දේශබන්දු ගැන විමර්ශනය කළ නිසා තර්ජනයට ලක්වූ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පර්යේෂණ අංශයට මාරු කරයි !

Share post:

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.එස්. වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නිසා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඔහුට තර්ජනය කර තිබිණි.

2023 ජනවාරි

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ පසුගිය ජනවාරි 13දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

විමර්ශන ඉවතට?

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමරයේ මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

‘මට ලැබුණු මුදල්’

මේ අතර ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතකදී පවසා තිබුණේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලනඥයන්ගේ ගිනිතබන ලද නිවාස අලුත්වැඩියාව සඳහා මෙම මුදල් ලැබුණු බවයි.

Related articles

Victor Hugo – මනුතාපයේ ගිලී (නො) ගිය මහා කවියා

වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව...

රිමාන්ඩ් කරන එක අසාධාරණයි : ඇප නොදෙන්න හේතුවක් නෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩයනාට ඇප නියම කරමින් කියයි !

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද...

John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා- ඇළ ‘විමන්’ හි 2 වන අදියර ආරම්භ කරයි !

John Keells Properties සමාගම විසන් ආරම්භ කර ඇති සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන, ජා- ඇළ පිහිටි ‘විමන්’...

අභියෝගයට ලක්කළ යුතු නීතිපතිට ලබාදී ඇති අත්තනෝමතික බලය !

බරපතළ අපරාධයක් සඳහා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ ය. එය සිදුකරන්නේ නීතිපතිවරයා විසිනි. අදාළ අපරාධය...