතුවක් තියනව ද?

එහෙම විශේෂ හේතුවක්ම නැහැ. හැබැයි ටිකක් හිතලා බලද්දී දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාස කරන ලද ශානරයක් නිසා කෙටිකතාවලට වැඩි අවධානයක් යොමුවෙනවද කියලා හිතෙනවා. ඒත් ඒක එහෙමමයි කියන්න බැහැ . මොකද පොතක් ලෙස ප්‍රකාශයට පත් නොවුණට දැනටමත් මම නවකතා කිහිපයකුත් ලියාගෙන ඉන්නවා. සංස්කරණය කියන කාරණාව මම ලේඛනය හා සමානව බරපතලව ගන්න දෙයක්. එතැනදී හිතනවට වඩා කාලයක් ගතවෙනවා.

කර්මක්ෂ කෙටිකතා පොතින් පසුව දීර්ඝ කාලයක් ඔබ තවත් පියවරකට නොයා හිටියා.ඒකට හේතුවක් තියෙනවද?

එක හේතුවක් තමයි සංස්කරණය කියන කාරණාව. එකම කෙටිකතාව මම එකිනෙකට වෙනස් ආකාරවලින් ලියලා බලනවා. ඒ ලිවීම තුළ මම තෘප්තිමත් කියලා හිතෙනකල්ම මම ලියනවා. සමහරවෙලාවට ඒ එකම කෙටිකතාව මම විසි තිස්සැරයක් වුණත් ලියලා ඇති. එහෙම ලියලා තෝරාගන්න කෙටිකතාවත් මම සෑහෙන්න සංස්කරණය කරනවා. නිර්මාණ පොතක් ලෙස එලියට එනවා කියන කාරණාව මට හුදු පෘතග්ජන ආශාවකට එහා ගිය එකක්. මම කැමතියි ලෝකය පවතින තාක්කල් මගේ නිර්මාණ පවතිනවට . කාලාන්තරයක් තිස්සේ පවතින නිර්මාණයක් වෙන්න හැම නිර්මාණයකටම බැහැ කියන කාරණාව අපි හැමෝම දන්නවා. .ඒක නිසා මම මගේ කැමැත්ත ඉෂ්ට කරගන්න මහන්සි වෙන්න කැමතියි. පොත් ලක්ෂයක් ලියනවට වඩා මිනිස්සුන්ට සදාකාලෙටම මතක හිටින නිර්මාණ අතලොස්සක් වුණත් ප්‍රමාණවත් කියලයි මම පෞද්ගලිකව හිතන්නේ.

ලාංකීය කෙටිකතා සම්බන්ධව අද ඔබට තියන අදහස මොකක්ද ?

ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් අනෙක් රටවල් හා සංසන්දනය කර බලද්දී ජාත්‍යන්තර මට්ටමේ කරට කර ඉන්න තරම් දක්ෂයි. මෑතකදී පොදු රාජ්‍ය මණ්ඩල කෙටිකතා තරගවලදී ශ්‍රී ලාංකික කෙටිකතා නියෝජනයන් සහ ජයග්‍රහණයන් අපිට දකින්න ලැබුණා මතක ඇති. සිංහල කෙටිකතාව කියන කාරණාව ගත්තොත් තාමත් එසන්වයින්ගේ නිර්වචනයම තමයි අපිට කෙටිකතාව කියලා උගන්වන්නේ . එසන්වයින්ම කියලා තියෙනවා කෙටිකතාව එකම නිර්වචනයකට කොටු කරන්න බැහැ කියලා. කෙටිකතා කලාව පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් ලබාගන්න අවශ්‍ය කෙනෙක්ට කියවන්න හොඳම කෘතියක් විදිහට මම යෝජනා කරන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියපු කෙටිකතා කලාව කියන කෘතිය. ඒ පොත කියෙව්වම ලංකාවේ සිංහල කෙටිකතා කලාව එක තැනක නතර වීම්වලට හේතු පිළිබඳවත් එහෙත් ලෝක මට්ටමින් කෙටිකතාව ගමන් කර ඇති දිශානතීන් පිළිබඳවත් පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

නුතන කෙටි කතාව වෙනස් මගක් ගතයුතු බවක් ඔබට හිතෙනව ද?

එය මා සිතුවත් නැතත් අනිවාර්යෙන් සිදුවන යමක්. නිර්වචනවලට කොටු වෙන්නේ නැතිව නිර්භීතව අත්හදා බැලීම් කරන කෙටිකතාකරුවන් සහ කෙටිකතාකාරියන් ලංකාවේ ඉන්නවා. ලෝකයේ සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳ කෙටිකතාවට ප්‍රියකරන්නන් නිරතුරුව අවධානයෙන් ඉන්න ඕනේ. ඒ එක්කම යම් න්‍යායක හෝ නිර්වචනයක සුවච කීකරු සේවකයන් නොවී ඉතාම විවෘත මනසකින් යුතුව නිර්මාණ දෙස බලන්න ඕනේ. බටහිරෙන්ම මොකක් හරි කියනකල් ඉන්න ඕනේත් නැහැ. බටහිර රටකින් අනුමත නොවුනොත් එහෙම දෙයක් තියෙන්න විදිහක් නැද්ද වගේ තැනක අපි ඉන්න ඕන නැහැ. හැබැයි එයට පුළුල් කියවීමක් අවශ්‍යයි.

‘මං චිත්‍රපටයක කියවන ගමන් නැරඹිමට පෙළඹවිමක් ද?

ඕනෑම නිර්මාණයක් කියවද්දී බොහෝ විට අපි මේ නැරඹීම කරනවා. එහිදී පිටපත කියවමින් අධ්‍යක්ෂණයේ වරප්‍රසාදය ලබා ගන්නේ පාඨකයා. නිෂ්පාදන වියදම කාලය පමණයි.

මේ කෙටිකතා පොතින් ඔබ කියන්න උත්සහ කරන දෙයක් තියනවද?

ඕනෑම නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණ හරහා කියන්න උත්සහ කරන දේවල් තියෙනවා.හැබැයි පාඨකයා එයම ග්‍රහණය කළ යුතුයි කියලා එකක් නැහැ. මෙන්න මේකයි මම කියන්න උත්සහ කරන්නේ කියලා කිව්වොත් පාඨකයෙක් ඒක ඔලුවේ තියාගෙනම තමයි නිර්මාණ කියවන්නේ. සාහිත්‍ය තුළ මිනිසාට ලැබෙන නිදහස අපි එතැනදීම නැති කරනවා. සාහිත්‍ය අවශ්‍ය මිනිස්සුන්ට හිතන්න පුරුදු කරවන්න.. මං ආසයි පාඨකයා මගේ නිර්මාණ විවිධාකාරයෙන් කියවා ගන්නවට. තමන්ගේ කියවීම මෙන්න මේකය එහෙම කියවා ගන්න නිර්මාණය තුළ ඇති මෙන්න මේ කරුණු හේතු වුණාය කියලා පැහැදිලිව කරුණු සහිතව කියවීමක් කරන්නේ නම් ඕනෑම කියවීමක් වලංගුයි කියන එකයි මගේ අදහස. මොකද ඕනෑම සාහිත්‍ය කියවීමක් පුද්ගලානුබද්ධයි. මනෝමූලිකයි . ඕනෑම නිර්මාණයක් පිළිබඳ විචාරයක් හෝ කියවීමක් කෙනෙක්ට ඉදිරිපත්කරන්න පුළුවන් වෙන්නේ එක් එක් පුද්ගලයාගේ අත්දැකීම්, බහුශ්‍රැත භාවය , චින්තන පරාසය , විෂයානුබද්ධ දැනුම , පුද්ගල දෘෂ්ටිවාදයන් වගේ කරුණු කාරණාවන්ට සාපේක්ෂව. ඉතින් පාඨකයා ලේඛකයාට ලියන්න නිදහස දෙනවා වගේම ලේඛකයා පාඨකයාට කියවන්න නිදහස ලබා දිය යුතුයි.

පාඨකයෙක් ‘මං චිත්‍රපටයක’ කෙටි කතා පොත ගත යුත්තෙ ඇයි ද කියන එක ⁣රචිකාවිය විදිහට ඔබ යෝජනා කරන්නෙ මොනවද?

නිර්මාණයක් කියන්නෙම ලේඛකයෙක්ගේ බුද්ධිමය ශ්‍රමය. ලේඛකයා පොත වෙනුවෙන් වැයකරපු කාලයට ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නේ පාඨකයා පොත කියවන එකෙන්. ඊට පස්සේ ඒ පොත කියවලා ඉවරවෙලා ඒ පොත ගැන තමන්ගේ කියවීම අනිත් අය එක්ක බෙදාගන්න එකෙන්. ඒ ගැන සංවාද විසංවාද ඇතිවෙන එකෙන්. මං චිත්‍රපටියක කියන කෙටිකතා පොතත් එහෙම කාලයක් ශ්‍රමයක් වැයකරලා ලිව්වේ අපි හැමෝම වෙනුවෙන්. හැමෝටම කියවන්න. හැමෝටම හිතන්න. ඒකම සාධාරණ හේතුවක් නොවෙයිද පාඨකයෙක් ‘ මං චිත්‍රපටියක’ කියවන්න.

ඔබ දකුණු ආසියාව තුළ සිය නිර්මාණ සම්භාවනාවට පාත්‍ර වුන ලාංකීය ලේඛිකාවක් ඒ සම්බන්ධ ඔබේ අද්දැකිම කියන්න පුලුවන්ද?

ඒ පිළිබඳ අහිංසක සතුටක් තියෙනවා. එය මට ලැබෙන්නේ ඉන්දියාවේ සාක් ලේඛක සහ සාහිත්‍ය පදනම විසින් සංවිධානය කරපු ෆෝස්වාල් සාහිත්‍ය උළෙලේදී. හැබැයි රොබට් ෆ්රොස්ට් එයාගේ Stopping by Woods on a Snowy Evening කවියේ කිව්වා වගේ The woods are lovely, dark and deep, But I have promises to keep, And miles to go before I sleep, And miles to go before I sleep කියලා තමයි මට අවසාන වශයෙන් ඒ ගැන කියන්න තියෙන්නේ.

පරාක්‍රම ඒකනායක

2023/7/26

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...